රැකියාවලට යන අයට ජපානයේ ස්ථිර පදිංචිය | සිළුමිණ

රැකියාවලට යන අයට ජපානයේ ස්ථිර පදිංචිය

ජපානයේ වෘත්තිය රැකියා සදහා යොමුවන ඉහළ මට්ටමේ කුසලතා සහිත විදේශික ශ්‍රමිකයින් සදහා ස්ථිර පදිංචිය සදහා අවස්ථාව ලබාදීමට ජපාන රජය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශය සඳහන් කරයි.

ජපන් ජාතිකයින්ගේ ජනගහනයේ අඩුවීම හා වයස්ගත ජනගහනය ඉහළ යාම හේතුවෙන් ජපන් රජය විසින් මෙම තීරණය ගෙන තිබේ. මෙම වැඩපිළිවෙළ එළැඹෙන අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇත.

කාණ්ඩ 2ක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර පළමු කාණ්ඩය සදහා වසර 3ක තාක්ෂණික පුහුණුව හා ජපන් භාෂාව හදාරා තිබිය යුතුය. ඔවුන් සඳහා වසර 5ක නේවාසික වීසා කාලයක් හිමිවන අතර, ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සඳහා මෙය වලංගු නොවේ. එසේම වසර 5ක විසා කාලයක් හිමිවූ ශ්‍රමිකයින්ට වසර 10ක් දක්වා එරට සේවය කිරීමට අවස්ථාව සැලසේ. මෙම ශ්‍රමිකයින් සඳහා ජපන් රජය විසින් නේවාසික පහසුකම් සලසා දෙනු ලැබේ. කෘෂි, හෙද, සාත්තු සේවක, ආහාර පාන නිෂ්පාදනය, ඉදිකිරීම්, නැව්බඩුකරණ සහ නැව් යන්ත්‍රරෝපකරණ, ආගන්තුක සත්කාරය, ආහාරසේවා, ධීවර කර්මාන්තය, නිෂ්පාදන කර්මාන්තශාලා; විද්‍යුත් සහ විදුලි උපකරණවලට අදාළ කර්මාන්ත, වාහන නඩත්තු කිරීම සහ ගුවන් සේවා වැනි රැකියා ක්ෂේත්‍ර සඳහා රජය විසින් ලබාදෙනු ලබන නේවාසික පහසුකම් හිමිවේ.

දෙවන කාණ්ඩය යටතේ වර්ගීකරණය කරනු ලබන ශ්‍රමිකයින් සඳහා ජපානයේ රැදීසිටිමේ නිශ්චිත කාලයක් සීමා නොකෙරේ. මෙම ශ්‍රමිකයින් සඳහා ස්ථිර නේවාසික පහසුකම් ලබාදෙන අතර ඔවුන්ගේ පවුලේ ඥාතීන්හට ද ජපානයේ රැඳී සිටිමේ අවස්ථාව හිමිවේ.

නොයෙකුත් රටවල ආගමන විගමන ප්‍රතිපත්ති වෙනස්වීම හේතුවෙන් පවුලේ ඥාතීන් සමග ජපානයට පැමිණෙන ශ්‍රමිකයින් සදහා වසරකට වරක් මෙම වීසා බලපත්‍ර පිළිබදව සමාලෝචනයක් සිදුකරන අතර, බරපතල සිදුවීම් වාර්තා වුවහොත් වීසා බලපත්‍ර අවලංගු කිරීමට ජපන් රජය කටයුතු කරනු ලැබේ.

ජපානය තුළ නීතිවිරෝධීව රැඳී සිටීම පාලනය කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ගය හේතුවන බව එරට රජය විශ්වාසය පළ කරයි. ජපානයේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින පුරවැසියන්ගේ හා ජපන් සරණාගත ප්‍රතිපත්තිය උල්ලංඝණය කරමින් එරට රැඳී සිටින සරණාගතයින්ගේ රටවල් සඳහා මෙම අවස්ථාව හිමි නොවේ.‍

 

Comments