
මේ වන විට නිර්මාණය වී තිබෙන දේශපාලන අර්බුදය ව්‍යවස්ථාමය අර්බුදයක් බව පැහැදිලියි. නමුත් ඒ වෙනුවෙන් අනුගමනය කරන පිළිවෙත නිවැරදිද?
නිවැරදි පිළිවෙත අනුගමනය නොකිරීම නිසා තමයි අද මේ අර්බුදය ඇති වී තිබෙන්නේ. මේ වන විට මුළු රට ම පෙළ ගැහෙමින් ඉන්නවා මෙලෙස ව්‍යවස්ථාමය අර්බුදයක් ඇති කිරීමට එරෙහි ව. මෙතන තියෙන භයානකම කාරණය තමයි රටේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා නම් රටේ ඉන්න හැම මනුෂ්‍යය ම නීතිය උල්ලංඝනය කිරීමට ඇති පෙලඹවීම.
නමුත් ඔබ පාර්ශ්වයටත් මේ පිළිබඳ වගකීමක් තියෙනව නේද?
අපිට වඩා ජනාධිපතිවරයට මේ ගැන වගකීමක් තියෙනවා. ඔහු තමයි මේ රටේ පළමු පුරවැසියා. ඔහුයි රටට ආදර්ශවත් වෙන්න ඕන. අමතක කරන්න එපා මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව ඒකට එකට එක කරමින් ජනතාව ඒ ව්‍යවස්ථා විරෝධී බව හදන්න හදනකොට තව තව දේවල් කරමින් මේ තියෙන තත්ත්වට වඩා දරුණු තැනකට මේක ගේන්න හදන්නෙ පළවෙනි වතාවට බව
මුලින් ම මේක පාර්ලිමේන්තුව තුළින් විසඳ ගන්න ඕන කියලා ඔබේ පාර්ශ්වයේ අය සඳහන් කළා. නමුත් ඊට පස්සේ අධිකරණ ක්‍රියාමාර්ගයකටත් ගියා. මේ තත්ත්වය ටිකක් ගැටලු සහගතයි නේද?
අපිට අධිකරණයට යන්න සිද්ධ වුණේ ඇයි? පාර්ලිමේන්තුව තුළ මේක විසඳ ගන්න බැරි වුණ නිසා. අද හත්වෙනි වතාවටනෙ පාර්ලිමේන්තුව රැස් වුණේ. අපි හත්වෙනි වතාවටත් පාර්ලිමේන්තුව තුළ අපේ බලය පැහැදිලිව පෙන්නුවා. ඇත්තටම පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව මේ ආණ්ඩුවට මුකුත් කරන්න බැහැනේ.
නමුත් ඔබ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කටයුතු කළා නම් රට මේ තත්ත්වයට පත් නොකර ප්‍රශ්නය විසඳගන්න ඉඩක් තිබුණා නේද?
තාමත් අපි උත්සාහ කරන්නේ ජනධිපතිවරයා එක්ක සහයෝගයෙන් මේ ගැටලුව නිවැරදි කරගන්න පුළුවන් කියන බලාපොරොත්තුවෙන්. අනීතිකව පාර්ලිමේන්තුව විසුරුවා හැරියාම අධිකරණයට ගහින් අපි ඒක අවලංගු කර ගත්තා. 26 වෙනිද ගත්ත ක්‍රියාමාර්ගය වැරදියි කියල අපි ඒකටත් නඩු දාල තියෙනවා. ඉතින් අපි ව්‍යවස්ථානුකූලව මේ මූලික පියවර ගත්තා. ජනාධිපතිවරයා එක්ක මේ ගනුදෙනුව බේරගෙන, දෙගොල්ලොම එකට එකතු වෙලා සාකච්ඡා කර මේ ප්‍රශ්නය හරියට තේරුම් අරගෙන රට වෙනුවෙන් මධ්‍යස්ථ තීරණයකට එන්න තමයි අපි තවදුරටත් උත්සාහ කරමින් ඉන්නේ.
ඒත් නිසි කාලසීමාවක් ලබා නොදී මේ විදියට ක්‍රියා කරන එක හරිද?
එහෙම කියන්න බැහැනේ. දැන් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ලැබිල තියෙනවනේ. පළවෙනි වතාවේ දෙවෙනි වතාවේ තුන්වෙනි වතාවේ අපි මේ අයට බහුතර බලයක් නැති බව ඔවුන්ව පරාජය කරල පෙන්නුවා. ඊට පස්සේ තවත් කල් දීල පසුගිය 29 වෙනිදත් පරාජය කරල පෙන්නුවා. තව කල් දෙන්න ගියොත් අපේ සංඛ්‍යාව තවත් වැඩිවෙයි. මේව ඇත්තටම චූටි ළමයි කියන කතා. ඒ නිසා මේ බංකොලොත් දේශපාලනඥයො කියන දේවල් මේ රටේ මිනිස්සු පිළිගන්නේ නැහැ.
ඔය කියන විදියට මේක පාර්ලිමේන්තුව ඇතුළෙ විසඳගන්න පුළුවන් නම්, ඇයි උසාවි යන්නේ?
පාර්ලිමේන්තුවේ බලය මේ අය අද අවතක්සේරු කරල බල්ලට දාලනෙ තියෙන්නේ.පාර්ලිමෙන්තුවේ අද කතානායකවරයා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න ව්‍යවස්ථානුකූලව පියවර ගනිද්දි ඔහුට පෞද්ගලිකව ගහන තැනට මේ ඊනියා ආණ්ඩුව බංකොලොත් වෙලානේ. ඒ අය පාර්ලිමෙන්තු ඇවිත් කැන්ටින් එකෙන් කාලා ඇතුළට එන්නේ නැතිව මාධ්‍ය සාකච්ඡාවක් තියල ගෙදර යන තත්ත්වයට පත් වෙලා. අපිට මෙවැනි ක්‍රියාමාර්ග ගන්න සිද්ධවෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවට මේ අය එන්නේ නැති නිසානේ. අද ජනතාව ජන අරගලවලට පෙලඹිලා, සත්‍යග්‍රහවලට ඇවිල්ලා. වෘත්තීයවේදියො බනිනවා, කලාකරුවො බනිනවා, සිවිල් සමාජය බනිනවා. අපේ සටන එන්න එන්න තීව්‍ර වෙලා තියෙන්නේ. හෙට අනිද්දා වෙද්දි ලක්ෂ ගණනික් කොළඹට ඒවි. මේ තත්ත්වය නිවැරදි කරන තුරු ඔවුන් හඬ නඟාවි. ඒත් මෙය විසඳුණේ නැති නම් නොනවතින අරගලයක් බවට මෙය පත් වේවි. නමුත් අපි තාමත් උත්සාහ කරනවා, මේ දේවල්වලට නොගිහින් මේ තත්ත්වය ගොඩින් විසඳ ගන්න. අපි බලාපොරොත්තු වෙනවා ජනධිපතිතුමා මේ තත්ත්වය අවබෝධ කර ගනීවි කියලා. නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මීට මුහුණ දෙන්න අපිට වෙන විකල්පයක් නැති වේවි.
නමුත් ආණ්ඩුව කියන්නේ උසාවි නියෝගය එනකල් ඉන්නේ නැතුව මේ විදියට ගැටුම්කාරී වාතාවරණයක් නිර්මාණය කිරීමට කටයුතු කිරීම වැරදියි කියල.
මේ ප්‍රශ්නයෙන් පේන්නේ එයාලට අද අපෙන් අහන්න ප්‍රශ්නයක් නැති තරමට බංකොලොත් වෙලා කියන එකයි. නිල නොලත් ආණ්ඩුවක් බලයට ගෙනත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක් ආරම්භ කරලා තියෙනව විතරක් නෙමෙයි මේ වෙද්දි මේ නිල නොලත් අග්‍රාමාත්‍යවරයා ලක්ෂ නවසීයකට ආසන්න මුදලක් හෙලිකොප්ටර් යානා මඟින් ඔහුට එහා මෙහා යන්න ප්‍රවාහන වියදම් වශයෙන් යොදාගෙන තිබෙනවා. පහුගිය කාලේ මරණ තර්ජන හා දූෂණ චෝදනාවලට ලක් වූ පුද්ගලයන් නැවත එ් තනතුරුවලට පත් කර තිබෙනවා. ඒකෙන්ම පේනවා 2015දී ජනතාව ප්‍රතික්ෂේප කරපු කාරණාවලින් එක අබමල් රේණුවක තරම් වෙනසක් සිදු වී නැති බව. එදා අපි හමුදාවේ අයට අත තියනව කියල අපිට මඩ ගැහුවා. අද මාණ්ඩලික ප්‍රධානියව අත් අඩංගුවට අරන් තියෙනවා. ඒවගේම අපි එල්.ටී.ටී.ඊ එකට සහය දෙනව කියල අපිට ගැහැව්වා. අද ඔවුන් එදාට වැඩිය උත්කර්ෂවත් අන්දමින් ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ විරුවන් සමරනවා. අපේ ආණ්ඩුව තිබුණ නම් මේ රටේ සියලු මාධ්‍ය එකතුවෙලා දිගට හරහට අපිට ගහනවා. ඒ නිසා මේ කතා ඔක්කොම යන එන මන් නැති බංකොලොත් දේශපාලන කතා.
ටීඑන්එ එකයි ජවිපෙයි වත්මන් අග්‍රාමාත්‍යවරයාට විරුද්ධ වුණාට හිටපු අග්‍රාමාත්‍යවරයා ඔවුන් පිළිගන්න සූදානම් බවක් ඒකෙන් හැඟෙන්නේ නැහැ නේද?
29 වෙනිදා ටීඑන්ඒ එකේ අය කිව්වානේ එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් හදන්න ඉඩ දෙන්න කියලා. ඒවගේම ජනතා විමුක්ති පෙරමුණත් අපිත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එක පෙරමුණක හිටියනේ. අවසානේ එක්සත් ජාතික පෙරමුණ විසින් තීරණය කරා කවුද මේ රටේ අගමැතිවරයා කියලා. ඒක දැන් තියෙන ආකාරයේ ව්‍යවස්ථා විරෝධි බංකොලොත් දේශපාලන තීන්දුවක් නෙමෙයිනේ. අපේ අගමැතිවරයා පත් කළේ අපි ඔක්කොම එකතු වෙලා. අනික අපි වෙන කෙනෙක් ගන්නව නම් හරි වෙන කෙනෙක් පත්කරනව නම් හරි ඒකත් ජනමතයට පටහැනියිනේ. ඒනිසා එයාලගෙ න්‍යාය පත්‍රවලට අනුව අගමැතිවරුන් පත් කිරීමට අපට අවශ්‍ය නෑ.
ටීඑන්ඒ එකෙයි ජවිපෙයි සහය නැත්තම් ඔබලටත් ආණ්ඩුව කරන්න වෙන්නේ සරල බහුතරයක් එක්ක නේද?
ආණ්ඩුවක් කරන්න සරල බහුතරයක් ඇති. ඒකේ තියෙන ප්‍රශ්නය මොකක්ද?
එහෙම නම් මේ අණ්ඩුව සරල බහුතරයක් තියාගෙන මහින්ද රාජපක්ෂ මහතා සමඟ ආණ්ඩුව කරන එක වැරදි වෙන්නෙ කොහොමද?
මේ ආණ්ඩුවේ සරල බහුතරයක් සිටීම නෙමෙයි ගැටලුව මේ ආණ්ඩුව අනීතික ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවක්. අපි ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වෙලත් මේ රටේ ජනමාධ්‍යවලින් කොයිතරම් පහර ගැහුව්ව ද? අද බලන්න මේ අනීතික ආණ්ඩුවක් බලයේ ඉඳගෙනත් ඒ අය කට අරින්නේ නැහැ. රූපවාහිනියට, අයිටීන් එකට මැරයෝ එවල ගහල හිටපු අය එලවල ඒ අය අල්ල ගත්ත හැටි වාර්තා කරන්න මොන මාධ්‍යයට කොන්දක් තිබුණේ. ඒවා පෙන්නුවෙත් සත්‍ය විකෘති කරලා. අද පෞද්ගලික මාධ්‍ය කඩේ යන හැටි බලන්න. කිසිම බැලන්ස් එකක් තියෙනවාද. අනෙක් අයගේ මතයට ඉඩක් තියෙනවද? ඒ ඇයි? තාමත් මේ අය මාධ්‍යවේදීන් බයයි. ඒකයි ඇත්ත. ස්වාධීන කොමිසන් සභා ඇතිකරමින් අපි කොච්චර හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ගත්තද යහපාලන රජය කාලේ. විශේෂයෙන් ම ජනමාධ්‍යවේදීන්ට. අද ජනමාධ්‍ය නිදහස කෝ. තොරතුරු දැනගැනීමේ පනත යටතේ කටයුතු කරමින් සත්‍ය පුවත් ජනතාව වෙත යනවද? මේ ඔක්කොම රටේ මිනිස්සුන්ට පේනවා.
මේ හැමදේකටම හොඳ ම සහ ස්ථීර විසඳුම මැතිවරණයකට යන එක නේද?
අපි ඡන්දයකට යන්න කැමතියි. ඇබැයි ඒ යන්නේ ව්‍යවස්ථානුකූලව මේ ගැටලුව විසඳුවට පස්සේ. නැතුව එක එක්කෙනාට හිතුණ හිතුණ විදියට ඡන්ද වලට යන්න බැහැ. මොකද අපි පක්ෂ නායකයන් එක්ක සාකච්ඡා කරල ඒ අයගෙ අදහස් දැනගෙන ඕන ඒ විදියෙ ක්‍රියාමාර්ගයකට යන්න. අපිට ඡන්දයකට යන්න බයක් නැහැ. අපිට කිසිදු මාධ්‍යක් නැතිව ලක්ෂ ගණන් ජනතාව එක රැයින් කොළඹට රැස්කරලා අපේ ශක්තිය අපි පෙන්නුවා. මේ තත්ත්වය යටතේ වුණත් අපි ගරු ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා විසඳුමකට එන්න ලෑස්තියි.
සංවාදය - රසික කොටුදුරගේ