ඉස්ලාමීය විප්ලවයෙන් දශක හතරකට පසු ඉරානය | සිළුමිණ

ඉස්ලාමීය විප්ලවයෙන් දශක හතරකට පසු ඉරානය

ඉරානය නම් ඉස්ලාමීය ජනරජය ජගත් භූ දේශපාලනික කරළිය මත නිරූපණය කරන්නේ කවර භූමිකාවක්ද? අමෙරිකානු හා බොහෝ බටහිර මාධ්‍ය ප්‍රකාශ කරන ආකාරයට ඉරානය ගෝලීය තර්ජනයක්ද? එසේත් නැත්නම් අන්තර්ජාතික බල අරගලයේ ගොදුරක්ද? මේ පිළිබදව විශේෂයෙන් අවධානය යොමු කිරීමට සිදු වන්නේ ඉරානය මුල් කරගත් වැදගත් සිද්ධි දෙකක් කෙරෙහි වර්තමානයේ ලෝක අවධානය යොමු වී ඇති බැවිනි.

පළමුවැන්න ඉරානය එරට වත්මන් ස්වරූපය සදහා පාදක වු ඉස්ලාමීය වීප්ලවයේ 40 වැනි සමරුව උත්සවාකාරයෙන් පැවැත්වීමයි. දෙවැන්න ඊට සමගාමීව අමෙරිකාව පෝලන්තයේදී සංවිධාන කළ මැදපෙරදිග අරමුණු කරගත් හා විශේෂයෙන් ඉරානය ඉලක්ක කරගත් සමුළුවයි. ඒ අතරතුර ඉරානයේ ප්‍රබලතම යුද හමුදා ඒකකය වන ජනරජ ආරක්ෂක බළකායේ සාමාජිකයන් පිරිසක් ඉලක්ක කරගත් බෝම්බ ප්‍රහාරයකින් බස්රියක ගමන්ගත් සෙබළුන් 27දෙනෙකු දකුණුදිග ඉරානයේදී ඝාතනයට ලක් වීමේ සිද්ධිය වඩාත් ආන්දෝලනාත්මක පරිසරයක් නිර්මාණය කළේය. මේ අනුව සතියේ වඩාත් ගෝලීය අවධානය දිනාගත් මාතෘකාව බවට ඉරාණය පත් වී සිටී. ඉරානයේ ඉරණම හා එහි ඉදිරි භූමිකාව ගැන සාකච්ඡා කිරීමට අන්තර්ජාතික මාධ්‍ය වඩාත් සැලකිලිමත් වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

නිරවි යුද්ධය නිම වීමෙන් පසු බිහි වූ ඒක අක්ෂිය ලෝකය තුළ ගෝලීය බලතුලනයෙහි ලා මැදපෙරදිග කලාපයට හිමි වන්නේ අතිශයින් වැදගත් ස්ථානයකි. සාම්ප්‍රදායිකව මැදපෙරදිග බලය වඩාත් නැඹුරු වන්නේ අමෙරිකාව දෙසටයි. එකිනෙකට පසමිතුරු බලවේග දෙකක් ඔස්සේ අමෙරිකාව මැදපෙරදිග කලාපය තුළ තම බලය තහවුරු කරගෙන තිබේ. ඒ සවුදි අරාබියේ මුලිකත්වයෙන් යුත් ගල්ෆ් රටවලින් සමන්විත සුන්නි මුස්ලිම් බලකේන්ද්‍රය හා අරාබි-මුස්ලිම් විරෝධයේ පදනම මත බිහිව ඇති ඊශ්‍රායලය යන අන්ත දෙකයි. ඒ දෙපාර්ශ්වයම නියෝජනය කරන්නේ අමෙරිකානු බලඅධිකාරියයි. එකිනෙකට ප්‍රතිවිරුද්ධ වුවද මැදපෙරදිග අමෙරිකා බලයට අභියෝගයක් හටගත් වහාම ඒ බලවේග දෙක ඊට එරෙහිව එක පෙළක සිට ක්‍රියාත්මක වෙයි. උදාහරණයක් ලෙස ඉරාකයේ සදාම් හුසේන් කුවේටය ආක්‍රමණය කළ විට, ඔහු සුන්නි මුස්ලිම් නායකයෙකු වීම නොතකා සවුදි අරාබිය ප්‍රමුඛ අරාබි රාජ්‍ය කඳවුරත්, ඊශ්‍රායලයත් අමෙරිකානු අභිලාෂයන් වෙනුවෙන් වහා සදාම්ට එරෙහිව ඉදිරිපත් විය. එසේ නම් ඉරානය මේ සියල්ලන්ගේම පොදු සතුරා වන්නේ කෙසේද,

ඉරානය හෙවත් අතීත පර්සියාව මානව ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානයකි. ඉතිහාසය පුරා විවිධ යුග පෙරළිවලට මුහුණ දුන් ඉරානය 1979 වසර වන තෙක් පැවතුණේ මැදපෙරදිග කලාපයේ බටහිර සංස්කෘතිය වැලඳගත් රටක් වශයෙනි. එරට පාලනය කළ ෂා මොහොමඩ් රීසා පහ්ලාවි රජතුමා උග්‍ර අමෙරිකානු හිතවාදියෙකු වන අතර ඉරානය තුළ බටහිර සංස්කෘතිය ඉතා ඉහළින් ව්‍යාප්ත වීමට ඉඩකඩ සලසා දුන්නේය.

ඉරාන ඉස්ලාමීය විප්ලවය මුල්ලාවරුන් හා අයතොල්ලාවරුන් යන ආගමික ප්‍රධානීන්ගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වන්නේ ප්‍රථමයෙන් දේශපාලනික ව්‍යාපාරයකට වඩා සංස්කෘතික යුද පෙරමුණක් වශයෙනි. ඉරානය ගිලගත් බටහිර සංස්කෘතිය හා බටහිර ගැති බව තුරන් කිරීම මුලික සටන්පාඨයක් විය. 1979 පෙබරවාරි 11 වෙනි දා අවසන් වූ විප්ලවයෙන් ඉරානය සංවෘත ආගමික රාජ්‍යයක් බවට පත් වීමත් ඒ මඟින් ආගමික ප්‍රධානින් දේශපාලනික අධිකාරිය නියෝජනය කිරිමත් යන පරිවර්තන ලෝකයට දැකගත හැකි විය.

ළදරු ඉරානයේ ප්‍රධානතම ගෝලීය සතුරන් වූයේ අමෙරිකාව හා ඊශ්‍රායලයයි. ෂා රජුගේ වත්කම් යළි ලබාගැනිම සඳහා ඉරානය අමෙරිකාව සමග අර්බුදයකට මුලපුරන්නේත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඉරානයේ ටෙහෙරාන් අගනුවර අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය දෙවසරකට ආසන්න කාලයක් ඉරාන විප්ලවීය සිසුන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්වන්නේත්, ඔවුන් මුදාගැනීම සඳහා එවකට සිටි අමෙරිකානු ජනාධිපති ජිමි කාටර් අසාර්ථක හමුදා ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන්නේත්, පසුව වත්කම් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරිමට පියවර ගන්නේත් මේ අර්බුදකාරි තත්ත්වයේ සෙවණැල්ලෙන් වැසීගෙනයි.

මීට 40 වසරකට පෙර ඉස්ලාමීය විප්ලවයෙන් ඉරානය බිහි වීමෙන් සිදු වුයේ මැදපෙරදිග කලාපයේ අමෙරිකානු සතුරෙකු බිහි වීම පමණක් නොවේ. විකල්ප ආගමික හා දේශපාලනික බල මූලයක් මැදපෙරදිග කලාපයේ බිහි වීමයි. විශේෂයෙන් මැදපෙරදිග කලාපයේ ෂියා මුස්ලිම්වරුන්ට නායකත්වය දීමට රටක් හෝ විශේෂ බලවේගයක් නොවීය. සුන්නි මුස්ලිම් ප්‍රජාවට සවුදි අරාබියේ නායකත්වය හිමි ව තිබුණද ෂියා මුස්ලිම් ප්‍රජාවට එවැනි ශක්තිමත් ආධාරක රාජ්‍යයක් තිබුණේ නැත. බහුතර ෂියා මුස්ලිම්වරුන්ගෙන් සමන්විත ඉරානය ෂියා මුස්ලිම් ආගමික ප්‍රධානින් විසින් පාලනය කරන ලදුව ෂියා මුස්ලිම් ප්‍රජාව සඳහා නායකත්වය දීමට සියලු සුදුසුකම් සපුරා තිබිණි. අමෙරිකානු විරෝධි ෂියා මුස්ලිම් බලකේන්ද්‍රයක් ලෙස ඉරානය බිහි වීමත් සමඟ නිතැතින්ම නිර්මාණය විය.

වර්තමානය වන විට ඉරානය මැදපෙරදිග කලාපයේ බටහිර විරෝධි රටවල් මෙන්ම සටන්කාමී සංවිධානද ඒකරාශි කරගනිමින් ප්‍රබල විකල්ප බලකඳවුරක් නිර්මාණය කර තිබේ. සිරියානු යුද්ධය, යේමන යුද්ධය ආදී කලාපිය යුදබිම්වලදී ඉරානයේ ක්‍රියාකාරිත්වය කැපී පෙනෙන අතර එය සෘජුවම අමෙරිකානු බලාධිකාරයට අභියෝග කරයි. එමෙන්ම රුසියාව හා චීනය යන ගෝලිය විකල්ප බලවතුන් ඉරානය සමග අත්වැල් බැඳගෙන සිටී.

ඉරානය නිෂ්ක්‍රිය කිරීමේ මෙහෙයුමක් ඇරැඹීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙලඹෙන්නේ විශේෂයෙන් වොෂිංටන මැදපෙරදිග ආධිපත්‍යය පවත්වාගැනීමේ අභිලාෂයෙන් බව පෙනේ. ඒ අතරම ඉරානය මැදපෙරදිග සිටින හිස්බුල්ලා හා හවුති වැනි ෂියා මුස්ලිම් සටන්කාමී සංවිධානවල ප්‍රධාන අනුග්‍රාහකයා වීම නිසා ඇතිව තිබෙන ආරක්ෂක තත්ත්වය කලාපීය ස්ථාවරභාවයට සෘජුව බලපාන්නකි.

අද වන විට අමෙරිකාව ඉරානයට එරෙහිව ඉතා බරපතළ ආර්ථික යුද්ධයක් අරඹා තිබේ. එහෙත් අමෙරිකාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ මේ දක්වා යුරෝපීය බලවතුන් එම ආර්ථික යුද්ධයට සම්බන්ධ නොවීමයි. වෝර්සෝ සමුළුව ඉරානයට එරෙහිව පොදු බටහිර කඳවුරක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් සංවිධාන කෙරුණද ඉන් අපේක්ෂිත ප්‍රතිඵල අත් නොවූයේ ප්‍රංශය හා ජර්මනිය වැනි මහා යුරෝපා බලවතුන් දැක්වු ඇල්මැරුණ ප්‍රතිචාරය නිසාය. මේ නිසා සම්බාධක මඟින් ඉරානයට කොතරම් දුරට හානියක් කිරීමට අමෙරිකාවට හැකිවේද යන්න ගැන ගෝලීය අවධානය යොමුව ඇති කරුණකි.

 

Comments