අලුත් ව්‍යවස්ථා‌වේ ඇත්ත අගමැති හෙළි කරයි | සිළුමිණ

අලුත් ව්‍යවස්ථා‌වේ ඇත්ත අගමැති හෙළි කරයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දැන් ඉදිරිපත් කර ඇත්තේ පනත් කෙටුම්පතක් නොව විද්වතුන්ගේ කමිටු වාර්තා, දේශපාලන නියෝජිතයන්ගේ අන්තර් වාර්තා, විද්වත් මන්ත්‍රී කමිටු වාර්තා, පළාත් සභාවල මැති-ඇමැතීන්ගේ වාර්තා පමණක් බවත්; ඉදිරියේදී කෙටුම්පත් කෙරෙන ව්‍යවස්ථා සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කොට තීරණයක් ගත යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පසුගිය සිකුරාදා (11) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කාරක සභාවේ මෙහෙයුම් කමිටු වාර්තාව ඒ කමිටුවේ සභාපති ලෙස සභාව වෙත පිළිගන්වමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙහිදී කිසිම තැනක රට බෙදීමක් ගැන හෝ බුද්ධාගමට හිමි ප්‍රමුඛ තැන නැති කිරීමක් ගැන සඳහන්ව නැති බවත්, රටේ ඒකීය භාවය සහ බුදුදහමට පුමුඛත්වය දෙන බව පැහැදිලිවම එම වාර්තාවල සඳහන් වන බවත් පෙන්වා දුන්නේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා එහිදී සඳහන් කළේ ඒකීය රාජ්‍යයක් යටතේ පළාත්සභාවලට බලය ලබාදීම, මැතිවරණ ක්‍රමය පිළිබඳ මෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධවද සාකච්ඡා කළ යුතු බවත්, පක්ෂ අතර සාකච්ඡා කරමින් නව ව්‍යවස්ථාවක් සැකසීමේ කටයුත්ත ඉදිරියට ගෙන යා යුතු බවත්ය.

Comments