පුරාණ බලි තොවිල් ඇදුරන්ගේ වර්ණ නිෂ්පාදන තාක්ෂණය | Page 5 | සිළුමිණ

පුරාණ බලි තොවිල් ඇදුරන්ගේ වර්ණ නිෂ්පාදන තාක්ෂණය

බලි යන වචනයෙහි මූලික අරුත වන්නේ “පූජාව” යන්නයි. එහෙත් අද එම වචනය මැටියෙන් අඹන ලද රූප හැඳින්වීම සඳහාද යොදනු ලැබේ. ජ්‍යොතිෂයට අනුව ග්‍රහයෝ නවදෙනෙක්වන අතර එනම් රාහු, කේතු, රවී, සඳු, කුජ, බුද, ගුරු, කිවි සහ සෙනසුරු ය. මෙම ග්‍රහයන් නවදෙනාගේ බලපෑම මත මනුෂ්‍යයන්ට නොයෙක් ආකාර ලෙඩදුක් හා පීඩාවන්වන බව මුතුන් මිත්තන්ගේ විශ්වාසයයි. එම අපල උපද්‍රව දුරු කරගැනීමේ අරමුණින් බලියාග පවත්වනු ලැබේ. සිංහල ගැමි බෞද්ධයන් අතර පැරණි ඉන්දු ආර්යයන්ගේ අථර්වවේදයේ එන භූත විද්‍යා ගණයට අයත් යක්ෂ, භූත, ප්‍රේත ආදීන් පිළිබඳ විශ්වාස මත පදනම් වූ ශාන්තිකර්ම විධි සමූහයක් පවතින අතර එවැනි ශාන්තිකර්ම ත්‍රිත්වයක් වේ. ඒවා නම්,

 

තොවිල් - යකුන් පිදීම සඳහා

මඩු ස්තෝත්‍ර - දෙවියන් පිදීම සඳහා

බලි යාග - ග්‍රහයන් පිදීම සඳහා

 

මෙරට බලි යාගයන් හා බැඳුණු බලි කලාව කෙතරම් පැරැණි කාලයක සිට පැවත එන්නක්දැයි අනුමාන කිරීම අපහසු වේ. නමුත් මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදාය ආරම්භවන අවධියේ එය ගම්බද ජනයා අතර පැවැති බවට සාධක ඇත. පහතරට ප්‍රදේශවල ජනයා තුළ බලි කලාව ජනප්‍රියව පැවැති බව පෙනෙන අතර සියවස් ගණනාවක් පැවැති විදේශ ආධිපත්‍ය නිසා බුදුදහම සහ සංඝ ශාසනය පිරිහීයාමෙන් පොදු ජනයා වඩ වඩාත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වැනිදෑ වෙත නැඹුරුවන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

බලි ශාන්තිකර්මවලදී ද බලිරූප අඹාගැනීමෙන් පසුව වර්ණ ගැන්වීම කරනු ලබනු ලැබේ. බලි සිතුවම් තාවකාලික කෘතීන් බැවින් ඒවා සිතුවම් කිරීමට යොදාගත් වර්ණ ද කල් නොපවතින, පහසුවෙන් සොයාගත හැකි ඒවා වන්නට ඇත. ලංකාවේ බලි චිත්‍ර මූර්ති කලාවට උපයෝගී කරගනු ලැබු වර්ණ දේශීය අමුද්‍රව්‍යවලින් තනාගන්නා ලද වර්ණ බව විද්වත් මතය වී තිබේ. විශේෂයෙන් සබරගමු සම්ප්‍රදායේ බලියාගාචාර්යවරුන් පොළොවෙන් ලබාගන්නා වර්ණක කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වා ඇත. ඔවුන් බොහෝ දෙනා පතල් කම්කරුවන්ය. බලි ඇදුරන් මෙන්ම පතල් කම්කරුවන් ලෙස ද කාලාන්තරයක් ගතකිරීමෙන් පොළවේ පාංශු වර්ණක පිළිබඳව ලැබූ අවබෝධය ඊට ආධාරකයක් වන්නට ඇත.

බලි වර්ණ ගැන්වීමේදී පළමුව බලි රූප මත හා මැටි පුවරුව මත මකුළු වර්ණය පින්තාරු කරනු ලැබේ. මකුළු පින්තාරුව හා වර්ණ ගැන්වීම සිදුකරනුයේ අඹන ලද රූප සහ බලි පුවරුවේ මැටිවල දිය ගතිය මදක් වියලී යාමෙන් පසුවය. බලිය පවත්වන දිනයට දින දෙකකට පමණ පෙර සිට බලි ඇඹීම ආරම්භ කළේ නම් එසේ කිරීමට අවකාශ ලැබේ. එහෙත් දිනක් ඇතුළත අඹා වර්ණ ගැන්වීම සිදුකරන්නේ නම් බලි ඇඹූ විගස මකුළු ආලේප කිරීමට ඇදුරෝ යුහුසුළු වී ඇත.

ග්‍රහ රූප ඇඳීමට ප්‍රථම ඒ ඒ ග්‍රහයාට හිමි කොටුවේ අදාල ග්‍රහයාට නියමිත වර්ණය කල්තියාම ආලේප කිරීම සබරගමු ඇදුරන්ගේ සිරිත විය. ඉන්පසු ක්‍රමානුකූලව බලි රූපය සිත්තම් කර ඇත. බලි වර්ණ ගැන්වීමේදී සාමාන්‍ය සිතුවම් ක්‍රමවලට වඩා තරමක අසීරුතාවයක් උද්ගතවන බව පෙනේ. එනම් තෙතබරිත මැට්ටේ ගල්වන ලද දියාරු මකුළු පින්තාරුව මත දියාරු වර්ණවලින්ම රේඛා හැඩතල ඇඳීම අසීරු වීමයි.

එහෙත් මේ බලි සිත්තරුන් බලි ශිල්පීන් කාලාන්තරයක් තිස්සේ එම කාර්යයන්හි නිරතවීමෙන් ලද විශේෂ ප්‍රාගුණ්‍යය ඇත්තවුන්ය. මෙසේ තෙත බදාමය මත චිත්‍රණය කිරීමේ තාක්ෂණය යුරෝපීය ෆෙස්කෝ බුවනෝ ක්‍රමය හා සමාන බව පෙනේ.

උඩරට බලි යාගවලදී බලි රූප වර්ණවත් කිරීම සඳහා ශාකවල කොළ වර්ග, රට කහ වැනි ගෙඩි වර්ග යොදාගනු ලැබේ. ගුරුගල් හා පස් වර්ගද භාවිතා කර ඇත. එහෙත් පහතරට බලි රූප වර්ණවත් කිරීම සඳහා මූර්ති ශිල්පයට අදාල වර්ණ යොදාගෙන තිබේ. බලි වර්ණ නිෂ්පාදනය පිළිබඳව සොයා බලනවිට සුදු වර්ණය සඳහා මකුළු (කැඹලින්) නැමැති සුවිශේෂී මැටි වර්ගය යොදාගෙන තිබෙන බව පෙනේ. මෙය දියසීරාව, උල්පත්, ගං ඉවුරු ආශ්‍රිතව ද (ගැමියෝ මයිකාව නමින් හඳුන්වන) තද පාංශු ස්ථර තුළද, තිරිවාන පාෂාණ පිහිටි ස්ථානවල හා සුදු ඉල්ලම් (මැණික් පිහිටි පාංශු ස්ථර) අතර පිහිටන පිටි ස්වභාවකින් යුක්ත වූ මැටි විශේෂයකි මෙය. එසේම ඇතැම් ප්‍රදේශවල කිරිමැටි නැමැති සුදුපාට මැටි වර්ගයද මීට ආදේශකයක් වශයෙන් යොදාගෙන ඇත.

එහෙත් කිරිමැටි හා මකුළු මැටි අතර පැහැදිලි වෙනසක් ඇති බව බලි සිත්තරු පෙන්වා දෙති. එනම් කිරිමැටිවල තෙල් ස්වභාවය අධිකවන අතර තද ඇලෙන ගතියකින් ද යුක්තය. වර්ණයක් ලෙස දියකර ගැනීමද තරමක් අපහසුය. කිසියම් මැටි පෘෂ්ඨයක් මත ආලේප කළ පසු වියළීයාමට හෝ දිය සිඳීයාමට දීර්ඝ කාලයක් ගතවේ. කිරිමැටි ආලේපනය මත වෙනත් වර්ණයක් ගැල්වීමේදී බලි සිත්තරුන්ට විවධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව ඇත. කිරිමැටි ක්ෂණිකව වියළීයාමේ ගුණයෙන් යුක්ත නොවන බැවින්ද, ක්ෂණිකව දිය සිඳී නොයන කිරිමැටි මත දියාරු වර්ණ තවදුරටත් ගැල්වීම අපහසු බැවින්ද එම දුෂ්කරතාවයන්ට මුහුණපාන්නට ඇත. කිරිමැටිවල පවතින අධික තෙතගතිය නිසා මෙන්ම ඉතා ඝනව පිරිබඩ ගෑමට හැකි වර්ගයක් නිසා ද්‍රවිඩ ජනතාව බිත්ති ආලේපනයක් ලෙස ඒවා යොදාගනු ලබයි.

ඕනෑම කලාවකදී තෙත බරිත පෘෂ්ඨයක් මතුපිට ආලේපිත වර්ණ ක්ෂණිකව වියළී යායුතුය. බලි නිර්මාණයේදී ඒ සඳහා වඩාත් යෝග්‍ය වූයේ මකුළු මැටිය. හුණු හා වයිටිං නැමැති කුඩු වර්ගය මෙන් තෙත් ජලයේ හොඳින් දියවෙන සුළු ගතියක් මකුළුවල තිබෙන බැවින් තීන්ත ද්‍රාවණයක් සේ ඉතා පහසුවෙන් පින්තාරු කළ හැකිවිය. එසේම වරක් පින්තාරු කළ පසු ඒ මත කිහිපවරක් නැවත නැවත පින්තාරු කළ හැකිය. මකුළු පින්තාරු කරීමේදී යොදාගනු ලබන තෙලිකූරු ඉතා පහසුවෙන් හසුරුවා ගැනීමේ හැකියාවක් පවතී. එහෙත් කිරිමැටි පින්තාරු කිරීමේදී තෙලිකූරුවල කෙඳි එකට ඇළී පවතී. එවන් විටකදී කිහිපවතාවක් අවශ්‍ය පරිදි වර්ණ ගැන්වීම කළ නොහැකි වේ. මකුළු මැටි ජලයේ හොඳින් දියකර දැල් සහිත රෙදි කඩකින් පෙරා දිය සිඳී යන තෙක් වේලා ගැනීමෙන් පසු දීර්ඝ කාලයක් තබා ගැනීමේ හැකියාව ඇති වර්ණකයක් ද වේ.

බලි සිත්තරුන් මකුළු මැට්ටේ සුවිශේෂ ගුණ හඳුනාගෙන සිටියා මෙන්ම විහාර සිත්තරුන්ද එම ගුණ මනාව හඳුනාගෙන සිටින ලදී. බිතුසිතුවම් තලය සකසා ගැනීමේදී විහාර සිත්තරුන් ද මකුළු මැටි භාවිතා කර ඇති බවට සාධක ලැබී ඇත.

බලි ශිල්පීන් කළු වර්ණය තනාගෙන ඇත්තේ ගිනි තබන ලද පොල්කටු හොඳින් දහනය වී අඟුරු බවට පත්වීමෙන් පසුව එම අඟුරු භාවිතයෙනි. එහිදී අඟුරු බවට පත්වූ පොල්කටු දහයියා හෝ සිහින් වැලිවලින් වසනු ලැබේ. අඟුරු නිවීගිය පසුව ඒවා වැලි හෝ දහයියාවලින් වෙන්කර පිරිසුදු කරගෙන සිහින්ව අඹරාගෙන තිබේ. පොල්කුටු අඟුරු ජලය යොදා නිවානොගන්නා ලද අතර එසේ කළහොත් පොල්කටු අඟුරු ඝන තද රලු ස්වභාවයක් ගෙන ඇත. එවිට ඇඹරීම හෝ වර්ණකයක් ලෙස ඉතා පැහැදිලිව භාවිතා කිරීම අපහසු වේ.

රතු වර්ණය සකසා ගැනීමේදී දියාලු පාංශු ස්ථර ආශ්‍රිතව පිහිටන පිටි ස්වභාවයකින් යුතු රතු වර්ණ පස් දියකර පෙරා වේලාගෙන ඇත. කහ වර්ණය සාදාගෙන ඇත්තේ කහපාට දියලු මැටි ඇසුරිනි. කබොක් නමින් ගැමියෝ හඳුන්වන (දිය සහිත) පාංශු ස්ථර අතරේ සුලභව දැකගත හැකි මෙම වර්ණය අඩි 10-20ක් තරම් ගැඹුරේද ඇතැම් ගංගා ඉවුරු පාමුලද, උල්පත් ආශ්‍රිතවද දක්නට ලැබේ.බලි සිත්තරා දුඹුරු වර්ණය සාදාගෙන ඇත්තේ ගුරුගල් ඇඹරීමෙනි. ගුරුගල් වනාහි ප්‍රාග්-ඓතිහාසික මානවයාගේ සිට විහාර සිත්තරු දක්වාම භාවිතා කළ පාෂාණ වර්ගයක් වීම විශේෂය.

එම ආභාසය බලි කලාවටද බලපා ඇති අතර නමුත් ඔවුන් එය යොදාගෙන ඇත්තේ විහාර සිත්තරුන් මෙන් රතු පැහැය සඳහා නොව දුඹුරු වර්ණය නිපදවා ගැනීමටය. කොළ පැහැය නිෂ්පාදනය කරගැනීමේදී ඇත්තෝර කොළ කොටා මිරිකා යුෂ ලබාගෙන තිබේ.

එය අධික ලෙස ජලය දමා මිරිකා නොගෙන ඉතා උකුව සකස් කරගනු ලැබූවකි. කරපාට සකසාගැනීමේදී කළු හා රතු වර්ණ සමසේ ගෙන මිශ්‍ර කරගෙන ඇත. නිල් පැහැය සකස් කරගෙන ඇත්තේ තද පාෂාණ පිහිටි ගං ඉවුරු ආශ්‍රිතව හා ඇල දොළ උල්පත් ආශ්‍රිත ඉවුරු පාමුල හමුවන නිල් හා තද නිල් වර්ණයෙන් යුතු මැටි හා කබොක් පාෂාණ යොදාගෙනය. මේ අනුව පැහැදිලිවන කරුණ වන්නේ අපේ පැරැණි බලි තොවිල් ඇඳුරන් තම නිර්මාණකරණයේදී ස්වභාවික අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන අපූර්වතම වර්ණ ගණනාවක් නිෂ්පාදනය කරගෙන ඇති බවය.

Comments