ආහාර මාර්ගය ශක්තිමත් කරන කොලොස්ටරෝල් පාලනය කරන ධාන්‍ය වර්ග | සිළුමිණ

ආහාර මාර්ගය ශක්තිමත් කරන කොලොස්ටරෝල් පාලනය කරන ධාන්‍ය වර්ග

වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම

(මෙහි මුල් කොටස පසුගිය සතියේ පළ විය.)

කොල්ලු

තරබාරු, මහත, දහඩිය දමන අයගේ බර අඩු කර ගැනීමට හොඳම ආහාරය කොල්ලු ය. කොල්ලු බොහෝ වේලා තැම්බිය යුතු බැවින් බොහෝ දෙනා කොල්ලු ආහාරයට ගැනීමට මැළිකමක් දක්වති. එවිට කොල්ලු බැද කැඳ වශයෙන් ආහාරයට ගත හැකි ය. කොල්ලුවල ............ ප්‍රමාණය අධිකය.

වර්ණය අනුව කොල්ලු වර්ග 4 කි. සුදු කොල්ලු, කළු කොල්ලු, පුල්ලි කොල්ලු සහ රතු කොල්ලු යනුවෙනි. කොල්ලු දියරය උණ ගතිය අඩු කරයි. පීනොල් ප්‍රමාණය අධික ය. ඒවා ශරීරයේ බර අඩු කරයි. කාන්තාවන්ගේ අක්‍රමවත් රුධිර වහනයට යෝග්‍යයි.

කොල්ලු ග්‍රෑම් 100 ක පෝෂණය

ශක්තිය කැලරි 321

මේදය ග්‍රෑම් 0.5

කැල්සියම් මිලි ග්‍රෑම් 287

යකඩ මිලිග්‍රෑම් 8.4

රයිබොෆ්ලේවින් මයික්‍රොග්‍රෑම් 200‍

ප්‍රෝටීන් ග්‍රෑම් 22

කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 37.2

පොස්පරස් මිලිග්‍රෑම් 311

තයමින් මයික්‍රොග්‍රෑම් 420

නියැසින් මයික්‍රොග්‍රෑම් 1500

 

කවුපි

කවුපිවල ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත. පිළිකා මර්දනය කරයි. දියවැඩියාව පාලනය කරයි. LDL කොලෙස්‍ටරෝල් අඩු කරයි. HDL කොලෙස්ටරෝල් වැඩි කරයි. වේදනා නාශක ගුණ, උණ අඩු කිරීමේ ගුණ ඇත. හෘදයවස්තුව, පෙණහලු, අක්මාව ආරක්ෂා කිරීමේ ගුණ ඇත. මුත්‍රා ගල් දිය කිරීමේ හැකියාව තිබේ‍. කවුපි මලබද්ධය දුරු කරයි. අර්ශස් සහ පීනසට යෝග්‍යයි.

 

බාර්ලි

බාර්ලි ඉතාම පෝෂ්‍යදායි ආහාරයකි. යව යනුවෙන් ද හැඳින්වෙන බාර්ලි ධාන්‍යවල පිෂ්ටය සහ ප්‍රෝටීන් අඩංගු ය. බාර්ලි මඳක් කහට ගතියෙන් යුක්තය. සිසිලය. ගුණ සම්පන්නය. බඩගින්න වඩවයි. පවස දුරු කරයි. කටහඬ උපදවයි‍. ශක්තිකාරකයකි. මෙහි පත්‍රවල ඇල්කලොයිඩ ගැරමයින් ද මුල්වල හෝර්ඩිතීන් අඩංගුය. එසේ ම බාර්ලි‍වල ග්‍ලූටන්, පොස්පොරික් අම්ලය, මාංශජනක කොටස් අඩංගුය. බොහෝ ඖෂධීය ගුණ‍යන් ඇත.

බාර්ලි මෝල්ට් සෑදීමට යොදා ගනී. චර්ම රෝග සුව කරයි. පීනස, කැස්සට ගුණදායකය. ශ්වසන මාර්ගයේ ආබාධ දුරු කරයි. බ්‍රොන්කයිටිස් සුව කරයි. එසේම මුත්‍රා මාර්ගය පිරිසුදු කර නිරෝගීව තබයි. වකුගඩු ක්‍රියාකාරිත්වය වැඩි කරයි. සිරුරේ උෂ්ණ ගතිය ඇති අයට බාර්ලි ඉතා ගුණදායකය. බාර්ලි ජීර්ණය කිරීමට පහසු ය. ආහාර මාර්ගය පිරිසුදු කරයි. ගුද මාර්ගයේ සහ ප්ලීහාවේ රෝගවලට ගුණදායකය. පෙරදිග වෛද්‍යවරුන් විසින් බාර්ලි යොදා ගනු ලබන්නේ ආහාර මාර්ග පද්ධතිය ශක්තිමත් කිරීමට ය. මෙහිදී බඩේ දැවිල්ල නැතිවේ. බාර්ලිවල ඇති බැක්ටීරියා නාශක ගුණ නිසා සමේ ඇති තුවාල සුව කිරීමට පාප්පයක් මෙන් සාදා භාවිත කරයි.

බාර්ලි ග්‍රෑම් 100 ක පෝෂණය

ශක්තිය කැලරි 336

මේදය ග්‍රෑම් 1.3

පොස්පරස් මිලිග්‍රෑම් 215

රයිබොෆ්ලේවින් මයික්‍රොග්‍රෑම් 200

මැංගනීස් මිලිග්‍රෑම් 1.32

ප්‍රෝටීන් ග්‍රෑම් 11.5

කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 69.6

තයමින් මයික්‍රොග්‍රෑම් 470

නියැසින් මිලිග්‍රෑම් 5.4

 

මෙනේරි

ධාන්‍ය භෝග අතරින් ඉතාම අඩු ජල අවශ්‍යතාව ඇති වනුයේ මෙනේරිවලටය. මෙනේරිවල අඩංගු ‍ග්ලූටන් ප්‍රමාණය ඉතා අඩු ය. මේ නිසා පෝෂණ බව වැඩිය. මෙනේරි ඉතා ශක්තිජනකය. පහසුවෙන් දිරවයි. සැහැල්ලු ආහාරයක් ලෙස පරිභෝජනයට ගත හැකි ය. මෙනේරිවල ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත. මෙනේරිවල ෆීනෝල් අඩංගු නිසා පිළිකා වළක්වයි. නියැසින් බහුලව අඩංගු බැවින් පෙලග්‍රා රෝගය ඇතිවීම වැළකේ.

මෙනේරිවල තන්තු සහ මැංගනීස් බහුල බැවින් දියවැඩියාව ඇතිවීම වළකයි. LDL කොලෙස්ටරෝල් අඩු කරයි. HDL කොලෙස්ටරෝල් වැඩි කරයි. වේදනා නාශක ගුණ, උණ අඩු කිරීමේ ගුණ ඇත. හෘදයවස්තුව, අක්මාව ආරක්ෂා කිරීමේ හැකියාව ඇත. ස්නායු පද්ධතිය නිරෝගීව තබයි. අස්ථි ශක්තිමත් කරයි. ආයුර්වේදයේ සඳහන් පරිදි අම්ල පිත හා අක්මාවේ රෝගවලට මෙනේරි හොඳ ඖෂධයකි. දරු ප්‍රසූතිය පහසුවීම සඳහා ද මෙනේරි කැඳ ඉතා සුදුසු ය.

මෙනේරි ග්‍රෑම් 100 ක පෝෂණය

ශක්තිය කැලරි 341

මේදය ග්‍රෑම් 1.1

කැල්සියම් මිලිග්‍රෑම් 14

යකඩ මිලිග්‍රෑම් 5.0

තයමින් මයික්‍රොග්‍රෑම් 200

නියැසින් මයික්‍රොග්‍රෑම් 2300

ප්‍රෝටීන් ග්‍රෑම් 12.5

කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 70.4

පොස්පරස් මිලිග්‍රෑම් 206‍

මැග්නීසියම් මිලිග්‍රෑම් 124

රයිබොෆ්ලේවින් මයික්‍රොග්‍රෑම් 180

මැංගනීස් මිලිග්‍රෑම් 1.6

 

අමු

අමු ක්ෂුද්‍ර ධාන්‍යයක් ලෙස සැලකේ‍. ආයුර්වේදයට අනුව අමු ඖෂධයකි. අමුවල යම් මත් ගතියක් ඇත. එමනිසා අමු තම්බා ගත් වතුර බීමට නොගෙන ඉවත් කරයි.

අමුවල අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය ග්‍රෑම්12 කි. අමුවල අඩංගු තන්තු ප්‍රමාණය අධිකය. එය 38% කි. මෙම තන්තු ප්‍රමාණය නූතන සහල් මෙන් 40 ගුණයකි.‍

එම අධික තන්තු ප්‍රමාණය නිසා තන්තුවලින් ලැබෙන පිළිකා නාශක ගුණය අමුවල ඇත. අමුවල කැල්සියම් ගුණ අඩංගුය. ප්‍රතිඔක්සිකාරක ගුණය අනූනය. අමු සෙම්, පිත් නසන ඖෂධයකි. ලේ ගැලීම් නවත්වන ඔසුවයි. අක්මා රෝග සුව කරයි. අධික තරබාරු බව අඩු කරයි. සර්ප විෂට අගනා ඖෂධයකි. අමු පැළෑටියේ මුල් සහ මල්වල විෂ නාශක ගුණ ඇත. මුත්‍රා ආබාධවලට ගුණදායකය‍. අමුවලින් ඇති වන මතට අළු පුහුල් ඉස්ම උක් හකුරු දමා බීම ගුණදායකය.

Comments