
ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ඊ.ටී.අයි.ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ ආයෝජන වත්තකම් විකිණීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.
ඊ.ටී.අයි. ආයතනයේ ආයෝජන වත්කම් විකිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීම පිළිබඳව වැරදි තොරතුරු සංසරණය වන බව අදාළ නිවේදනය මඟින් පෙන්වා දෙයි.
ඊ.ටී.අයි.ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ තැන්පත්කරුවන් වෙත උපරිම ප්‍රතිලාභයක් ලබාදෙන පරිදි ගැනුම්කරුවෙකුට විකිණීම සිදුකළ යුතු බවට සෑම අවස්ථාවකදීම අවධාරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුවේ නියාමනයට ලක්වන ආයතනයන්වල ආයෝජනය කිරීම හෝ ඒවායේ වත්කම් විකිණීම සම්බන්ධයෙන් ඕනෑම සාකච්ඡාවක් අදාළ ආයතනය සමඟ සෘජුවම සිදුකළ යුතු බවට මුදල් මණ්ඩලයේ ස්ථාවරය බැවින් ඊ.ටී.අයි ආයතනයේ වත්මක් විකිණීම සම්බන්ධයෙන් සියලු සාකච්ඡා එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදුකළ බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.
ඊ.ටී.අයි.ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය මිලදී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 61 සිට අමෙරිකානු ඩොලර් මිලියන 75 දක්වා පරාසය තුළ විවිධ ලන්සු තබා ඇති අතර එම මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිර්දේශ කරන ලද එකම පාර්ශ්වය වුයේ වත්මන් ගැනුම්කරු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව අදාළ ගනුදෙනුව පවතින නීති සහ රෙගුලාසීවලට යටත්ව අමෙරිකානු ඩොලර් මිලියන 75ක මුදලකට ඊ.ටි.අයි.ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය විකිණීම සඳහා අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
එම ගනුදෙනුවට අනුව මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 54ක මුදලක් දැනටමත් ඊ.ටී.අයි. වෙත ලැබී ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.