වව්නතිව් ඝාතන විමර්ශනය සීඅයිඩීයට | සිළුමිණ

වව්නතිව් ඝාතන විමර්ශනය සීඅයිඩීයට

මඩකළපුව වව්නතිව් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටියදී ඝාතනයට ලක්වූ පොලිස් කොස්තාපල්වරුන්ගේ මරණය සම්බන්ධ පරීක්ෂණ කටයුතු පිළිබඳව සොයා බැලීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රමුඛ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් පසුගිය සිකුරාදාම මඩකළපුව බලා ගිය බව පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස්පතිවරයා සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ඇතුළු පිරිසක් මේ කණ්ඩායමට ඇතුළත් විය.

මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් ද යන්න ගැන මේ වන තෙක් කරුණු අනාවරණය වී නොමැති අතර පරීක්ෂණ පැවැත්වීම සඳහා මඩකළපුව කොට්ඨාස බාර පොලිස් අධිකාරිවරයා යටතේ සිදුකෙරෙන විමර්ශනවලට අමතරව පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරිවරයකුගෙන් සමන්විත කණ්ඩායමක් ද යොදවා ඇත.

වව්නතිව් පොලිස් මාර්ග බාධකයක රාජකාරි කරමින් සිටියදී පොලිස් මුරපොළ තුළදීම ඝාතනය වී ඇත්තේ පොලිස් කොස්තාපල්වරුන් වූ ගාල්ල උඩුගම බැද්දේපොළ පදිංචි 35 හැවිරිදි වල්පිට ගමගේ නිරෝෂන් ඉන්දික ප්‍රසන්න (82162) සහ කල්මුණේ පෙරිය නිලාවනේ, සර්වෝදය පාරේ පදිංචි 28 හැවිරිදි ගනේෂ් දිනේෂ් (8624) යන දෙදෙනාය. පසුගිය 29 දා රාත්‍රියේ මේ සිදුවීම වන්නට ඇතැයි සැක කරනු ලබන අතර ඔවුන්ගේ සිරුරු හමුවී ඇත්තේ 30 වැනිදා පෙරවරු හයට පමණ මුරපොළේ රාජකාරියට ගිය වෙනත් පොලිස් කොස්තාපල්වරයකුටය. කොස්තාපල්වරුන් දෙදෙනා සතු රිවෝල්වර ගිනිඅවි දෙකද ඝාතකයන් විසින් පැහැරගෙන ගොස් ඇති බවට සැක කෙරේ.

Comments