අලුත් සුප් එක මුහුදු කූඩලු සුප් | සිළුමිණ

අලුත් සුප් එක මුහුදු කූඩලු සුප්

පිළිකා- ඇදුම ඇතුළු ලෙඩ රෝග 16කට හොඳයි

අපේ ර‍ෙට් මහ මුහුදෙන් නෙළා ගත හැකි අගනා සම්පතක් වන මුහුදු කූඩැල්ලන්ගෙන් පිළිකා ඇදුම ඇතුළු රෝග 16 කට පිළියමක් ලෙස අලුත් සුප් විශේෂයක් නිපදවීමට ශ්‍රී ලාංකික විද්‍යාඥ පිරිසක් සමත්ව සිටිති. මෙරට ධීවර ජනතාවට අලුත් ආදායම් මඟක් මෙන් ම ඉහත රෝග ඇති අයට මේ රෝගවලට පිළියම් ලෙස මේ අලුත් සුප් විශේෂය හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලාංකිකයන් බහුතරයක් ආහාරයට නොගන්නා මුහුදු කූඩැල්ලා එසේත් නැත්නම් දෙමළ භාෂාවට අනුව අට්ටියා ඉංග්‍රිසි භාෂාවෙන් Beach - de - mer (බීච් ඩි මර්) යන සත්වයා දකුණු ආසියාවේ මිල අධිකම මුහුදු ආහාරයකි.

මෙම මුහුදු කූඩැල්ලා එසේත් නැත්නම් අට්ටියා කිලෝවක් සඳහා ඉහළ වෙළෙඳ වටිනාකමක් ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ මුහුදු කලාප ආශ්‍රිතව ජීවත් වන දෙමළ ජනතාවගෙන් සුළු පිරිසක් මුහුදු කූඩැල්ලා ආහාරයට ගනු ලබන අතර වියළි මුහුදු කූඩැල්ලන්ගේ වටිනාම වර්ගය කිලෝවක් ඩොලර් 200 - 300 අතර මුදලකට විදේශිකයන්ට අලෙවි කරනු ලබයි.

ශ්‍රී ලංකාව වටා මුහුදු සීමාවේ රටට මුහුදු කූඩැල්ලන් විශේෂ 25කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන බවත් ඉන් වර්ග 16 මෙලෙස සුළු හෝ වෙනත් අයුරකින් ආහාරයට ගන්නා බවත් ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අධයනාංශයේ ශ්‍රේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චාමරි දිසානායක මහත්මිය සිළුමිණට පැවසුවාය.

වසර 16කට වැඩි කාලයක් එසේත් නැත්නම් 2002 වසරේ සිට මේ දක්වා මුහුදු කූඩැල්ලන් පිළිබඳව පර්යේෂණයේ යෙදෙන ඇය මෙම සත්වයා සහ එහි නිෂ්පාදන පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ.

එම සොයාගත් කරුණු අතර වැදගත් ම කරුණක් හැටියට ඇය පෙන්වා දෙන්නේ මෙම මුහුදු කූඩැල්ලා ආහාරයට ගැනීමෙන් පිළිකා, හෘද රෝග ඇතුළු රෝග රැසක් සුව කිරීම සඳහා බලපාන බවයි.

දීර්ඝ අධයයනයකින් පසුව ඇය විසින් මෙම කූඩැල්ලා යොදා ගනිමින් සුප් විශේෂයක් නිපදවා ඇති අතර එය ඉතා සාර්ථක මට්‍ටමේ නිෂ්පාදනයක් බව කරන ලද පරීක්ෂණළුලින් අනාවරණය වී තිබේ.හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය උසස් පෙළ විද්‍යා අංශයෙන් හදාරා ඇත. ඉන්පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා පීඨයේ වැඩිදුර අධ්‍යාපනය ලබා 2000 වසරේදී සිය වෘත්තිය ආරම්භ කර ඇත්තේ පර්යේෂණ නිලධාරිනියක් ලෙසය.

පසුව ඇය නාරා ආයතනයේ ජාතික ජලජ සම්පත් පර්යේෂණ සංවර්දන අංශය සමඟ අත්වැල් බැඳගෙන එහි සමුද්‍රජීවි විද්‍යා අංශයට සේවය කළ බව දිසානායක මහත්මිය සඳහන් කළාය. එහිදී 2002 වසරේ ප්‍රථමයෙන් මුහුදු කූඩැල්ලා පිළිබඳව අධ්‍යයනය කිරීම ආරම්භ කර තිබේ. එම කාල වකවානුව තුළදී මෙරට යුද්ධය පැවැති බැවින් ඇයට සිය අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට හැකිවී ඇත්තේ කල්පිටිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශ දෙකට සීමා වීම තුළින්ය.

යාපනය, මුලතිව්, මඩකලපුව මුහුදු කලාපවල මෙම කූඩැල්ලා බහුලව සිටියත් ඒ ප්‍රදේශවලට සංචාරය කිරීමට එම වකවානුවේදී දිසානායක මහත්මියට හැකි වී නොමැත. එහෙත් 2009 වසරෙන් පසුව ශ්‍රී ලංකාවේ මුහුදු කලාප රැසකම සිය අධ්‍යයන කටයුතු සිදු කිරීමට ඇය සමත් වූවාය.

මෙම පර්යේසණ කිරීම සඳහා ජාතික පර්යේෂණ සභාව මඟින් පූර්ණ අනුග්‍රහය සහ සහයෝගය ලැබුණු බවත් එලෙසම මේ වන විට තමන් සේවය කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යනාංශය සහ විශ්ව විද්‍යාලයෙන් විශාල ශක්තියක් ලබා දෙන බවද ඇය පැවසුවාය.

ඇගේ පර්යේෂණවලට අනුව 1917 දී චීන ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලාංකිකයන්ගෙන් මුහුදු කූඩැල්ලන් ලබාගෙන ඒ වෙනුවට ශ්‍රී ලාංකිකයන්ට රෙදිපිළි ලබා දුන් බව හෙළිවී තිබේ. මුහුදු කූඩැල්ලාට දෙමළ භාෂාවෙන් පොදුවේ ‘අට්ටියා’ යන නාමය ලැබී ඇතත් මෙම කූඩැල්ලන් විශේස රැසක් පිළිබඳව තොරතුරු හෙළි වී ඇත. ෆීමා අට්ටියා, පාන් අට්ටියා, පොළොන් අට්ටියා, ගල් අට්ටියා, ඩිස්කෝ අට්ටියා, කීල්ස් අට්ටියා ඇතුළු තවත් නම් කිහිපයක් ම යොදා ගන්නා බව අධ්‍යයන වාර්තාවට අනුව සඳහන් වේ.

මුහුදු කූඩැල්ලන් මෙලස හැඳින්වීමට දෙමළ ජනතාව පෙලඹී ඇත්තේ එක් එක් සත්ත්වයා සතු හැඩතලවලට අනුවය.

කුඩැල්ලන් අල්ලා ගැනීම සඳහා මුහුදු පතුලට මීටර් 20 - 30 ත් අතර කිමිදීමට සිදුවන අතර ඒ සඳහා ඔක්සිජන් ටැංකි භාවිත කිරීමට ධීවරයාට සිදුවී තිබේ. සාමාන්‍යයෙන් ග්‍රෑම් 800 ඉහළ බරකින් යුත් එක් කූඩැල්ලකු සඳහා වෙළඳපොළ අගය රුපියල් 1500 - 2000 දක්වා අතර වෙයි. විශාල ප්‍රමාණයෙන් යුත් කූඩැල්ලන් වේලා ගත් පසු එක් කිලෝවක් ඇමරිකානු ඩොලර් 200 - 300 අතර මිලකට අලෙවි කෙරේ. වෙ‍ෙළඳපොළ තුළ ඉතා පහසුවෙන් සොයා ගත හැකි විශේෂයක් ලෙස නුල් අට්ටියා හඳුනාගෙන ඇති අතර එම විශේසය එක් කූඩැල්ලෙකු රුපියල් 50ක් වැනි අඩු මුදලකට අලෙවි වන බැවින් මෙම විශේෂය යොදා ගන්නේ ‘සුප්’ වර්ගයක් ‍නිෂ්පාදනය කිරීමට පර්යේෂිකාව සමත් වී ඇත. සිය අධ්‍යාපන චාරිකාව සහ මෙම පර්යේෂණය සම්බන්ධයෙන් ආචාර්ය චාමරි දිසානායක මහත්මිය සිය අදහස් පළකළාය.

“මම බොහෝ කාලයක් මේ පිළිබඳව පර්යේෂණ සිදු කළා. එහි ප්‍රතිඵල රැසක් ම ඉතා සාර්ථක බව මේ වන විට මට ලෝකයා හමුවට ගෙන ආ හැකියි. මා විසින් නිෂ්පාදනය කළ සුප් විශේෂය ඉතා සාර්ථක එකක් බව අදාළ අංශ විසින් පිළිගෙන තිබෙනවා. ඇත්තටම වසර 15කට ආසන්න කාලයක් මා ගත් උත්සාහයක, පර්යේෂණයක ප්‍රතිඵල ලෙස මෙය පෙන්වා දිය හැකියි.

ජයවර්ධනපුර විශ්වවිද්‍යා‍ලයේ ආහාර විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය එස්.බී. නවරත්න සහ මහාචාර්ය ඉන්දිරා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගේ ද මඟ පෙන්වීම සහ උපදෙස් මත සත්ව විද්‍යා අධ්‍යනාංශයේ පශ්චාත් උපාධි අ‍ෙප්ක්ෂක ජී. නිශාන්තන් ශිෂ­්‍යයා මෙම පර්යේෂණය සිදු කළා. මේ සඳහා මුල්‍ය අනුග්‍රහය ජාතික පර්යේෂණ සභාව මඟින් ලබා දුන්නා. තාක්ෂණික සහ සම්පත් දායකත්වය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මඟින් ලබා දීම පිළිබඳව මා ඒ සියලු දොට ස්තුතිවන්ත වනවා.

මෙම සුප් පානයෙහි විශේෂ ලක්ෂණය වනුයේ එහි අධික ප්‍රෝටීන ප්‍රතිශතයක් (25%) සහ ඉතා අඩු ලිපිඩ ප්‍රතිශතයක් (4%) අඩංගු වීමයි. එමෙන්ම පිළිකා, හෘද රෝග සහ පාකින්සන් වැනි රෝග වැළකීමට ඉවහල් වන ප්‍රතිඔක්සීකාරක (Antioxidant) ඉහළ ප්‍රමාණයක් මෙහි අඩංගු බවද පර්යේෂන වාර්තා තහවුරු කරයි. තවද මෙහි කැලරි අගය (Keal/100g) 320.0 ලෙස ද නිර්ණය කර ඇත.

මෙම ක්ෂණික සුප් පානය නව නිපැයුම්කරුවන්ගේ වාර්ෂික ප්‍රදර්ශනය වන “සහසක් නිමැවුම් 2018” සඳහා ජාතික මට්ම නියේජනය කළ අතර අංක LK/P/1/19793 දරන තාවකාලික පේටනට් බලපත්‍රයට ද හිමිකම් කියයි.

මුහුදු කූඩැල්ලනගේ වටිනාකම සහ මෙම නව නිපැයුම කෙසේ අප රටට වැදගත් වේද යන්න පිළිබඳව ආචාර්යතුමිය තවදුරටත් මෙලෙස පැහැදිලි කළාය. පොදු ව්‍යවහාරයේ “මුහුදු කූඩැල්ලා” හෙවත් “මුහුදු කැකිරි” ලෙස හඳුන්වන මෙම ජීවීන් කොඳු ඇට පෙළක් රහිත සත්ත්ව කොට්ඨාසයට අයත්ය. තම්බා වියළාගත් මුහුදු කූඩැල්ලන් බීච් - ඩී - මර් (Beach - de - mer) ලෙස හඳුන්වන අතර මෙය අග්නිදිග ආසියාතිකයන් අතර ඉතාමත් ප්‍රචලිත ආහාරයකි. එමෙන්ම මෙය අති සුඛෝපභෝගී ගණයට අයත් මුහුදු ආහාරයක් ලෙස ද වර්ගිකරණය කර ඇත.

ඉහළ පෝෂණ පදාර්ථ සංයුතිය (ඉහළ ප්‍රෝටීන සහ අඩු ලිපිඩ මට්ටම) මෙන්ම අධික ඖෂධීය වටිනාකමකින් යුත් රසායනික සංඝටකවල එකතුවද මුහුදු කූඩැල්ලන් අධික පරිභෝජනයට ප්‍රධානතම හේතුවයි. පිළිකා සහ වෛරස් රෝග මර්දනය, ආතරයිටීස්, අධික ලෙස මුත්‍ර යෑම, මළ බද්ධය වැනි රෝග නිරාවරණයට මුහුදු කූඩැල්ලන් සතු රසායනික සංඝටක ඉවහල් වන බව චීන හා බටහිර වෛද්‍ය මතයයි. තවද ලිංගික පද්ධතියන්හි මනා ක්‍රියාකාරීත්වයට මුහුදු කූඩැල්ලන් පරි‍භෝජනය ඉමහත් පිටිවහලක් වන බව අග්නිදිග ආසියාතිකයෝ දැඩිව විශ්වාස කරති. වසර 100කට අධික ඈත ඉතිහාසකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ මුහුදු කූඩැල්ලන් කර්මාන්තය ප්‍රධාන වශයෙන්ම රඳා පවතිනුයේ බීච් - ඩී - (මර්) අපනයනය මතය. දැනට ශ්‍රී ලංකාවෙන් මුහුදු කූඩැල්ලන් විශේෂ 16 ක් පමණ සිංගප්පූරුව, චීනය සහ හොංකොං වැනි රටවලට අපනයනය කරයි. වර්ෂ 2016 දී බීච් ඩී මර් මෙට්‍රික් ටොන් 136 ක් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.55ක විදේශ විනිමයක් ශ්‍රී ලංකාව උපයාගෙන ඇත.

විදේශීය වෙළෙඳපොළෙහි පවත්නා අධික තරගකාරීත්වය අතරමැදි ගැනුම්කරුවන් මැදිහත් වීම නිසා ඍජු අපනයනය සීමා වීම, පසු අස්වනු හානියසහ පසු අස්වනු පිළියෙල කිරීමෙහි දුර්වලතා හේතුවෙන් දැනට මෙම කර්මාන්තය තුළින් අප ලබන විදේශ විනිමය අපට ලැබිය යුතු විදේශ විනිමයට සාපේක්ෂව අඩු මට්ටමක පවතින බව මාගේ හැඟීමයි. නිෂ්පාදන විවිධාංගීකරණය (Product dirersification) මෙම අපනයන ආදායම ඌන පූර්ණය සඳහා ඇති එක් විසඳුමක් වන අතර මෙම නව නිෂ්පාදනය ඒ සඳහා යම් පිටිවහලක් වනු ඇත.

තවද මෙම නිෂ්පාදනය සඳහා යොදා ගන්නේ අපනයන වෙළෙඳපොළෙහි ඉතා අඩු ඉල්ලුමක් ඇති මුහුදු කූඩැල්ලන් වර්ග සහ පසු අස්වනු ‍පිළියෙල කිරීමේ දී හානි වීම නිසා අපනයනයේදී ප්‍රතික්ෂේප වන මුහුදු කූඩැල්ලන්ය. මේ තුළින් ද අපට මෙතෙක් අහිමිව පැවති විදේශ විනිමය යම් ප්‍රමාණයක් ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙනු ඇත.

මෙම සුප් පානය විනාඩි 15ක් වැනි ඉතා සුළු කාලයක දී පිළියෙල කර ගත හැකි අතර මේ සඳහා දැරිය යුතු පිරිවැය දැනට වෙළඳපොලෙහි ඇති මුහුදු කූඩැල්ලන් නිෂ්පාදනවල මිල සමඟ සැසඳීමේ දී සාපේක්ෂව අඩු මට්ටමක පවතිනු ඇති බව අපගේ විශ්වාසයි. පාරිභෝගිකයන් අතර මෙම නව නිෂ්පාදනය ප්‍රචලිත කිරීමට මෙම ප්‍රවණතාවයන් ද වෙසෙසින්ම ඉවහල් වනු ඇත.

ඉතා අධික පෝෂණ සහ ඖෂධීය වටිනාකමක් පැවතියද මුහුද කූඩැල්ලන් සඳහා දේශීය ඉල්ලුමක් නොමැත. මෙයට ප්‍රධාන හේතුව වනුයේ මුහුදු කූඩැල්ලන්ගේ බාහිර පෙනුමයි. මුහුදු කූඩැල්ලන් ආශ්‍රිත නිෂ්පාදන දේශීයව ප්‍රචලිත කිරීම ද මෙම නව නිපැයුමෙහි තවත් ඉලක්කයකි. මෙරටට ඇදී එන අති විශාල ප්‍රමාණයක් වූ චීන සංචාරකයන් මෙන්ම මෙරට දැනට වාසය කරන චීන ජාතික ශ්‍රමිකයන් උදෙනා නව වෙළඳ පොළක් නිර්මාණය කිරීමට ද, මුහුදු කූඩැල්ලන් ආශ්‍රිත මෙවැනි නිපැයුම් මහඟු පිටිවහලක් වනු ඇත.

මෙවැනි පර්යේෂණ සඳහා රාජ්‍ය මැදිහත්වීම දිගින් දිගට ම සිදු කරමින් ඔවුන් දිරිමත් කිරීම මෙන් ම මෙවැනි නිෂ්පාදන වලට අවශ්‍ය පහසුකම් සපයා දීම අදාළ රාජ්‍ය ආයතනවල වගකීම මෙන් ම කාලෝචිත ක්‍රියාවකි.

 

 

 

 

 

 

Comments