ජනපති සමඟ එකඟතාව කථානායක කඩකරයි | Page 3 | සිළුමිණ

ජනපති සමඟ එකඟතාව කථානායක කඩකරයි

කථානායක කරූ ජයසූරිය මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ නායකයන් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් ද සමඟ පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කරන ලද සාකච්ඡාවේදී ඇති කරගත් එකඟත්ව කථානායක කරූ ජයසූරිය මහතා විසින් සම්පූර්ණයෙන් කඩ කරන ලද බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය එස්. බී. දිසානායක මහතා චෝදනා කරයි.

කථානායකවරයා ප්‍රමුඛ දේශපාලන පක්ෂ නියෝජිතයන් සමඟ පැය දෙකක් පුරා ජනාධිපතිවරයා සිදු කළ ඒ සාකච්ඡාවේදී රටේ පවත්නා දේශපාලන තත්ත්වය පිළිබඳ ව පුළුල් ලෙස අවධානය යොමු කරන ලද අතර, එහිදී ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු වන නිසා එය, පිළිගන්නා ලෙස ය.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණයෙන් ප්‍රකාශ කර ඇත්තේ තමන් සැම විටම රටේ ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් ඊට අනුගතව කටයුතු කරන බව ය.

ඒ අනුව එහිදී ජනාධිපතිවරයා ඔවුන්ට ඉතා පැහැදිලිව දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට නියමාකාරව ගරු කරමින් ඔවුන් සතුව ඇතැයි කියන බහුතරය ප්‍රදර්ශනය කරන ලෙසට ය. ශ්‍රී ලංකාව පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව නව අග්‍රාමාත්‍යවරයකු හා කැබිනට් මණ්ඩලයක් පත් කිරීමෙන් පසු විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුව හමුවට ගෙන ඡන්දය විමසීමක් සිදු නොකරයි.

එහෙත් අග්‍රාමාත්‍යවරයාට හෝ කැබිනට් මණ්ඩලයට හෝ එහි සාමාජිකයකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය තුළ ඉඩක් ඇති අතර, ඒ සඳහා වන යෝජනාව විධිමත් ලෙස සකස් කර නිශ්චිත මන්ත්‍රී සංඛ්‍යාවකගේ අස්සනින් යුතුව කථානායකවරයා වෙත බාර දීම එහි ප්‍රථම පියවර බව මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සිළුමිණ සමඟ කළ සාකච්ඡාවකදී පැවසීය.

එවැනි යෝජනාවක් කථානායකවරයා වෙත ලැබීමෙන් පසු ඒ බව පක්ෂ නායකයන් වෙත දැනුම් දීම පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සම්ප්‍රදාය වන අතර,

පසුව එකි යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතු ව තිබේ. පසුව ආණ්ඩු පක්ෂය විසින් අදාළ යෝජනාව වාදයට ගැනීම සඳහා දිනයක් හෝ දින කිහිපයක් ලබා දෙමින් ඊට කාලය වෙන් කරන අතර පාර්ලිමේන්තුව තුළ සිදුකරන එකී විවාදයෙන් පසු ඊට පක්ෂ ව හා විපක්ෂ ව මන්ත්‍රීවරුන්ගෙන් ඡන්දය ලබා ගැනීම සිදු කරනු ලැබේ. විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වී ඇති අගමැතිවරයාගේ හෝ ඇමැතිවරයකුගේ ඉරණම තීන්දු කළ යුත්තේ ඒ අනුව බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

එහෙත් පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී එකී නියම කිසිවක් සම්පූර්ණ කර බවක් ප්‍රදර්ශනය නොවූ අතර අවම වශයෙන් එක් එක් මන්ත්‍රීවරයකුගේ නමින් ඡන්ද විමසීමක් හෝ සිදු නොකළේ ය.

Comments