බ්‍රික්සිට් ඉදිරියට බ්‍රිතාන්‍ය-යුරෝපා දික්කසාදය තහවුරු වෙයි | Page 2 | සිළුමිණ

බ්‍රික්සිට් ඉදිරියට බ්‍රිතාන්‍ය-යුරෝපා දික්කසාදය තහවුරු වෙයි

පාර්ලිමේන්තුවේ විශ්වාසය පළ කිරීමේ යෝජනා, විශ්වාසභංග යෝජනා හා බහුතරය පිළිබද ප්‍රශ්න මේ දිනවල දේශීය පුවත් අතර නිරන්තරයෙන් අවධානයට ලක්වු මාතෘකා කිහිපයකි. ශ්‍රී ලංකාවට පමණක් නොව බ්‍රිතාන්‍යයට ද එම මාතෘකා කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වුයේ එරට බ්‍රික්සිට් ක්‍රියාවලිය එනම් බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ නිල ක්‍රියාවලිය සම්බන්ධයෙන් මතු වූ සංකීර්ණ ක්‍රියාවලිය නිසාය.

එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගැනිමේ යෝජනාවකට මුහුණ දීමට අගමැතිනි තෙරේසා මේට සිදුවිය. ඇය එම ජන්ද විමසීම 200ට 117ක් ලෙස ජයගත්තත්, එවැනි තත්ත්වයක් උදා වීමට මුල්වූ හේතුසාධක හා ගැටලු තවමත් නොවිසඳී පවතී. සිය කන්සර්වෙටිව් පක්ෂයේ මන්ත්‍රිවරුන්ගෙන් සියයට 37ක් අගමැතිනියට සහාය නොදක්වති. පක්ෂ නායිකාවක හා අගමැතිවරියක ලෙස එය බැරූරුම් තත්ත්වයකි. ඡන්ද විමසීමෙන් පසු තෙරේසා මේ කියා සිටියේ තමාට විරුද්ධ කණ්ඩායමේ මතවාදයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවයි. විශ්වාසය දිනාගැනීමේ යෝජනාවකට පාර්ලිමේන්තුව තුළ දී මුහුණ දීමට ඇයට සිදු වූයේ මන්ත්‍රිවරුන් 48 දෙනෙකු ඒ සම්බන්ධයෙන් කළ ඉල්ලීමක් නිසාය.

බ්‍රික්සිට් මෙන්ම තෙරේසා මේ අගමැතිනියගේ ස්ථාවරය ද එතරම් ශක්තිමත් නැත. එහෙත් ඇය සම්බන්ධයෙන් පවතින සුබවාදි තත්ත්වය වන්නේ තවත් වසරක් යනතෙක් පාර්ලිමේන්තු විශ්වාසය දිනාගැනීමේ යෝජනාවකට ඇය ලක් කිරීමට ඉඩක් නැති වීමයි. එහෙත් බ්‍රික්සිට් ක්‍රියාවලිය බාධාවකින් තොරව ඉදිරියට ගෙන යෑමේ අභියෝගය තවමත් ඇය හමුවේ පවති. එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. බ්‍රික්සිට් හෙවත් යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය අවම පාඩු යටතේ සිදු කරගැනීම බ්‍රිතාන්‍යයේ අරමුණයි. එහෙත් එය දෙපාර්ශ්වයටම ඉතා බරපතළ හානි සහිත විනාශකාරි දික්කසාදයකි.

බ්‍රික්සිට් යන කෙටි නමින් හැඳින්වෙන්නේ කුමක්ද? සරලව කිවහොත් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමය නමැති රටවල් 28ක සාමාජිකත්වයකින් සමන්විත ලොව ප්‍රබලතම කලාපීය හවුලෙන් ඉවත්වීමයි. එය බටහිර බලාධිකාරයේ මූලික සංකල්පයක් වන ගෝලීය වාදයට එරෙහිව උඩු ගං බලා යෑමකි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “අමෙරිකාව පළමුව“ වැඩසටහන මඟින් අමෙරිකාව ගෝලියවාදයෙන් යම්තාක් දුරට හෝ බැහැරවන්නේ යම් සේද බ්‍රික්සිට් ක්‍රියාවලිය තුළ බ්‍රිතාන්‍යය ද එවැනිම වාතාවරණයකට මුුහුණ පාන්නේය.

බ්‍රික්සිට් ක්‍රියාවලිය බ්‍රිතාන්‍යයේ අවශ්‍යතාවක් වූයේ කෙසේද? පළමු සාධකය වන්නේ ආර්ථික හා දේශපාලනික අනන්‍යතාවයි. බ්‍රිතාන්‍යය භූ ගෝලිය වශයෙන් ද යුරෝපයෙන් බැහැරව පිහිටි දූපත් රාජ්‍යයකි. එය කලෙක ලොව හිරු නොබසින අධිරාජ්‍යයයි. 1973 දී යුරෝපා සංගමයට එක්වූ දා සිට බ්‍රිතාන්‍යයට සිදු වූයේ යුරෝපා සංගමය සමඟ සාමුහිකව තීන්දු තීරණවලට එළැඹීමටයි. රටේ අභ්‍යන්තර නීති රීති සම්බන්ධයෙන් පවා එය පොදු විය.

බ්‍රිතාන්‍යයේ නීතී රීති සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලැබුවේ බෙල්ජියමේ බ්‍රසල්ස්හි පිහිටි යුරෝපා සංගම් පාර්ලිමේන්තුවයි. මෙය බ්‍රිතාන්‍යයේ දේශපාලනික හා සමාජයීය වශයෙන් දැඩි විවේචනයට ලක්ව තිබු කරුණකි. දෙවැන්න මුල්‍යමය ගැටලු සහගත තත්ත්වයයි. බ්‍රිතාන්‍යය 2017 වසරේ (බ්‍රික්සිට් තීන්දුවෙන් පසුවත්) යුරෝපා සංගමයට සාමාජික මුදල් වශයෙන් පවුම් කෝටි 1300ක් ගෙවා තිබේ. යුරෝපා සංගමය එම මුදලින් බ්‍රිතාන්‍යයේ සුබසිද්ධිය උදෙසා වැය කර ඇත්තේ පවුම් කෝටි 400ක මුදලක් පමණි. පවුම් කෝටි 900ක්ම යුරෝපා සංගමයේ ගිණුමට බැර වන්නේ බ්‍රිතාන්‍යයට සැලකිය යුතු වාසියක් නැතිවයි.

ඒ අනුව යුරෝපා සංගමයේ සාමාජිකත්වය දැරීමෙන් බ්‍රිතාන්‍යය තම දේශපාලනික හා ආර්ථිකමය ස්වෛරී භාවය පාවා දී ඇති බව බ්‍රික්සිට් ක්‍රියාවලියට සහය දක්වන්නන්ගේ මතවාදයයි. මීට අමතර සංක්‍රමණික ප්‍රශ්නය හා ජර්මනිය ප්‍රමුඛ යුරෝපා බලවතුන් හමුවේ හිස නැමීමට සිදු වීම බ්‍රිතාන්‍යයට ඇති තවත් ගැටලු අතර වෙයි. මේ නිසා බ්‍රික්සිට් ක්‍රියාවලිය මඟින් නැවතත් යුරෝපා සංගමයේ ආධිපත්‍යයෙන් මිදී බ්‍රිතාන්‍යයට තම ස්වාධිනත්වය අත්පත් කරගත හැකි බවට මතයක් වර්ධනය විය.

2016 වසරේ ජුනි 23 වැනිදා බ්‍රිතාන්‍යයේ පැවති ජනමත විචාරණය එහි උච්චතම අවස්ථාවයි. දැඩි යුරෝපාවාදියෙකු වන එවකට සිටි අගමැති ඩේවිඩ් කැමරන් ගත් වැරැදි දේශපාලනික තින්දුවක් ලෙස මේ ජනමත විචාරණය පැවැත්වීම සැලකේ. බ්‍රිතාන්‍ය ජනතාව 52%-48% වශ‍ෙයන් යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ඡන්දය පාවිච්චි කළහ. එහි දී දේශපාලනික වශයෙන් සියදිවි නසාගත් ඩේව්ඩ් කැමරන් අගමැති පදවියෙන් ඉවත් වී ගෙදර ගියේ බ්‍රික්සිට් බර නව අගමැතිනිය ලෙස පත්වු තෙරේසා මේ ගේ උරහිස් මත තබමිනි.

තෙරේසා මේ හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ බ්‍රික්සිට් ගිවිසුම නිසි පරිදි ක්‍රියාත්මක කොට බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් සමුගැනීමේ ඉලක්කය නියමිත දිනය වන 2019 මාර්තු 29 වැනිදා වන විට සපුරාලීමයි. ඒ සඳහා යුරෝපා නායකයන් සමඟ පැවැත්වු දිගු කාලීන හා දුෂ්කර සාකච්ඡාවලින් පසු ගිවිසුමක් ඇති කරගෙන තිබේ. මේ ගිවිසුම අනුව මුලික කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු වෙයි.

සාමාජිකත්වයෙන් ඉවත් වීමේ දී බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයට පවුම් කෝටි 3900ක් ගෙවිය යුතුය. ගිවිසුමේ එය මූලික කරුණකි. දෙවැන්න නම් බ්‍රිතාන්‍යයේ වෙසෙන යුරෝපා පුරවැසියන් හා යුරෝපයේ වෙසෙන බ්‍රිතාන්‍ය පුරවැසියන්ට ලබාදෙන තත්ත්වයයි. තුන්වැන්න උතුරු අයර්ලන්තය හා අයර්ලන්තය අතර දේශසීමාව පිළිබඳ ප්‍රශ්නයයි. බ්‍රිතාන්‍යය හා අයර්ලන්තය යන දෙරටම යුරෝපා සංගමයේ සාමාජික රටවල් නිසා දැනට එම දේශසිමා පවතින්නේ මාර්ග බාධක හා මුර කපොලු නැති මෘදු දේශසීමාවක් වශයෙනි. උතුරු අයර්ලන්තය බ්‍රිතාන්‍ය පාලනය යටතේ පවතින ප්‍රදේශයකි. වෙන් වූ පසු එම දේශසීමාවේ මුරකපොලු ඉදි කරන්නේ ද යන ගැටලුව දෙපාර්ශ්වය හමුවේ පවතී. මේ සියල්ලටමත් වඩා අළු යට ගිනි මෙන් පවතින ප්‍රශ්නය වන්නේ ආරක්ෂක හමුදා පිළිබඳ ප්‍රශ්නයයි. එක්සත් යුරෝපය තුළ හමුදාමය ඒකාග්‍රතාවක් පවත්වාගැනීම යුරෝපා සංගමයේ අපේක්ෂාවයි. මේ නිසා සාමාජික රටවල් 28ක හමුදා සම්බන්ධ කරගෙන යුරෝපා හමුදාවක් ස්ථාපනය කිරීමේ සැලැස්මක් පවතී. බ්‍රික්සිට් ක්‍රියාවලිය ඉදිරියට ගිය ද ඒකාබද්ධ හමුදා සහයෝගිතාව ඉදිරියට ගෙන යෑම අගමැතිනි තෙරේසා මේගේ අපේක්ෂාවයි.

එහෙත් ඒකාබද්ධ යුරෝපා ආරක්ෂක ඒකකයක ප්‍රධානත්වය යුරෝපා බලවතා වන ජර්මනියට හිමි වීම වැළැක්විය නොහැකිය. එසේ නම් බ්‍රිතාන්‍ය හමුදාවන්ට සිදු වන්නේ ලෝක යුද්ධ දෙකක ප්‍රතිවාදියා වූ ජර්මනියේ හමුදා අධිකාරිත්වය පිළිගැනීමටයි. මෙය ද ඉතා බරපතළ විවේචනාත්මක ලෙස සාකච්ඡාවට ලක්වූ කරුණකි.

විශ්වාසය පළ කිරීමේ යෝජනාව ජය ගත්ත ද අගමැතිනිය මුහුණ දෙන සැබෑ අභියෝගය වන්නේ බ්‍රික්සිට් ගිවිසුම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ සම්මත කරගැනීමයි. ඒ සඳහා වන ජන්ද විමසීම පසුගිය දා 11 වැනි දා පැවැත්වීමට නියමිතව තිබුණ ද අගමැතිනිය එය කල්දැමුවේ යෝජනාව පරාජය වන බව පැහැදිලි වීමත් සමඟයි.

යම් ආකාරයකින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව යුරෝපා ගිවිසුම ප්‍රතික්ෂේප කළහොත් නැවතත් දිගු කාලයක් සාකාච්ඡා මාර්ගයකට යොමු වීමට බ්‍රිතාන්‍යයට හා යුරෝපා සංගමයට සිදු වේ. එවිට නියමිත පරිදි 2019 මාර්තු 29 වැනි දා ඉලක්කය සපුරා ලීම බරපතළ අභියෝගයක් වනු ඇත.

 

Comments