බෝනොවන රෝග ගැන ජංගම දුරකථන සමීක්ෂණයක් | සිළුමිණ

බෝනොවන රෝග ගැන ජංගම දුරකථන සමීක්ෂණයක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බෝ නොවන රෝග පිළිබඳ ව වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා ජංගම දුරකථනය භාවිත කරමින් දීප ව්‍යාප්ත සමීක්ෂණයක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග  ඒකකය කටයුතු යොදා තිබේ.
 
මේ මස අවසාන සතියේ පමණ එම සමීක්ෂණය ආරම්භ කිරීමට නියමිත බව බෝ නොවන රෝග ඒකකයයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා සඳහන් කරයි. මෙරට පුරවැසියන් සඳහා ජංගම දුරකථන ඇමතුමක් මඟින් කෙටි ප්‍රශ්න 20ක් ලබා දී ඔවුන්ගෙන් ලැබෙන පිළිතුරු පදනම් කර ගනිමින් එම දත්ත විශ්ලේෂණය කර බෝ නොවන රෝග පිළිබඳ ව පූර්ණ දත්ත එකතුවක් සකස් කර ගත හැකිවන බව විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා පවසයි.
 
පුද්ගලයන් ලබා දෙන තොරතුරුවල පූර්ණ සුරක්ෂිත බව හා රහසිගත බව සුරකිමින් මෙම ප්‍රශ්නාවලිය සිදු කරන බවත්, දුම්පානය, මත්පැන් භාවිතය, දුම්කොළ භාවිතය, එළවළු හා පලතුරු ගැනීම, දියවැඩියා තත්ත්ව ආදී තොරතුරු, ඖෂධ භාවිතය පිළිබදව ප්‍රශ්න යොමු කරන අතර ඊට පිළිතුරු ලබා දීමේ කැමැත්ත මත මෙම සමීක්ෂණය සිදු කිරීමට බෝ නොවන රෝග කාර්යංශය අපේක්ෂා කරයි.
 

Comments