
ප්‍රථම වරට චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳව අදහස ලොවට ඉදිරිපත් කළේ ශ්‍රී ලාංකික සම්මාන පුරවැසියෙකු වූ ආචාර්ය ආතර් සී ක්ලාක් විද්වතා ය. ඒ අදහස අනුව 1957 ඔක්තෝබර් 04 වැනිදා ලොව ප්‍රථම ඒ චන්ද්‍රිකාව ලෙස ස්පුට්නික් - 1 කක්ෂගත කර තිබේ.
පසුකාලීනව ලොව විවිධ රටවල් සංනීවේදන, කාල ගුණික, කෘෂිකාර්මික හා වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු ලබා ගැනීම හා තොරතුරු බෙදාදීම අරමුණු කරගෙන විවිධ ප්‍රමාණයේ චන්ද්‍රිකා රැසක් අභ්‍යවකාශ ගත කර ඇත. එමගින් අපට ද ඵල ප්‍රයෝජන රැසක් ලැබී තිබේ.
එසේ වුවත් ඒ සුවිශේෂි චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ අදහස ලොවට ඉදිරපත් කළ ආතර් සී ක්ලාක් විද්වතාණන් පදිංචිව සිටි ශ්‍රී ලංකාවට මෙතෙක් කල් චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට හැකියාවක් ලැබුණේ නැත. නමුත් පසුගිය සති කිහිපය තුළ අපේ වාසනාවට ක්ලාක් මහතාගේ නම ඇති මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය මගින් නව චන්ද්‍රිකාවක් නිපදවා එය අභ්‍යවකාශගත කිරීමට ජපානයට භාර දී ඇත.
“අපේ රටිනුත් අපි 2020 දී චන්ද්‍රිකාවක් අහසට යවනවා” මේ තොරතුරු මීට වසර 10කට පෙර අපට පැවසුවේ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පාලක මණ්ඩල සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතායි. එදා අපි එය සිහිනයක් ලෙස සිතුවත් අද ඒ අපේ ම චන්ද්‍රිකාව නිපදවීමට ශ්‍රී ලාංකික විද්‍යාඥයනට හැකියාව ලැබී ඇත. එපමණක් නොව ඒ චන්ද්‍රිකාව නිපදවා අවසන් කර අභ්‍යවකාශගත කිරීමේ කටයුතු සඳහා ජපානයේ අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සියට ද එය බාර දී ඇත. අපේ රටේ අභ්‍යවකාශ පර්යේෂණ කටයුතුවල නිම් වළලු පුළුල් කරන මේ නිර්මාණය අපේ රටට ද සුවිශේෂි ප්‍රෞඪත්වයක් ගෙන දෙයි.
ඈත අතීතයට අපේ රටේ විසූ රාවණාගේ සුවිශේෂ ගුවන් යානා තාක්ෂණය හා ගුවන් යානා පිළිබඳ යළි ලොවේම අවධානය අපේ රට වෙත යොමු කරමින් ‘රාවණා 1, ලෙස මේ අපේ ම නව චන්ද්‍රිකාව නම් කර ඇත. මෙම නව චන්ද්‍රිකාව ජපාන අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සිය මගින් මුලින් ම අන්තර් ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට යවනු ලැබේ. පසුව ‘රාවණා 1, එම මධ්‍යස්ථාන අසලට කක්ෂගත කිරීමට නියමිතව ඇත.
ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ මේ සුවිශේෂ නිර්මාණය ලොවට දායාද කර ඇත්තේ එහි විද්යුත් තාක්ෂණික ඉංජිනේරු දුලානි චාමිකා විතානගේ හා එහි පර්යේෂණ විද්යුත් ඉංජිනේරු තරිඳු දයාරත්න යන ශ්‍රී ලාංකික විද්‍යාඥයන් දෙදෙනායි. රාවණා 1 ලෙස හඳුන්වා ඇති මේ සුවිශේෂී චන්ද්‍රිකාව නිපදවීමට ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ප්‍රධානීන්ගේ සහාය හා උපදෙස් ලබාදී ඇත. මෙය නිර්මාණය කළ ඉංජිනේරු විද්‍යාඥයන් දෙදෙනාම පසුවන්නේ තවම තරුණ වියේ ය.
තායිලන්තයට ගොස් විද්යුත් යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය හදාරා ඇති දුලානි චාමිකා විතානගේ, පසුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයට එක්වී ඇත. මේ වනවිට ඇය රාවණා 1 චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට දායක වන අතරතුර ජපානයේ පශ්චාත් උපාධියක් හදාරමින් සිටින්නීය. දුලානිගේ අනාගත බලාපොරොත්තු රැසකි.
“අභ්‍යවකාශ ඉංජිනේරු තාක්ෂණය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් ලබාගන්න එක. මගේ ලොකුම අපේක්ෂාවයි. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණය නගාසිටුවන්න මම කටයුතු කරනවා.” දුලානි පවසන්නීය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්යුත් ඉංජිනේරු උපාධිය හදාරා ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවරයෙකු ලෙස සේවය ආරම්භ කළ තරිඳු දයාරත්න මේ වනවිට ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ පශ්චාත් උපාධියක් හදාරමින් සිටී.
“මගේ එකම අරමුණ තමයි ශ්‍රී ලංකාවේ ඉඳගෙන ශ්‍රී ලංකාවේ ම චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීම. ඒකට අවශ්‍ය දැනුම අපට තිබෙනවා. පහසුකම් අඩුයි. වගකිව යුතු අංග ඊට මැදිහත් විය යුතුයි” තරිඳු දයාරත්න පවසයි.
එම නැනෝ චන්ද්‍රිකාව නිර්මාණය කිරීම සඳහා දායක වූ විද්යුත් යාන්ත්‍රික ඉංජිනේරු දුලානි චාමිකා විතානගේ පවසන්නේ, මෙම චන්ද්‍රිකාව ලබන අප්‍රේල් මාසයේදී ජපාන අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය මගින් කක්ෂගත කරනු ලැබීමට නියමිත බවයි. මෙම චන්ද්‍රිකාව මාධ්‍ය වෙත හඳුන්වාදීම පසුගියදා ජපානයේ ක්‍යුෂු තාක්ෂණ ආයතනයේදී සිදුවිය. එයට එරටේදී ඉමහත් ප්‍රතිචාර ලැබිණි.
රාවණා - 1 (RAAVANA – 1) යනු ඝනක චන්ද්‍රිකාවකි. (Cube Satellite) ඝනක චන්ද්‍රිකාවක් යනු විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් (Classical Satellite) නොවන අතර ප්‍රමාණයෙන් කුඩා නැනෝ චන්ද්‍රිකාවකි. මෙවැනි චන්ද්‍රිකා නිර්මාණය කිරීමට මෙන් ම කක්ෂගත කිරීමට ද වැය වන මුදල සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතී.
ඝන සෙන්ටි මීටර් 1000 ක විශාලත්වයෙන් යුතු චන්ද්‍රිකාවේ බර කිලෝග්‍රෑම් 1.05 ක් බව විද්‍යුත් යාන්ත්‍රික ඉංජිනේරු දුලානි චාමිකා විතානගේ සඳහන් කළාය. ජපාන අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400 ක් පමණ දුරින් රාවණා 1 කක්ෂගත කිරීමට නියමිත ය. එහි අවම ආයු කාලය අවුරුදු එක හමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා පැවතිය හැකි බවට විශ්වාස කෙරේ.
“ලෝකයේ පළමු ගුවන් යානය නිපදවූයේ රාවණා කියලා ඉතිහාසය අනුව පෙනී යනවා. ඒ රාවණාගේ ගුවන් තාක්ෂණය පිළිබඳ ලෝකයට කියා පෑමේ අරමුණින් තමයි අපේ චන්ද්‍රිකාවට ‘රාවණා - 1, කියලා නම දැම්මේ” යනුවෙන් දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න යන විද්‍යාඥයෝ තම අරමුණ පෙන්වා දෙති.
ශ්‍රී ලංකා අභ්‍යවකාශ ඉංජිනේරු ඉතිහාසය අලුතින් ලියන විශේෂී චන්ද්‍රිකාව ‘රාවණා - 1’ ලෙස නම් කිරීම විශේෂත්වයකි. ඊට රාවණා යන නම තබා ඇත්තේ, මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්න මහතාගේ යෝජනාවක් අනුවය.
රාවණා - 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් අපේක්ෂා කරන මෙහෙයුම් 5 ක් ඇත.
ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම, ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ‘ලෝරා මොඩියුල්’ (මෙය දත්ත ඩවුන්ලෝඩ් කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිතය) නමැති මෘදුකාංගය අත්හදා බැලීම, චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඪාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම, කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම පිළිබඳ අත්හදා බැලීම හා පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම ඒ අතර ප්‍රමුඛ තැනක් ගනී. චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීමට සුදුසු ලෙස ප්‍රතිනිර්මාණය කරනුයේ, ජපානයේ ක්‍යුෂා තාක්ෂණික අධ්‍යයන ආයතනයේ සිටය.
ඝන සෙන්ටි මීටර් 1000ක විශාලත්වයෙන් යුතු මේ චන්ද්‍රිකාව ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය වෙත බාරදී අවසානය.
“එතනින් අපේ චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යවනවා. මෙවැනි කියුබ් චන්ද්‍රිකා විශාල නොවන නිසා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ආහාර සහ තවත් උපකරණ යැවීමේදී අපගේ චන්ද්‍රිකාවත් එහෙට යැවීමට සූදානම් කරලා තියෙනවා. චන්ද්‍රිකාව කක්ෂගත කරන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටයි.” මෙම චන්ද්‍රිකා ව්‍යාපෘතියේ අභ්‍යාවකාශ ඉංජිනේරුවරු පවසති. මේ නව නිර්මාණය රටට අභිමානයකි. අපේ රටේත් දක්ෂ අභ්‍යවකාශ ඉංජිනේරුවරු බිහිවන බව ලොවටම හඬගා කියන්නකි.
මීට වඩා ලොකු චන්ද්‍රිකාවක් අපම හදලා අපම යවනවා
- ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පාලක මණ්ඩලයේ සභාපති - මහාචාර්ය චන්දන ජයරත්න
අපේ රටේ අභ්‍යවකාශ තාක්ෂණය දියුණු කිරීමේ බලයලත් රාජ්‍ය ආයතනය මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයයි. ඒ මගින් අපේ රටේ චන්ද්‍රිකාවක් නිපදවා අභ්‍යවකාශයට යවන්න මූලික සැලසුම කළේ මීට අවුරුදු 10 කට පමණ පෙර සිටයි.
ඒ අනුව මුලින්ම රුසියාවේ සමාරා විශ්වවිද්‍යාලයේ විද්වත් කණ්ඩායමක් අපේ ආයතනයේ පුහුණුව ලබන සිසුන්ට චන්ද්‍රිකා සකස් කිරීම පිළිබඳ මූලික පුහුණුවක් ලබා දුන්නා. 2016 අගෝස්තු මාසයෙත් 2017 අප්‍රේල් මාසයෙත් මෙවැනි චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ විද්වත් පුහුණු කිහිපයක් ම පැවැත් වුණා.
මුලින් අපි අදහස් කළේ කිලෝමීටර් 36,000 අභ්‍යවකාශයට යන්න පුළුවන් චන්ද්‍රිකාවක් හා කිලෝමීටර් 740 අභ්‍යවකාශයට යන්න පුළුවන් චන්ද්‍රිකාවක් හදන්නයි. නමුත් යටිතල පහසුකම් නොමැති වීම නිසා එය ක්‍රියාත්මක කිරීම කල් දමන්නට සිදු වුණා. එසේ වුවත් පසුව අපේ රටෙන් නැනෝ සැටලයිට් එකක් හදන්න පශ්චාත් උපාධි මට්ටමේ විද්‍යාඥයන් පුහුණු කිරීම සඳහා ජපාන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යැවීමට අපට හැකියාව ලැබුණා. ඒ අනුව අපේ තරුණ විද්‍යාඥවරියක් හා වරයෙක්ට ඒ පුහුණුව ලබා දී තිබුණා. එහි ප්‍රතිඵලයක් අනුව තමයි රාවණා -1 ලෙස නම් කළ නව චන්ද්‍රිකාව නිපදවන්න අවස්ථාව උදාවෙන්නේ.
මේ ආකාරයේ නැනෝ චන්ද්‍රිකාවල ප්‍රමාණය ඉතා කුඩයි. දිග සෙ.මි. 30ක්, පළල සෙ.මි. 20ක්, ඝණකම සෙ.මි. 10ක් පමණ වෙනවා. මේවායේ දත්ත ගබඩා කරන්න බැහැ.
කෙසේ වුවත් මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයෙන් මීට වඩා විශාල ප්‍රමාණයේ දත්ත එකතු කර ඒවා ගබඩා කරගත හැකි චන්ද්‍රිකාවක් නිපදවන්න කටයුතු කරනවා. එය අපිම මෙහෙ හදලා අපිම ශ්‍රී ලංකාවෙන් අභ්‍යවකාශයට යවන්න සැලසුම් කරලයි තිබෙන්නේ. අපේ උපදෙස් අනුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයට සම්බන්ධ අපේම තරුණ විද්‍යාඥයන් මේ චන්ද්‍රිකාව සැලසුම් කිරීම, සකස් කිරීම, පරික්ෂා කිරීම හා අභ්‍යවකාශයට මුදා හැරීම පිළිබඳව වැඩ කටයුතුවල දැන් නිරත වෙමින් තිබෙනවා.
සේයාරූ - බී.බී.සී. ඇසුරෙනි