
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කිරීමත් සමඟම නව අග්‍රාමාත්‍යවරයකු ප්‍රමුඛ නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාව උදා කර තිබේ.
ඒ අනුව සති හයකට ආසන්න කාලයක් රටේ පැවැති දේශපාලන අර්බුදය යම් පමණකට නිමා කිරීමට එය හේතු සාධකයක් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මෙහි දී බිහි වන්නේ එක්සත් ජාතික පක්ෂ රජයක් ද තාවකාලික භාරකාර ආණ්ඩුවක් ද යන්න පිළිබඳව ඉක්මනින්ම තීරණයක් ගනු ඇත.
මීට පෙර එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය එක්ව පාර්ලිමේන්තුව තුළ 117ක බහුතර බලයක් පෙන්වූ හෙයින් බොහෝ දෙනා එක්සත් ජාතික පක්ෂය මූලික රජයක් බලාපොරොත්තු වුව ද පසුගිය සිකුරාදා (14) මහින්ද රාජපක්‍ෂ මහතාගේ අග්‍රාමාත්‍ය ධුරය සහ හිටපු අමාත්‍ය මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය වළක්වන්නයි ඉල්ලා ගොනු කළ අභියාචනය විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීමත් සමඟ නව ගැටලුවක් නිර්මාණය විය.
එම නිසා රට අස්ථාවර භාවයට පත් නොකිරීමට අවශ්‍ය නිසා ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාවකින් පසුව අග්‍රාමාත්‍ය ධුරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් වීමට තීරණය කර ඇත.
කෙසේ වුවත් කුමන තත්ත්වයක් යටතේ වුව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එජාපය රජය සමඟ එක්ව කටයුතු නොකළ යුතු බවට ජනාධිපතිවරයා පක්ෂ සභාපතිවරයා ලෙස තීරණය කර ඇත.