
සමස්ත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායයන්හි උත්තරීතර මහා නායක දවුල්දෙණ ඤාණිස්සර මහා හිමියන් ජීවමානව වැඩ සිටියේ නම් හෙට (31) 104 වසර ජන්ම දිනය සමරනු ලබයි.
දෙවසරකට පෙර අපවත්වී වදාළ මේ මහා සංඝ පීතෘවරයාණන් වහන්සේ සත්‍යයෙන්ම මහා පඬිවරයෙකි. ඒ දශක දෙකකට ආසන්න කලක් ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තනයෙහිලා සමීප ඇසුරකට මට හමුවීමෙනි. උන්වහන්සේට ත්‍රිපිටකාගත බුද්ධ වචන පිළිබඳ තිබූ මතකය ආශ්චර්යම ය.
පාලි, සංස්කෘත, සිංහල හා ඉංග්‍රීසි පිළිබඳ වූ භාෂා ඥානය අපරිමිත වූවක් ය. නසන ලද මාන්නය ඇත්තෙකි. කිසිවිටෙක අපක්ෂපාත නොවු මේ මහා යතිවරයාණෝ පාට - පක්ෂ - ආගම් - ජාතිය පුද්ගල තරාතිරම් ද නොබලා යුක්තියටම පක්ෂපාත වුවේය.
ඌව - වෙල්ලස්ස දවුල්දෙණ ග්‍රාමයේ ආලෝක මුදියන්සේලාගේ කවිරාල හා ගජනායක මුදියන්සේලාගේ කිරිමැණිකේ යන උපාසක උපාසිකා දෙපළ මවුපියන් කොට 1915 දෙසැම්බර් 31 දින ජන්ම ලාභය ලැබ 1927 පැවිදිව අනූ වසරක් පැවිදි ජීවිතය ගතකොට මෙතරම් සාසනික ජාතික සේවාවක් කිරීමට නාහිමියෝ වාසනාවන්ත වුහ. අපවත්වන විට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ සභාපතිත්වයේ සිට ඒ ග්‍රන්ථ සංස්කරණයේ ලා කළ මෙහෙවර අසීමිත වූවකි. එවන් ශාසනමාමක යතිවරුන්ගේ වෙන්වයෑම ද ස්වභාවික නමුත් කළ සේවාවන්ට සිදුවුයේ පිරිමසාලිය නොහැකි හිඩසකි.
මේ මහා යතිවරයාණන් වහන්සේගේ 104 වැනි ජන්ම දිනය සිහි කොට හෙට (31) දින නුගේගොඩ - පාගොඩ - ශ්‍රී දවුල්දෙණ ඤාණිස්සර නාහිමි භාවනා මධ්‍යස්ථානයේ දී විහාරාධිපති, බණ්ඩාරවෙල නන්ද හිමියන්ගේ අනුශාසන පරිදි දායක සභාව විසින් පාගොඩ විද්‍යා විජයාරාමාධිපති කරගහඋල්පත සුගතානන්ද නාහිමිගේ ප්‍රධානත්වයෙන් උදෑසන සංඝගත දක්ෂිණාවක් ද, එදිනම දහවල ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක කොටුගොඩ ධම්මාවාස මහානාහිමිගේ ප්‍රධානත්වයෙන් සංඝගත දක්ෂිණාවක් ද පවත්වනු ලැබේ.
එදින උදේ 8.00 සිට 9.00 දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමියෝ හා රාත්‍රි 8.00 සිට 9.00 දක්වා උඩරට අමරපුර නිකායේ මහානායක ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ උපසභාපති නුවරඑළියේ චන්ද්‍රජෝති මහා නාහිමියාණෝ ගුවන් විදුලි ධර්ම දේශනා දෙකක් පවත්වති.
කේ. කේ. සුගතපාල / ලේකම්
සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව