හමුදාව ඉඩම් අක්කර 23773.62ක් නිදහස් කරයි | සිළුමිණ

හමුදාව ඉඩම් අක්කර 23773.62ක් නිදහස් කරයි

යුද්ධය අවසන් වීමත් සමඟ 2009 මැයි මාසයේ සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ උතුරු සහ නැඟෙනහිර ප්‍රදේශයන්හි ආරක්‍ෂක හමුදාව විසින් භාවිත කළ සිවිල් වැසියන්ට අයත්  ඉඩම් අක්කර 23773.62 ක ප්‍රමාණයක් නීත්‍යානුකූල හිමිකරුවන් වෙත ලබාදීම සඳහා නිදහස් කරන ලද බව යුද හමුදාව පවසයි.
 
ඒ අනුව, 2009 මැයි මස සිට 2018 නොවැම්බර් මස දක්වා කාලය තුළ මෙලෙස නිදහස් කරන ලද පෞද්ගලික ඉඩම් අක්කර 23773.62 ක් නීත්‍යානුකූල අයිතිකරුවන් වෙත ලබා දී ඇත. එමෙන්ම, වත්මන් යුද්ධ හමුදාධිපතිවරයා 2016 ජනවාරි මස සිට 2017 මාර්තු මස දක්වා කාලය තුළ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි කරන අතරතුර මෙම ඉඩම් නිදහස් කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි.
 
උතුරු සහ නැඟෙනහිර පළාත්වල රජයේ ඉඩම් අක්කර 45980.97 ක ප්‍රමාණයකින් මේ වන විට පෞද්ගලික ඉඩම් අක්කර 23773.62 නිදහස් කර ඇත. මේ සඳහා විශාල වශයෙන් සැලකිලිමත් වන හමුදාව තවදුරටත් ඉඩම් නිදහස් කිරීම පිළිබඳ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ කාර්යය ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනු ලබන බව යුද හමුදාව වැඩිදුරටත් පවසයි.

Comments