
අපේ රටේ බහුතරයක් මඟීන්ට ගමනාගමන පහසුකම් සලසා දෙන දුම්රිය සේවයෙන් රටට සිදුවන සේවයට මුලින්ම කෘතවේදිත්වය පළ කරමු. එහෙත් කාලයක් මුළුල්ලේ දුම්රියට නැඟි මොහොතේ සිට ජංගම වෙළෙන්දන්ගෙන් හා යාචක පිරිස් හේතුවෙන් මඟීන් මුහුණ දෙනුයේ බලවත් අසීරුතාවය කටය. දුම්රිය ගාස්තු වැඩිවන විට මේ තත්ත්වය දුම්රිය මඟීන්ට ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නාක් සේය.
එහෙත් මෙසේ දුම්රියට ගොඩවන ජංගම වෙළෙන්දුන් හා යාචකයින් දුඟද හමන ඇඳුම් ඇඳගෙන, මඟීන් අතර තෙරපෙමින් මැදිරියෙන් මැදිරියට එහා මෙහා යන්නේ කාගේ අවසරයකින්දැයි පැනයකි.
මෙම දුම්රියේ මඟීන් අතර විදෙස් සංචාරක පිරිස්ද ගමන් කරන අතර මේ හේතුවෙන් ඔවුන් පත්ව ඇත්තේ බලවත් අසීරුතාවකටය. මෙය ලෝකයෙන් උතුම් රට යැයි කීවද මෙවැනි සිදුවීම් එක්තරා ආකාරයකට නිගාවකි. මේ පිළිබඳව අවධානය යොමු කරන මෙන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර ජනයා වැඩිපුර දුම්රිය පරිහරණය කරන මෙම උත්සව සමයේදි හෝ මෙවැනි පීඩාවන් අවම කිරිම බලධාරීන්ගේ යුතුකමකි.
බෝම්බුවල පී.ඒ අර්නස්ට්
ධර්මරත්නසුභා