
තල්මසුන් නැරැඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන් ප්‍රවාහනය කරනු ලබන බෝට්ටු සේවාවන්හි පවතින දුර්වලතා හඳුනාගනිමින් එම බෝට්ටු සේවා සපයන්නන් නිශ්චිත නියාමන ක්‍රමවේදයකට යටත් කිරීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් පසුගියදා (03) වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහිදී බෝට්ටු සේවා සපයන්නන් හට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ එක් එක් බෝට්ටු සඳහා වාරයක් නියම කිරීම යනාදී විධිමත් ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රවේශ පත්‍රයක් ලබාදෙමින් සහ අධීක්ෂණ කටයුතු රජය මගින් සිදු කරමින් රටේ ආර්ථිකය සවිමත් කිරීමට දායකත්වය ලබාදීම එම වැඩපිළිවෙළේ අරමුණ වෙයි. එම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ වසර ගණනාවක් විසඳුමක් නැතිව පැවති තල්මසුන් නැරඹීමේ ව්‍යාපාරය තුළ විධිමත් හා ක්‍රමවත් භාවයක් ඇති කරමින් රටේ ආර්ථිකය සවිමත් කිරීමට එමගින් දායකත්වය ලබාදිය යුතු බවයි.
එම අවස්ථාවට සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ , වැලිගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව , වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පරාක්‍රම දිසානායක , වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් පී. සෙනෙවිරත්න මහත්වරුද සහභාගි වූහ.