උපප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ කළුගල නන්දරතන නාහිමි | සිළුමිණ

උපප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ කළුගල නන්දරතන නාහිමි

කළුගල නන්දරතන හිමියන් ගල්පාත පුරාණ විහාරාධිපති බැල්ලපිටිය විද්‍යාශේකර පිරිවෙනෙහි විශ්‍රාමික පරිවේණාධිපති කෘත්‍යාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කාරක සභික ශාසනකීර්තී ශ්‍රී නන්දාරාම රයිගම් කෝරලයේ උප ප්‍රධාන සංඝනායක කළුගල නන්දරතන හිමියන් එම ධූරයෙන් පිදුම් ලැබීම නිමිත්තෙනි.

ඩී. එස්. රණවක මුදලාලි මහතා සහ ඩී. එම්. ගමගේ උපාසිකා මාතාව අප නායක හිමියන්ගේ මවුපියෝ වෙති. 1955 ජනවාරි මස 19 වැනි දින කළුතර දිස්ත්‍රික්කයේ කළුගල ග්‍රාමයේදී උපන් අප නායක හිමියන් 1964 ජූනි මස 25 වැනි දින බුලත්සිංහල නන්දාරාම නාහිමි වෙතින් පැවිදි බව ලැබූ අතර හොරණ විද්‍යාරතන විශ්වවිද්‍යා පීඨයෙන් පිරිවෙන් අධ්‍යාපනය ද ලැබීය.

1980 ජනවාරි 19 වැනි දින ගල්පාත විහාරස්ථානයට වැඩම කළ කළුගල නන්දරතන හිමියන් 1981 එම විහාරස්ථානයේම විහාරාධිපති තනතුරට පත්වුණ අතර එදා මෙදා තුර අප විහාරස්ථානයටත් ගල්පාතට පමණක් නොව මුළු රටටමත් උන්වහන්සේගෙන් ඉටුවුණු සේවය අතිමහත්ය. කුඩා විහාරස්ථානයක් ලෙස පැවැති ගල්පාත විහාරස්ථානය අද පවතින දියුණු තත්ත්වයට පත් කිරීමට කළුගල නන්දරතන නායක හිමියන් අප්‍රතිහත ධෛර්යකින් කටයුතු කළ අතර සමාජ සුභසාධන සංවිධාන රැසකගේ ද සහයෝගය ලබා ගෙන ගල්පාත ප්‍රදේශය දියුණු කිරීමට උන්වහන්සේ අතිවිශිෂ්ඨ කාර්යභාරයක් ඉටු කරන ලදී.

විශේෂයෙන්ම ගංවතුර උවදුර නිසා නිරන්තරයෙන් පීඩා විදින ගල්පාත හා අවට ප්‍රදේශවාසී ජනතාවට එම අවස්ථාවලදී අවශ්‍ය සහන ලබාදීම සදහා ද ගල්පාත ශ්‍රී සද්ධාරාම දහම් පාසල තුළින් ප්‍රදේශයේ දූ දරුවන්ගේ බෞද්ධ අධ්‍යාපන ප්‍රබෝදය ඉහළ නැංවීම සදහා ද අප නායක හිමියන් අති දැවැන්ත වැඩ කොටසක් ඉටු කර තිබේ.

එපමණක් නොව 1987 වර්ෂයේදී බැල්ලපිටිය විද්‍යාශේකර පිරිවෙන නැවත ආරම්භ කිරීමෙන් පසු එහි ප්‍රථම පරිවේනාධිපති හිමියන් ලෙස ද පත් වූ පූජ්‍ය කළුගල නන්දරතන හිමියන් එතැන් සිට අඛණ්ඩව පුරා වසර 27ක් එම පිරිවෙන හරහා ගිහි පැවිදි සිසු දරුවන්ගේ ගුණ නැණ වර්ධනය කිරීමෙහිලා ප්‍රමුඛ වැඩකොටසක් ඉටුකර ඇත.

ආරියපාල එදිරිමාන්න
සභාපති - ගල්පාත විහාරස්ථ දායක සභාව

Comments