සංහිඳියාව සමෘද්ධිය සාක්ෂාත් කරගනිමු | සිළුමිණ

සංහිඳියාව සමෘද්ධිය සාක්ෂාත් කරගනිමු

වැරැදී ගිය අවස්ථා මඟින් නිවැරැදි මාර්ග වෙත අප යොමු කරවන්නට මේ නව වසරේ හැකි වනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව අවුරුදු සුබපැතුම් පණිවිඩයෙන් කියා සිටී.

එහි මෙසේ ද සඳහන් වේ‍.

නව වසරක උදාව සිදුවීමට ආසන්නතම මොහොත වනාහි, ගතවූ වසරේ අප ‍ගෙවාලූ ජීවිතය එහි ජය පරාජය හා සරු නිසරුකම් පිළිබඳව යළි මෙනෙහි කිරීමට සුදුසම කාලයයි.

අනාගතයට පදනම් වන අතීතය යළි විමසීම මඟින් පුද්ගලයා සිය ගමන්මඟ උවදුරින් තොර, සරු ප්‍රතිඵල සහිත වූවක් බවට පත් කරගනී. නව අපේක්ෂා යථාර්ථවත් කර ගැනීමට නව වසරේ අපට හැකි වනුයේ, ගෙවී ගිය වසරේ අප උගත් පාඩම් යළි විමසා බැලීමෙනි.

ඉපැරැණි මහා වාරි නිර්මිතයන් සහිත, මෙරට ඓතිහාසික උරුමය ගැන උද්දාමයට පත් වෙමින් නොසිට, එකී ස්වාධීන වාරි ශිෂ්ටාචාරයට උපරි අර්ථයක් ලබාදී හැකි වූයේ, අතීතය විමසීමේ ඵල වශයෙනි. “පසුගිය වසරේ වචන අයත් වනුයේ, ඒ ඉකුත් වූ වසරේ භාෂාවට ය. එහෙත් නව වසරේ වචන සූදානම්ව සිටිනුයේ, වෙන අන් හඬක් උදෙසාය’ යනුවෙන් ටී.එස්. එලියට් නම් මහා කවියා පැවසීය.

එළැඹෙන 2019 අභිනව වර්ෂය ශික්ෂණය, සංහිඳියාව හා සමෘද්ධිය සාක්ෂාත් කර ගත හැකි පුළුල් මාවත් පෙරට වැඩි අවධානයකින් හා නුවණැසකින් හඳුනාගැනීම සඳහා අප හමුවේ උදාවන අධිෂ්ඨානයේ වසරකි. ඒ නව වර්ෂාරම්භයෙන් උදා වන කාලය ආදරණීය ශ්‍රී ලාංකේය ජනතාව ගේ එ හැම ප්‍රාර්ථනා ඉටුවන, සියල්ලන් ගේ චිර ජීවනය හා සෞභාග්‍යය සැලසෙන සමයක් ම වේවායි හෘදයාංගම ව ප්‍රාර්ථනා කරමි.

 

Comments