අතුරු සම්මත ගිණුම සම්මතයි | සිළුමිණ

අතුරු සම්මත ගිණුම සම්මතයි

ලබන වසරේ මුල් මාස හතර සඳහා වූ රජයේ අත්‍යවශ්‍ය වියදම් පියවාගැනීමට අදාළ රුපියල් බිලියන 1765ක අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 106 දෙනෙකුගේ ඡන්දයෙන් සම්මත විය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ එම අතුරු සම්මත ගිණුමට ජවිපෙ 6 දෙනා විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරද්දී එජාපයේ, දෙමළ ජාතික සන්ධානයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරු ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

ඡන්ද විමසීම සිදු කරන මොහොතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම සභා ගැබෙන් පිටව ගොස් සිටියේය. ඒ අනුව වැඩි ඡන්ද 96කින් සම්මත වූ අතුරු සම්මත ගිණුමෙන් බිලියන 900කට අධික මුදලක් ජනවාරි මාසය වන විට ගෙවිය යුතු ණය වාරික වෙනුවෙන් වෙන් කෙරේ. සෙසු මුදල පුනරාවර්තන වියදම් සඳහා බිලියන 480ක්ද ප්‍රාග්ධන වියදම් සඳහා බිලියන 310ක්ද වශයෙන් වෙන් කර තිබේ.

එසේම ලබන ජනවාරි මාසයේදී වර්ෂයේ ඉදිරි කාලය සඳහා අය-වැය යෝජනාවලියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට, පෙබරවාරි මාසයේදී එම සම්මත කර ජනතාවට වැඩිදුරටත් සහන ලබා දීමට සූදානම් යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Comments