ගෝඩා හැළියට වැටුණු මැස්සන් වැනි මිනිස්සු වෙසෙන රටක්! | සිළුමිණ

ගෝඩා හැළියට වැටුණු මැස්සන් වැනි මිනිස්සු වෙසෙන රටක්!

  • කසිප්පු බොන වැඩිහිටියන්ගෙත් වැඩිවීමක්
  • අවුරුදු 15-24 ගැටවරයින්ගේ මත්පැන් නැඹුරුව වැඩිවෙලා

සුන්දර දෙයින් ලබන ආනන්දයට සමාන ආනන්දයක් සුරාවෙන් අත් විඳ ගත හැකි බව පවසන්නේ “රුබාය්යාට්” කවිපොත ලියූ ඕමාර් ඛය්යාම් ය. සුරා‍වත් රෝසමලුත් එකම රස උල්පතකට තමාව රැගෙන යන මංපෙත් දෙකක් ලෙස සඳහන් කරන ඔමර් ඛය්යාම්,

කොපමණ කලක් ගෙවන්ට ද

කෙළවරක් නැති වෑයමෙන් විවාදයෙන්

පල නොලබන

ලබන පල අමිහිරි වන

වෑයමෙන් විවාදයෙන් කාලය ශෝකයෙන්

ගෙවනුවට වඩා සුරාවෙන් ප්‍රීති වනු යෙහෙකි”

ලෙස සුරාව පිළිබඳව “රුබාය්යාට්” කවි පොතේ වර්ණනා කර ඇත.

ඕමාර් ඛය්යාම් සිය නිර්මාණයට පාදක කරගෙන තිබෙන්නේ අද අප දකින සමාජය ම දැයි විටෙක අපට සිතෙන්නේ අද බොහෝ දෙනකු සිය මත්පැන් භාවිතය සාධාරණීකරණය කරන හේතු ලෙස ශෝකය, සතුට, වෙහෙස, අපේක්ෂා භංගත්වය වැනි කරුණු හුවා දක්වන නිසාය.

මේ දිනවල ද මත්පැන්වලට පවතින්නේ දැඩි ඉල්ලුමකි. ඒ ළඟ ළඟ එන නත්තල් උත්සවය සහ එළඹෙන අලුත් අවුරුදු ප්‍රීතිය සමරනු වස් මත්පැන් මිල දී ගැනීම, රෙදිපිළි මිල දී ගන්නා තරමටම සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇති නිසාය.

මත්පැන් පානය අපට අද ඊයේ පුරුදු වූවක් නොවේ. දුටුගැමුණු රජුගේ දස මහ යෝධයන් රා බී ප්‍රීති වූ අයුරු අතීත කතාවල අප අසා ඇත. ඒ හැර මධු ප‍ානෝත්සව යනුවෙන් ඉතිහාසයේ සඳහන් කර තිබෙන්නේ ද මත්පැන් පානය කිරීමේ උත්සව පිළිබඳව ය. ගුත්තිල කාව්‍ය රචක වෑත්තෑවේ හිමි “නටත් අයෙක් සුරා මතින්” යනුවෙන් දැක්වූයේ ද කෝට්ටේ යුගයේ මිනිසුන් මත්පැන් පානය කළ නිසා ය. එහෙත් ශ්‍රී ලංකාව ඉංග්‍රීසින්ගේ යටත් විජිතයක් වූ පසුව තැබැරුම් ආරම්භ කරමින් රේන්ද ව්‍යාපාරය බිහි වූ අතර ප්‍රසිද්ධියේ “රටබීම” පානය කිරීමේ සංස්කෘතියක් බිහි විය. ශ්‍රීමත් ඩී.බී. ජයතිලකගේ මූලිකත්වයෙන් ඇරඹි අමද්‍යප ව්‍යාපාරය, රේන්ද ව්‍යාපාරයට විරුද්ධව සටන් කළ ද එය නිරර්ථක වෑයමක් ම විය. එහි ප්‍රතිඵලය වූයේ අද වන විට මත්පැන් මුළු රටම ගිල ගැනීමය.

මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු කේන්ද්‍රයේ (ADIC – Alcohol & Drug Information Centre) සමීක්ෂණ වාර්තා අනුව උත්සව, ප්‍රියසාද සහ විශේෂ අවස්ථාවලදී මත්පැන් පානය කරන පිරිස 45.5% කි. මිතුරන් සමඟ එකතු වී මත්පැන් පානය කරන පිරිස 37.9% කි. 5.8% ක් මත්පැන් පානයට යොමු වන්නේ විනෝද චාරිකාවලදීය. විභාග නිමා වීමෙන් අනතුරුව මත්පැන් පානයට යොමු වූ සිසුහු 2.5% ක් වෙති. මහා ක්‍රිකට් තරගවලදී මත්පැන් පානය කරන පිරිස 1.7% ක් පමණි. මේ අනුව උත්සව, ප්‍රියසාද මූලික කරගෙන බහුතරයක් මත්පැන් පානය කරන බව පෙනේ. මෙම උත්සව සමයේ මේ පිළිබඳව අප කතා කළ යුතු වන්නේ එබැවිනි.

“මත්පැන් සංස්කෘතියක් ඇති කරලා තිබෙන්නේ අපේ සමාජය මයි. බීපු කෙනෙක් එක්ක කවුරු හරි, හරි වැරැද්ද කතා කරන්න ගියොත් සමාජයේ අයමයි ප්‍රශ්න කරන්නේ ඇයි ඔයා බීපු අය එක්ක කතා කරන්න ගියේ, කට පියාගෙන ඉන්නනේ තිබුණේ කියලා. ඒ කියන්නේ බීපු කෙනාගේ වරද අපේ අය සාධාරණීකරණය කරනවා. බීපු වෙලාවට කරන කියන දේවල් කවුද ගණන් ගන්නේ කියලා ඒ සියල්ල අමතක කර දමනවා. ඒ වගේම තමයි තවත් සමහරු සමාජයේ ඉහළ පැළැන්තිය අනුකරණය කරන්න කියලා බොනවා. අද ගොඩක් ගැහැනු ළමයින් මත්පැන් පානයට යොමු වී සිටින බව පෙනෙනවා. ඒ අය බො‍න්නේ “පොෂ්” වෙන්න ඕනෑ කියන මානසිකත්වයෙන්. අනික අද මංගල උත්සවයක, ප්‍රිය සම්භාෂණයක වටිනාකම තීරණය කරන්නේ මත්පැන්වලින්. උත්සවයක මත්පැන් නොතිබුණොත් අපෝ ඒ මඟුල් ගෙදර කිසි වැඩක් නැහැ, කිසි සරුවක් නැහැ කියනවා. මිල අධික මත්පැන් තිබුණොත් ඒ මඟුල් ගෙදර නම් හරි සරුයි කියනවා. මිලෙන් අඩු මත්පැන් තිබුණොත් මඟුල් ගෙදර ඒ තරම් සරු නැහැ කියනවා. මෙයින් අපට පැහැදිලි වෙන්නේ මොකක්ද ?. මත්පැන් සම්බන්ධයෙන් තිබෙන සමාජ මිථ්‍යාව. මේ සමාජ මිථ්‍යාව තිබෙන තාක් කල් අපට මේ අශීලාචාර මත්පැන් සංස්කෘතිය නැති කරන්න බැහැ.” යනුවෙන් මත්පැන් භාවිතය සම්බන්ධයෙන් සමාජ විද්‍යාත්මක විග්‍රහයක් ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශ අංශාධිපති මහචාර්ය මයුර සමරකෝන් ය.

ඔහු පවසන ආකාරයට මත්පැන් පානය කළ අය කෙරෙන් පළ වන චණ්ඩිකම, වීරත්වය ද සමාජයට මත්පැන් පානය සඳහා යම් පමණකට පෙලඹවීමක් වී ඇත. බොහෝ විට මත්පැන් පානයෙන් අනතුරුව වීරත්වයක් ආරෝපණය කර ගැනීමට සමාජයට ඉවහල් වුයේ අපේ රිදී තිරය දැයි අප සිතන්නට යොමු කරවන්නේ විශේෂයෙන් ජනතාව ආදරයෙන් වැළඳ ගත් ගාමීණී ෆොන්සේකා, විජය කුමාරතුංග වැනි රංගන ශිල්පීන් මත්පැන් වීදුරුව එක් අතකින් අල්ලාගෙන අනෙක් අතේ සිගරට්ටුව රුවාගෙන උජාරුවෙන් සිය අණසක පතුරුවන අයුරු එදා රසිකයන් ආසාවෙන් නැරඹූ නිසා ය. කිසිම අවස්ථාවක මත්පැන් නිසා ඔවුන් අවඥාවට ලක් වූයේ නැත. වර්තමානයේ මත්පැන් සහ දුම්වැටි පානය ප්‍රදර්ශනය වන විට පුංචි තිරයේ කොටු දැලක් දැමුවද ඒ වන විට අශ්වයා ඉස්තාලයෙන් පැන ගොස් හමාරය. වැඩිහිටි පරම්පරාව කෙසේ වුවද තරුණ පරම්පරාවවත් මත්පැන් පානයෙන් ගලවා ගැනීම එයින් අපේක්ෂා කළා විය හැකිය. එහෙත් එය කොතෙක් දුරට සාර්ථක වූවාදැයි අපට නැවතත් සිතන්නට සිදු වන්නේ අද වන විට වයස අවුරුදු 15-24 අතර පසුවන අය මත්පැන් කෙරෙහි නැඹුරුවීම ඉහළ ගොස් ඇති බැවිනි. එය මතු දැක්වෙන සංඛ්‍යා ‍දත්තවලින් තහවුරු වනු ඇත.

2016 2017

වයස අවු: 15- 24 15% 18.2%

වයස අවු: 25-39 35.8% 27.3%

වයස අවු: 40 ට වැඩි 40.9% 33.1%

 

(මූලාශ්‍ර ADICආයතනය)

 

මීට බලපෑ හේතුව ලෙස ADIC ආයතනය සඳහන් කරන්නේ බියර් මිල පහත දැමීමයි. 2008,2009 සහ 2010 වර්ෂවල මත්පැන් පරිභෝජනය ඉහළ ගොස් තිබුණ ද 2013 වසරේ සිට 2016 වසර දක්වා මත්පැන් පරිභෝජනයේ පහත වැටීමක් දක්නට ලැබේ. ඊට හේතුව මත්පැන් මිල අඛණ්ඩව ඉහළ යෑමයි. එහෙත් කසිප්පු පරිභෝජනය කරන්නන් බියර් වෙත යොමු කරවීමේ අරමුණින් බියර් මිල පහත දැමීමෙන් වයස අවු: 15-24 අතර තරුණ පිරිස මත්පැන් භාවිතයට යොමු වී තිබේ. මේ අනුව එයින් රජය අපේක්ෂා කළ අරමුණ ඉටු වී නොමැති බව පෙනේ. එමෙන්ම සැර මද්‍යසාර පානයට හුරු වූ අය එහි මිල වැඩි වී බියර් මිල අඩුවීම නිසා බියර්වලට විතැන් වන බවක්ද නොපෙනේ. එහෙත් ඔවුන්ගේ ඇතැම් පිරිසක් කසිප්පුවලට නැඹුරු වීමේ හැකියාව තිබෙන බව තහවුරු වන්නේ 2016 වසරේ සැර මද්‍යසාර පරිභෝනය කළ පිරිස 73.7% ක් වී කසිප්පු භාවිතය 2.9% ක් ලෙස තිබියදී 2017 වර්ෂයේ සැර මද්‍යසාර භාවිතය 68.4% ක් වී කසිප්පු භාවිතය 8.3% ක් ලෙස වර්ධනය වී ඇති නිසාය.

ADIC ආයතනය සඳහන් කරන්නේ පුරුද්දක් වශයෙන් මත්පැන් පානයට යොමු වූ පිරිස සංඛ්‍යාත්මකව වැඩි බව ඔවුන්ගේ සමීක්ෂණවලදී අනාවරණය වූ බවයි. එමෙන්ම 1/3 ක පිරිසක් සතුට, දුක, වේදනවා වැනි සංවේදනා නිසා මත්පැන් පානය කරන බව ද හෙළි වී තිබේ. මේ අනුව “මල්පැණි වඩියක උණුසුම සෙවුමට යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත” කියමින් මත්පැන් පානය කරන අය අප සමාජයේ සිටිති.

පසුගිය යුද සමයේ උතුරට භාණ්ඩ යවනු ලැබුවේ නැව් මගිනි. පරිප්පු, සහල්, කිරිපිටි පැටවූ නැව් කොපමණ ප්‍රමාද වුවත් ඉවසා සිටි යාපනේ ජනතාව, මත්පැන් රැගෙන එන නැව ප්‍රමාද වූ විට ඉවසුම් නැතිව කාලය ගත කළ බව අප සමඟ පැවසුවේ යුදමය වාතාවරණයක මත්පැන්වලට ඇති ඉල්ලුම ඉහළ යන බව පෙන්වීමට ය. මේ අනුව මානසික ආතතිය, පීඩනය අඩු කර ගැනීම සඳහා මත්පැන් පරිභෝජනය කරන බව පෙනී යනු ඇත. නමුත් මත්පැන් පානය කිරීමෙන් දුක, වේදනාව, පාළුව, තනිකම මානසික පීඩනය නැති කර ගත හැකිද ?. සතුට ළං කර ගත හැකි ද?.

“මත්පැන් නිසා මොළයේ ජීව විද්‍යාත්මක වෙනස්වීමක් ඇති වෙනවා. මත්පැන් ශරීරගත වුණාම මොළයේ ඇති සෙරොටොනින් සහ ඩෝපනින් රසායනික සංයෝගවල ක්‍රියාකාරිත්වය ඉහළ යනවා. එවිට හැඟීම්වල උද්දීපනයක් ඇති වෙනවා. එය සතුට වැඩිවීමට බලපානවා. ඒත් මෙය තාවකාලිකයි. දීර්ඝකාලිනව තිබෙන්නේ නැහැ. ඒ නිසා එම උද්දීපනය ලබා ගන්න නැවත නැවතත් මත්පැන් ගන්නවා. මේ විදිහට ‍මත්පැන් පානය කරන විට ඒ සඳහා මොළය අනුවර්තනය වෙනවා. ඒ අනුවර්තනය හෙවත් මොළය ඊට හැඩ ගැසීමෙන් මත්පැන් පරිභෝජන වාර ගණන සහ ප්‍රමාණය වැඩි කරනවා. එයින් සිද්ධ වෙන්නේ කාලයක් ගත වන විට කිසිම උද්දීපනයක් නොලැබීම. මෙම අවස්ථාව මත්පැන්වලට ඇබ්බැහි වීම හැටියට හඳුන්වනවා. උද්දීපන‍යක් නොලැබුණාම එය ලැබෙයි කියලා දිගටම බොන්න පටන් ගන්නවා. මත්පැන් නැති වුණොත් මත්පැන් විරමණ ලක්ෂණ ඇති වෙනවා. ඒ කියන්නේ නින්ද නොයෑම, අතපය වෙව්ලීම, විවිධ රූප පෙනීම, විවිධ ශබ්ද ඇසීම වැනි ශාරීරික අපහසුතා ඇති වෙනවා. දුක පීඩනය අඩු කරගන්න මත්පැන් පානය කරන කතාව බොරුවක්. මත්පැන් පානය කළ විට දුක් වේදනා වැඩි වෙනවා. ඒ විදිහට මත්පැන්වලට හුරු වුණාම මොළය හැඩ ගැහෙනවා ජීවිතයේ සෑම දුක්ඛදායක අවස්ථාවකදීම මත්පැන් ඉල්ලා සිටීමට.” යනුවෙන් මත්පැන් පානය කිරීමෙන් සතුට, දුක වැනි හැඟීම්වල ක්‍රියාකාරිත්වය ජීව විද්‍යාත්මකව පැහැදිලි කළේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් ය.

මත්පැන්වලට ඇබ්බැහි වීම නිසා දිනපතා මත්පැන් පරිභෝජනය කරන ප්‍රමාණය 2016 වසරට සාපේක්ෂව 2017 වසරේදී ඉහළ ගොස් තිබේ. එය 2016 වර්ෂයේ 19.5% කි. එහෙත් 2017 වසරේදී එය 23.6% දක්වා වර්ධනය වී තිබේ. මත්පැන් පරිභෝජනයට ඇබ්බැහි වූ අය සංඛ්‍යාත්මක වශයෙන් ඉහළ යෑම රටකට කිසි සේත් සුදුසු නැත. ඔවුන් මත්පැන් සඳහා වැය කරන්නේ සිය දරු පවුල නඩත්තු කිරීමට ඇති මුදල් ය. ඇතැම් විට දරුවාට කිරි පැකට් එක, සපත්තු කූට්ටම මිල දී ගැනීමට තිබෙන මුදල්ය. ගෘහමූලිකයා මත්පැන්වලට ඇබ්බැහි වීමෙන් බිරිය සහ දරුවන් අසරණ වන බව රහසක් නොවේ. මීට අමතරව මත්පැන් පානය කළ බව පෙන්වන්නට යෑමෙන්, වීරත්වයක් ආරෝපණය කර ගැනීමෙන් පීඩාවට පත් වන දරු පවුල් කොතෙක් සිටිත් ද ?. “බුදු තාත්තේ බොන්න එපා” යනුවෙන් ආයාචනා කරන දූ පුතුන් මෙම සමාජයේ කොතෙක් සිටිත් ද ?. ඉන් නොනැවතී දරුවන් බේබදු පියවරුන් ඝාතනයට පවා පෙලඹෙන අවස්ථා සමාජයේ ඇතැම් විට අසන්නට ලැබේ. මෙය සමාජයේ බරපතළ ඛේදවාචකයකි. උදේ හවා ධර්මය දේශනා කරනු ලැබුව ද, මතට තිත වැනි වැඩසටහන් ක්‍රියාත්මක වුවද සමාජ ඛේදවාචකය අවසාන කිරීමට ඒ කිසිවක් සමත් වී නොමැති බව පැහැදිලි වන්නේ මත්පැන් පරිභෝජනයට යොමු වී සිටින ප්‍රමාණය ඉහළ යෑම මඟිනි.

“අද මත්පැන් පානය සඳහා අවශ්‍ය වටපිටාව ඉබේම සැකසිලා තිබෙනවා. ඉස්සර නම් ගෙදරකදි වුණත් මත්පැන් පානය කළේ හොර රහසේ, කාමරයකට ගිහින්. ඒත් අද එය ප්‍රසිද්ධියේ සිද්ධ වෙනවා. සාලයේ ටීපෝ එක උඩට ඇවිල්ලා. අද සමාජය එය වරදක් විදිහට දකින්නේ නැහැ. එය බොහොම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. ඒ නිසා තමයි ‍මේ ඛේදවාචකය අවසන් කරන්න බැරි.” යනුවෙන් ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති මහාචාර්ය මයුර සමරකෝන් තවදුරටත් පැහැදිලි කළේය.

මත්පැන් පානය කිරීමට ඇබ්බැහි වූ අය නිස අසීරුතාවට පත් වන්නේ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ පොදු සමාජය පමණක් නොවේ. රජය ද අසීරුතාවට පත් වන්නේ මත්පැන්වලට ඇබ්බැහි වූ අය රෝගී වූ පසුව ඔවුන් සුවපත් කරගැනීම සඳහා මුදල් වියදම් කිරීමෙනි. බිමත්කම නිසා රෝගී වූ විට රෝහලෙන් බිල්පතක් නිකුත් කර මුදල් අය කර ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කළේ එමනිසාය. එහෙත් එය ක්‍රියාත්මක වූයේ නැත.

රජය විසින් මුදල් සොයා ගැනීමේ අරමුණින් මත්පැන් මිල ඉහළ නංවන අතරේදි මත්පැන් නිසා රෝගී වන අය වෙනුවෙන් මුදල් වියදම් කරනු ඇත. මත්පැන් අලෙවි සැල් ආරම්භ කිරීමට බලපත්‍ර නිකුත් කරන අතරේ මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනු ඇත. ඉදින් මිනිස්සු කති, බොති, ප්‍රීති වෙති. උත්සව සමරති. එහෙත් එය කකුළුවා දිය සැළිය උතුරන තෙක් නටන නැටුමක් වැනි ය. අවසාන ඵලය භුක්ති විඳින්නේ මත්පැන් නිෂ්පාදන සමාගම් පමණි. ADIC ආයතනය පවසන ආකාරයට 2017 වසරේදී මත්පැන් නිෂ්පාදන සමාගම් දෙගුණයකින් ලාභ උපයා ඇත.

“සුරාව මා මිසදුටුවකු කළ ද

ලත් ගරු බුහුමන් නැති කළ ද

වෙළඳුන් විකුණන සුරාවෙන්

අඩක් වුව අගනා දෙයක් ඔවුන්

මිලට ගනිත් දැයි

මට නිතර සිතෙයි”

යනුවෙන් ඕමාර් ඛය්යාම් “රුබාය්යාට්” කාව්‍ය සංග්‍රහයෙන් දක්වා තිබෙන්නේ එමනිසා විය යුතුය.

Comments