
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ‘ඉකසුචී’ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (ජනවාරි 15) හම්බන්තොට වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදි.
‘ඉකසුචී’ නෞකාව හම්බන්තොට වරායට සේන්දු වීමෙන් අනතුරුව, නෞකාවේ මෙහෙයුම් භාර නිලධාරි වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් රොයොකෝ ඉසුමා මහත්මිය සහ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරින් පිරිසක් දකුණු නාවික විධාන භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවිර මහතා හමුවූ අතර, එහිදී ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳ ව සුහද පිළිසඳරක නිරත විය. මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රංජිත් ප්‍රේමරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අට්සුහිරෝ මොරොරෙ (Captain Atsuhiro Morore) මහතා සහභාගි විය.
තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළ දී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද සහභාගී වීමට නියමිතව ඇත.