සැහැල්ලු දුම්රියට ජපානයෙන් ඩොලර් මිලියන 1850ක් | සිළුමිණ

සැහැල්ලු දුම්රියට ජපානයෙන් ඩොලර් මිලියන 1850ක්

කොළඹ නගරයේ සහ අවට ප්‍රදේශවල පවත්නා අධික රථවාහන තදබදය මැඬලීම පිණීස ඇරැඹීමට යෝජිත සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය (LRT) සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 1850 ක ණය ආධාර ලබාදීමට ජපානය එකඟතාවය පළ කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.කොළඹ කොටුව සිට මාලඹේ දක්වා දුම්රිය ස්ථාන 16 කින් සමන්විත කි.මී. 17ක් දිගින් යුත් මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතියට මූල්‍ය හා තාක්ෂණික ආධාර සැපයීමට ජපානයේ අන්තර්ජාතික සහයෝගිතා ආයතනය (ජයිකා) ඉදිරිපත් වී ඇතැයිද අමාත්‍යාංශය පවසයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම ණය ආධාර ලබාගැනීම පිණිස ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ජයිකා ආයතනය විසින් 2024 දක්වා කාලය තුළ අදියර 6 කින් මෙම ණය මුදල ලබාදීමට නියමිත වන අතර මෙහි පළමු අදියර යටතේ ඇ.ඩො.මි. 260 ක් ලබාදීමට නියමිතය.

 

Comments