
මහ පාරේ වාහනයක් එළෙව්වත්, බස් එකේ සීට් එකක් ලැබුණත් මිනිස්සු පොරකන්නේ තමන් ඉස්සර වෙන්න.
හැම කෙනාම පොරකද්දි... භෞතික දේට වෙහෙසෙද්දී, වික්ටෝරියා නිවහනේ ඔවුන් ගෙවන්නේ, මේ කිසිවක් නොහඳුනන මහා හිස් ජීවිතයක්.
හෙට දවස... බලාපොරොත්තු... හීන... මේ මොකුත් ඔවුන්ගෙ ජීවිතවල නැහැ.
මරණයේ දවස එනකල්... ඇඳක. නැත්නම් රෝද පුටුවක. කාගෙවත් පිහිටක් හවු හරණක් නැතිව, කිසිම දෙයක් කරගන්න බැරි අපේ මේ ජීවිතවලට මොන තරගයක්ද... මොන නත්තලක්ද.... ඔවුන්ටත් එහෙම හිතෙනවා ඇති.
ඒත් අවුරුදු 25ක් තිස්සේ සිද්ධ වුණා වගේම මේ පාරත් නත්තලට කළින් ඔවුන්ට නත්තල් ආවා. AF රේමන්ඩ් සමාගමේ සභාපති ඕබ්‍රි රේමන්ඩ් මහත්තයා සිය ව්‍යාපාරයේ අය සහ පවුලේ උදවිය එක්ක නත්තලට කලින් රාජගිරියේ වික්්ටෝරියා නිවහනේ අසරණයින් හා හැන්දෑවක් ගත කරන පුරුද්ද පටන් ගත්තේ මීට අවුරුදු 25කට කලින්.
වික්ටෝරියා නිවහන පුරා කැරොල් ගීත ඇහෙන ඒ හැන්දෑව මුළුල්ලේම, ඒ අහිංසකයන්ගේ මුහුණට හිනාවක් ආවා.
නැගිටින්නට බැරි... ඇවිදගන්න බැරි තමන්ටත් තෑග්ගක් අරන් කෙනෙක් ඇඳ ළඟට එන බව ඔවුන් දැනගෙන හිටියා.
ලංකාවෙ එම්බාමින් උපාධිය ගත්තු ළා බාලම කෙනා කියලවත්, AF රේමන්ඩ් සමාගමේ උපසභාපති කියලවත් ෂැනන් ගැන දැනගෙන නොහිටියාට, තමන් ළඟට එන ඒ කෙනා, මොහොතකට හරි ඔළුව අතගාලා සිඹ සනසන වග විතරක් ඔවුන් පුරුද්දෙන් වගේ දැනගෙන හිටියා.
‘කොහොමද ඔයාට ....’
‘තව ටික දවසකින් අපි කොහොම හරි නැගිටිමු...’
‘බෙහෙත් බිව්වද....’
‘ජේසු පිහිටයි!’
ආපිට උත්තරයක් නොලැබුණත් නැතත් හැමෝටම ෂැනත් එවැනි දේ කිව්වා.
අතට ලැබුණු තෑග්ගෙ සතුට මිස, ඔහුගේ හිනාව මිස, සමහර විට අනෙක් කිසි දෙයක් ඔවුන්ට නොදැනෙන්න ඇති.
“ඒකට කමක් නැහැ. අපිට ඕනේ ඔවුන්ගෙ මුහුණට හිනාවක් ගේන්න විතරයි. මේ දෙසීය දෙනා විතරක් නෙවෙයි තිඹිරිගස්යායෙ, ‘සෙන්ට් තිරිසාස් ‘ වැඩිහිටි නිවාසෙ අයත් නත්තලට කලින් නත්තල් දකින්න, අපි එනකල් බලා ඉන්නවා.
ඇඳෙන් ඇඳට ගිහින් තෑග්ගක් දීලා නිකම්ම එනවට වඩා ඔවුන්ට වටින්නෙ, මොහොතක් නැවතිලා වචනයක් දෙකක් කතා කරන එක.
මේ හැම කෙනාම මිය ගිය දාට එන්නෙ අපි ළඟට. කවදාවත් ලස්සට ඉන්න බැරි වුණාට මේ ලෝකෙන් සමුගන්නා, හැමෝගෙම ඒ අවසන් මොහොතෙ, අපි ඔවුන් පුළුවන් තරම් ලස්සනට සූදානම් කරනවා.
ඒ ගෞරවනීය අවසානය හැම කෙනෙකුටම ලබා දෙන්නේ නොමිලයේ. අවුරුදු 25ක් තිස්සේ අපි එක්ක නත්තල් සමරපු කී දෙනෙක්ව අපි එහෙම සූදානම් කර තියෙනවද...මනුෂ්‍යයකුට ඉන්න කල් සතුටක් දීම තරම් දෙයක් තවත් නැහැ කියලා දැනෙන්නෙ, මනුෂ්‍යයෙක් ‘මිනියක්’ වෙලා මේසයක් උඩ දමලා ඉන්න හැටි දැක්කම. ඉතින් අපේ මේ පුරුද්ද දැන් අපේ පවුල්වල දරුවන්ටත් ගිහින් එදා ළමයි හැටියට මේ කටයුත්තට සහභාගි වූ හුඟ දෙනෙක් අද තරුණ තරුණියන්. අපේ හිතවතුන් ඒ අයගෙ යාළුවො පවා මේ වැඩේට දැන් පවුලක් වගේ එකතු වෙනවා...”
ෂැනන් කියන්නෙ, සතුටින්.
හම්බ කරන - පොදි ගහන ...අපේ රටේ කෝටිපති ව්‍යාපාරික ප්‍රජාව අතරේ,හැම කෙනකුටම මෙවැනි සිතිවිල්ලක් උප දී නම් අසරණයන්ටත් නත්තල් ඒවී. දුප්පතුන්ටත් නත්තල් ඒවි.