
කලකට ඉහත වෛද්‍යවරුන් මෙන්ම ඖෂධ සංයෝජකයන් සෝදිසි කරන්නට ගිය විට ඔවුහු ඊට දැඩි සේ විරුද්ධ වූහ. සෝදිසි මෙහෙයුම එතැනින්ම අවසන් විය. කෙසේ නමුත් මෙවර අරක්කු ගෙන ඒමෙන් සහ මත්කුඩු ගෙන ඒ මෙන් නිලධාරීන්ට කොටු වු වෛද්‍යවරයාගේ හා ඖෂධ සංයෝජකගේ පැටිකිරිය හොඳ නැත. වෛද්‍යවරයා මීට කලකට පෙර ද ජංගම දුරකථන ආදිය සිරකරුවන්ට ගෙනැවිත් දී ජාවාරම් කෙරු අයෙකි. ඖෂධ සංයෝජක ද එවැනිම හොර වැඩ කරන්නට ගොස් නිතීයෙන් වැරදිකරු වී වැඩ තහනමට ලක් වූ අයෙකි. මොවුන් සම්බන්ධයෙන් දැන් සිදු වන්නේ කුමක්ද?
“ඔන්න දොස්තර මහත්තයෙක් අරක්කු කාලවල් දෙකක් ඇතුළට ගෙනැල්ලා...ඒ මදිවට ඊයේ ඖෂධ සංයෝජක කුඩු ගෙනැල්ලා අහුවෙලා. ”
රහස් තොරතුරු ආරංචි මාර්ගයක් අපට පැවැසුවේය.
“දොස්තර මහත්තයා අරක්කු ගෙනිහිල්ලා.”
තොරතුරු දැනගත් මොහොතේ අපි පුදුම වූයෙමු.
දොස්තර මහත්තයා වුණත් කොහොම ද ඇතුළට නිතී විරෝධී දේවල් ගෙනියන්නේ. ඇයි සෝදිසි කරන්නේ නැද්ද? සිද්ධිය දැන ගැනීමත් සමඟ අපට මතුවූ ප්‍රශ්න ඒවා ය.
හිරගෙදර කුඩු නැති දවසක් සොයාගැනීම කළුනික සොයනවා මෙන් අමාරු කාරියකි. පහුගිය කාලයේම හිරගෙදර කුඩු තිබීමට චෝදනා ලැබුවේ හිරකාරයෝය. ඇතැම් නිලධාරිහුය . නැති නම් හිරගෙදර හා පිටත සමාජය යා කරන්නා වූ ජාවාරම්කරුවෝය. එහෙමත් නැත්නම් වනාතමුල්ල, සීවලිපූර ආදි ප්‍රදේශවල ඇත්තෝය.
මේ අකටයුතුකම්වලට කිසි විටෙකත් කිසිවෙක් හිරගෙදර වෛද්‍යවරුන්, ඖෂධ සංයෝජකයන් ගැන සැක නොකළහ. ඒ මන්ද යත් වෛද්‍ය වෘත්තිය යනු ගෞරවනිය වෘත්තියක් බැවිනි. වෛද්‍යවරයා ගැන ඇත්තේ අපමණ භක්තියකි. නමුත් වෛද්‍යවරයෝද මනුෂ්‍යයෝය යන්න අපට සිතන්නට වෙන්නේ ඔවුන්ගෙන් ඇතැමෙකු තම පොකැට්ටුව ගැන සිතා, යම් යම් වාසි ගැන සිතා කටයුතු කරන විටය.
හිරගෙදර වෛද්‍යවරුන් ගැන හදිස්සියේම කතා කරන්නට සිදු වුයේ පසුගිය දා හිරගෙදර සිදු වූ සිද්ධියක් නිසාය.
වැලිකඩ බන්ධනාගාරය ඇතුළේ චෛත්‍යයත් බන්ධනාගාර අධිකාරිවරයා සිටින කාර්යාලය හා අනෙකුත් කාර්යාලවල මැදට වන්නට ඇත්තේ ඩිස්පැන්සරියයි. එම ඩිස්පැන්සරියේ සේවයට පැමිණෙන්නේ බන්ධනාගාර රෝහලේ සිටින වෛද්‍යවරු ය. බන්ධනාගාරයේ රාජකාරිය කිරීමට වෛද්‍යවරුන් සිටිය ද මේ වෛද්‍යවරුන් පත් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟිනි.
ඒ නිසා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට වෛද්‍යවරුන් සම්බන්ධව ඇති වගකීම අඩුය. මේ වන විට වැලිකඩ, සීආර්පී, මැගසින්, කාන්තා යන බන්ධනාගාර හා රෝහල සඳහාත් සිටින වෛද්‍යවරුන් සංඛ්‍යාව විසි තුනකි. මේ වෛද්‍යවරුන්ට පැවැරි ඇති රාජකාරිය බොහෝ වගකීමෙන් කළ යුත්තකි. මන්ද යත් සිරකරුවන්ගේ අසනීප ගැන ඔවුන්ට වගකියන්නට සිදු වන බැවිනි.
වැලිකඩ බන්ධනාගාරයේ දෛනික කාර්යය සිදු වන්නේ මේ අයුරිනි.
වැලිකඩ වාට්ටු ඇරෙන්නේ උදැසන පහයි තිහට පමණය. උදෑසන හය වන විට සර්ජරි පාටිය ඇරැඹේ. (සර්ජරි පාටිය යනු ඩිස්පැන්සරියේ වැඩට යන රැදවියෝය.) සර්ජරිය සඳහා රැදවියෝ හය දෙනෙක් පමණ යොදවනු ලැබ සිටිති. මේ ඩිස්පැන්සරියේ ඩිස්පැන්සර්ලා තුන්දෙනෙකි. (ඩිස්පැන්සර්ලා යනු ඖෂධ සංයෝජකයෝය)
උදෑසනට වාට්ටු ඇරුණ විට සර්ජරි පාටිය ගොස දිස්පැන්සරිය සුද්ධ පවිත්‍ර කොට පිළිවෙලක් කරනු ලැබේ. හිරගෙදරට ඖෂධ සංයෝජකයන් ලෙස බඳවාගෙන ඇත්තේ ඖෂධවේදී පාඨමාලාව හදාරා ඒ පිළිබඳ සුදුසුකම් ලත් අයය. මොවුන්ගේ නිල ඇඳුම වන්නේ සුදු කමිසය කලිසම හා කළු සපත්තු දෙකය. සර්ජරි පාටිලා පිළිවෙළක් කළ ඩිස්පැන්සරියේ වැඩ ආරම්භ වන්නේ පෙරවරු නවයයි තිහට පමණය. ඒ වෛද්‍යවරුන් සේවයට වාර්තා කරන්නේ ඒ වේලාවට බැවිනි. දිනකට ඩිස්පැන්සරියේ සේවයට වෛද්‍යවරු තිදෙනෙක් පැමිණෙති. ඒ පැමිණෙන වෛද්‍යවරුන්ගේ ආවතේවකම් කිරීමට සර්ජරි පාටියෙන් තුන්දෙනෙක් ද සිටිති. ඒ වෙන් කිරීම කරගන්නේ වෛද්‍යවරාගේ කැමැත්ත අනුවය.
වෛද්‍යවරු හිරගෙදර තුළට ඒමේ දී කිසි විටෙක ඔවුන්ව සෝදිසි කරන්නේ නැත. ඒ වෛද්‍ය වෘත්තිය සඳහා ඇති ගෞරවය නිසාය. මේ නිසා වෛද්‍යවරුන්ට ඕනෑම දෙයක් ඇතුළට ගෙන ඒමේ හැකියාව ඇත. මේ හැකියාව ප්‍රයෝජනයට ගෙන සිය වෘත්තියට පමණක් නොව බන්ධනාගාරයේ අනෙක් වෛද්‍යවරුන්ට ද කළු පැල්ලම් එක් කිරීමට ඔවුහු පසුගිය දා සමත් විය.
දෛනිකව ඩිස්පැන්සරියෙන් ප්‍රතිකාර ලබාගැනීමට රෝගී රැඳවියෝ සෑහෙන ප්‍රමාණයක් සිටිති. ඒ අතර දීර්ඝකාලින ප්‍රතිකාර ලබන්නෝද වෙති. ඒ දියවැඩියාව, කොලොස්ටරෝල් , අධිරුධිර පීඩනය ආදි රෝගයන්ටය. ඒ හැරුණ විට බඩේ අමාරුව, සමේ රෝග ආදි රෝගයන්ට ප්‍රතිකාර ලබන්නෝද වෙති. එමෙන්ම දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ගේ රුධිර පරික්ෂා කිරීම ද සිදු කෙරේ. තමන් බාරයේ සිටින පුද්ගලයන්ගේ සෞඛ්‍ය පිළිබඳ වගකීම ඇත්තේ බන්ධනාගාරය සතුවය.
“ බන්ධනාගාරයේ ඉන්න හැම දොස්තර කෙනෙකුම හොර වැඩ කරනවා කියලා අපිට කියන්න බැහැ. ඒත් සමහරු ඉන්නවා තමන්ගේ වෘත්තියට නොගැළපෙන අයුරින් කටයුතු කරන. සමහර සෝදිසි කිරීම්වල දී මෙහෙ ඉන්න බැහැ කියලා ප්‍රශ්න දාගෙන දොස්තර මහත්තුරු මාරු වෙලා ගියා. සමහරු ඇත්තටම රැඳවියන්ට ආදරෙයි. ඒත් සමහරු නම් සල්ලිවලට තමයි හැම දේම කරන්නේ. සමහර වේලාවට දොස්තර මහත්තුරුන්ට කියලා ජාතික රෝහලට හරි බන්ධනාගාර රෝහලට ඇතුළු කරවාගන්න අය ඉන්නවා.”
බන්ධනාගාරය පිළිබඳ දිගුකාලීන අත්දැකීම් ඇත්තෙක් අප හා එසේ පැවැසූවේය. ඔහු කී කතාව ඇත්ත යැයි තේරුණේ බන්ධනාගාරයේ හොර වැඩ කරන දොස්තරලා ගැන තොරතුරු සෙවීමේ දී ය.
මෙය එක්තරා විදියක ජාලයකි. ඇතැම් විට වැරදිකරුවන් වී බන්ධනාගාර ගතවන්නට යන පුද්ගලයා කෙළින්ම යන්නේ රෝහලටය. ඒ විශේෂඥ වෛද්‍යවරයකු වෙත ඔවුන් යොමු කරන්න යැයි උසාවියෙන්ම නියෝග කරන බැවිනි. ඇතැම් විට බන්ධනාගාර ගතවන රැඳවියාට පපුවේ අමාරුව ඇතැයි හෝ වෙනත් අමාරු ලෙඩක් ඇතැයි රෝගියා පවසන්නේ දැන් මැරේවි යැයි කෙනෙකුට සිතෙන අන්දමිනි. එවිට වෛද්‍ය නිර්දේශය වන්නේ රෝගියාව ජාතික රෝහලට යොමු කරන ලෙසය.
රෝගී රැඳවියා කරන්නේ බොරුවක් යැයි බන්ධනාගාර නිලධාරීන්ට දැනුණ ද ඒ පිළිබඳ ක්‍රියාමාර්ගයක් ගත නොහැකි වන්නේ රෝගියාට යම් අනතුරක් වුවහොත් අවසානයේ එහි වගඋත්තරකරුවන් වන්නේ ඔවුන් බැවිනි. ඇතැම් විට රෝගි රැඳවියාගේ සට කපට වැඩවලට වෛද්‍යවරයා උදව් වන්නේ රෝගියා මහ රාත්‍රිය වුව ද එ් වේලාවෙ ම රෝහල් ගත කරන්න යැයි ලිඛිතව දන්වමිනි. ඇතැම් විටෙක රෝගි රැඳවියා වෛද්‍යවරයාට රෝග ලක්ෂණ කියන්නේ ඔළුවේ ගෙඩියක් ඇතැයි කියා සිතෙන අන්දමිනි. රැඳවියකු රෝහල් ගතකිරීමේ දී ඔහු සමඟ බන්ධනාගාර නිලධාරිකුට ද රෝහලේ මුරට සිටින්නට සිදු වෙයි. අතීතයේ දී එසේ රෝහල් ගත වූ ඇතැම් රැඳවියන්ගෙන් කෙනෙක් පැන ගියහ. පැන යෑමට තැත් කළහ.
රැඳවියෝ ඇතැම් වෛද්‍යවරුන්ට ළැදිය. ඒ ඔවුන් තමන්ට සලකන ආකාරය අනුවය. දොස්තර අම්මා රැඳවියන්ගේ හිතගත් කෙනෙකි. රැඳවියෝ මේ වෛද්‍යවරිය හඳුනන්නේ දොස්තර අම්මා නමිනි .ඒ ඇටය ඔවුනට බොහෝ කාරුණික බැවිනි. නමුදු මේ කාරුණික බව යටින් ඇය ද යටි කූට්ටු වැඩ කරගෙන යන බව දැන් බන්ධනාගාරයට රහසක් නොවේ. ඇය රැඳවියන්ට මත්පෙති වර්ගයක් ගෙන එන බව සොයාගෙන ඇත.
තවත් වෛද්‍යවරයකු කරන්නේ තමන්ට කන්නට ගෙනෙන සුපිරිකෑම පාර්සලය රැඳවියකුට ලබාදීමය. ඔහු එසේ කෑම ලබා දෙන්නේ කිසිවක් කර කියාගැනීමට බැරි අහිංසක රැඳවියන්ට නොව හිර ගෙදර තෝරු මෝරු සිරකරවන්ටය. තමන්ට කන්නට ගෙනා කෑම එක හොර රහසේම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන තෝරෙකුට මෝරෙකුට දී රාත්‍රි එකොළහට දොළහට එළියට යන්නේ කඩයකින් සප්පායම් වීමටය. මේ සියල්ල සිදුවන්නේ මුදලටය. එහෙමත් නැති නම් කුමන හෝ වෙනත් ලාභ ප්‍රයෝජනයක් ලබාගැනීම සඳහාය. පසුගිය කාලයේ දී මේ සියල්ල පිළිබඳ බන්ධානාගාර නිලධාරිහු ඇස ගසාගෙන සිටියහ. ඇතැම් දුෂණවලට වැට බැදිණි. මෙවර අරක්කු කාල දෙකක් ගෙනා වෛද්‍යවරයා පිළිබඳව ද කලක් තිස්සේ බන්ධනාගාර නිලධාරීහු සෝදිසියෙන් සිටියහ. අවාසනාව නම් මොවුන්ව දොරටුවේ දි සෝදිසියට ලක් කිරීමට නොහැකි වීමය. මීට කලකට ඉහත වෛද්‍යවරුන් මෙන්ම ඖෂධ සංයෝජකයන් සෝදිසි කරන්නට ගිය විට ඔවුහු ඊට දැඩි සේ විරුද්ධ වූහ. සෝදිසි මෙහෙයුම එතැනින්ම අවසන් විය.
කෙසේ නමුත් මෙවර අරක්කු ගෙන ඒමෙන් සහ මත්කුඩු ගෙන ඒ මෙන් නිලධාරීන්ට කොටු වු වෛද්‍යවරයාගේ හා ඖෂධ සංයෝජකගේ පැටිකිරිය හොඳ නැත. වෛද්‍යවරයා මීට කලකට පෙර ද ජංගම දුරකථන ආදිය සිරකරුවන්ට ගෙනැවිත් දී ජාවාරම් කෙරු අයෙකි. ඖෂධ සංයෝජක ද එවැනිම හොර වැඩ කරන්නට ගොස් නිතීයෙන් වැරදිකරු වී වැඩ තහනමට ලක් වූ අයෙකි. මොවුන් සම්බන්ධයෙන් දැන් සිදු වන්නේ කුමක්ද?
බන්ධනාගාරයේ සේවයට පැමිණෙන උපාධිධාරි වෛද්‍යවරුන්ට සහ ලියාපදිංචි වෛද්‍යවරුන්ට හිමි වන පහසුකම් රැසකි. එකක් නම් ඔවුන්ට නිල නිවාසයක් ලැබේ. අනෙක නම් තම දරුවන් කොළඹ පාසල්වලට ඇතුළත් කරගැනීමේ අවස්ථාව ලැබේ. එමෙන්ම මෙම වෛද්‍යවරයා බන්ධනාගාරයට ඇතුළු වන විට ඔහුව සෝදිසි කරන්නේ නැත. ඔහුට හිමි වී ඇත්තේ බන්ධනාගාර අධිකාරිවරයාට, සහකාර අධිකාරිවරයාට මෙන් තැනකි. සිරකරුවන්ගේ සියලු රෝගවලට ප්‍රතිකාර කරන අතරේ සිය වෘත්තිය ගරුත්වය පමණක් නොව මෙරට සියලු වෛද්‍යවරුන්ට කළුපැල්ලමක් ඇති වන ලෙසින් කටයුතු කරන එක් කෙනෙකු දෙදෙනකු වූ දුෂිත වෛද්‍යවරුන් වෙනුවෙන් ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද? මේ ප්‍රශ්නය අප නඟන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙනි . බන්ධාගාරය බාර ඇමතිවරියගෙනි.
හිරගෙදර කුඩු ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පසුගිය කාලයේ පිඹුරුපත් සකස් කරන ලදි. ඉන් එක් ක්‍රියා මාර්ගයක් වුයේ විශේෂ පොලිස් බළකාය ආරක්ෂාවට මෙන්ම හිර ගෙදරින් පිටත සොදිසි මෙහෙයුම සඳහා යෙදවීය. මෙය ක්‍රියාත්මක වුවත් රටේ නිතීය, බන්ධනාගාර නිතිය නොරකින ඒ කෙසේ වෙතත් තම හෘද සාක්ෂියට එකඟ නොවන වැඩ කරන මෙවැනි වෛද්‍යවරුන් සිටින තුරු බන්ධනාගාරය මතින් තොර සමාජයක් කළ හැකි ද?