පාරවල් හදන මුවාවෙන් සිංහරාජය වනසන තැතක? | සිළුමිණ

පාරවල් හදන මුවාවෙන් සිංහරාජය වනසන තැතක?

යුනෙස්කෝ ලෝක උරුම තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහරාජ රක්ෂියේ කලවාන, කුඩව පිවිසුමේ සිට සංචාරය සඳහා පැමිණෙන සංචාරකයින් පහසුව සඳහා යැයි පවසමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ජේ සී.බී යන්ත්‍ර යොදා වාහන ගමන් කිරීමට හැකිවන අයුරින් මාර්ගය පුළුල් කරීම රක්ෂිතයට කරන්නා වූ දැඩි හානියක ආරම්භයක් බවට වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
 
මෙම අඩිපාරට අමතරව ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන ස්ථානයට වාහන ගමන් කිරීමට මාටින් ලොජ් වෙත වැටුණු පිටකැලේ මාර්ගය ඇති අතර එසේ තිබියදී වාහන ගමන් කිරීමට අවශ්‍ය පරිදි මෙම මාර්ගය පූළුල් කිරීම විශාල ගැටලුවක්ව පවතින බවද ඔවුන් අවධාරණය කරයි.
 
මෙම අඩි පාර ජේ සී.බී යන්ත්‍ර යොදා ගනිමින් පළල් කිරීම දිය ඇලි, ශාක , සතුන් සහ සංචාරකයන්ට කරන්නා වූ විශාල හානියක් බවත්, මෙම මාර්ගය ඉදි කොට වාහන ගමනා ගමනය කිරීම ආරම්භ වුවහොත් වාහන මඟින් පිටවන දුම් නිසා වාතය දූෂණය වී සිතා ගත නොහැකි විනාශ කාරී තත්ත්වයකට සිංහාරාජ වන බිම පත් විය හැකි බවටත් එම සංවිධානය අනතුරු අඟවා සිටී. 
 
පසු ගිය කලායේ සිංහරාජ රක්ෂිතය තුළ මාර්ග ඉදිකරමින් ජීප් රථ සේවාවක් ආරම්භ කිරීමට උත්සහ ගත් අතර පරිසරවේදීන්ගේ දැඩි බලපෑම් මත එය නතර විය. නැවත මෙලෙස අනවශ්‍ය අයුරින් මාර්ග සකස් කරනුයේ එම ජිප් රථ සේවාව හොර රහසේ නැවත ආරම්භ කිරීමට දැයි සැකයක්  පවති බව ද එම නිවේදනයේ සඳහන් වේ. 
 
සිංහරාජ වන බිමට පැමිණෙන දේශීය විදේශීය සංචාරකයන් හට ආහාර ගැනීමට ස්ථානයක් සහ වැසිකිළි පහසුකම් නොමැති අතර සංචාරකයන්ගේ පහසුව තකා එවැනි අඩුපාඩු ඉදිකර දීම වෙනුවට රක්ෂිත භූමිය වීනාශ කිරීම ලෝක උරුම වනාන්තරයකට කිසිසේත් උචිත ක්‍රියවක් නොවන අතර වනාන්තර රැකීමට සිටිනා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙසේ විනාශකාරී ක්‍රියාවලීන් සිදු කරන්නේ ඇයි දැයි සොයා බලා මේ පිළිබඳව කඩිනම් ක්‍රියා මාර්ගයක්  ගන්නා ලෙස වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
 
 
 

Comments