යහපත් සමාජයක් ගොඩනැඟීමට පෙළ ගැසෙමු | සිළුමිණ

යහපත් සමාජයක් ගොඩනැඟීමට පෙළ ගැසෙමු

අනාගත පරපුර වෙනුවෙන් වඩා යහපත් සමාජයක් ගොඩනැංවීමේ වගකීම අප ඉදිරියේ ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව වසරට සුබ පැතුම් පණිවිඩයෙන් දන්වා සිටී. ඒ මහතා නිකුත් කළ පණිවිඩයේ මෙසේ ද දැක්වේ.

2019 නව වසර එළඹෙන්නේ දේශයටත්, ජනතාවටත් නව අරමුණු අධිෂ්ඨානයන් පෙළ ගැසෙන නව යුගයක උදාව සමඟිනි.

නව වසර මහත් හරසරින් පිළිගන්නට සැරසෙන සමස්ත ලාංකික ජනතාවට පළමුව මාගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමමි. ගෙවුණු වසරේ මුහුණ දෙන්නට සිදුවූ බරපතළ අභියෝගය ජයගනිමින් ජනතා පරමාධිපත්‍යය තහවුරු කරමින් නව වසර පිළිගන්නට ලැබීම අප සැම ලද ජයග්‍රහණයකි‍. පැවති බ‍ලලෝභී දේශපාලන වාතාවරණය තුළ දැඩි දුෂ්කරතා මධ්‍යයේ වුව ද, අප රජය බලයට පත්වී ගෙවුණු වසර කිහිපය තුළ සමාජ, දේශපාලන ප්‍රතිසංස්කරණ රැසක් සිදු කරන්නට අපට හැකි විය.

ව්‍යවස්ථාවි‍රෝධී කුමන්ත්‍රණය පැරදවීමට අපට හැකිවන්නේ ද ශිෂ්ටසම්පන්න, යුක්තිගරුක, සාධාරණ සමාජයක් ගොඩනැංවීම උදෙසා අප ගනු ලැබූ එකී ඉදිරි පියවරම අප වෙත ශක්තිය හා ධෛර්යය ලබාදුන් බැවිනි. එබැවින් යහපත් සමාජයක් ගොඩනැඟීම සඳහා හදවතින්, පිළිවෙතින්, දිරිමත්ව පෙළ ගැසෙන මෙන් මේ නව වසරේ ඔබ සැමට ආරාධනා කරමි.

Comments