මහ කන්නයේ කුඹුරු අක්කර ලක්ෂ 25ක් වවයි | සිළුමිණ

මහ කන්නයේ කුඹුරු අක්කර ලක්ෂ 25ක් වවයි

මෙවර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මහවැලි අධිකාරිය හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් අක්කර ලක්ෂ 25ක් පමණ වවන බවත් මේ කුඹුරු ප්‍රමාණය අස්වැද්දූ පසු රට සහලින් ස්වයංපෝෂිත වීම ස්ථිර බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගාමිණි විජේසිංහ මහතා පවසයි.

මේ අතර කන්න 3කට පසු මෙරට සියලු ජලාශ දැන් වතුරෙන් පිරී ඇති බවත් රටේ ම කුඹුරු අස්වැද්දීමට මේ ජලය ප්‍රමාණයටත් වඩා වැඩි බවත් වාරිමාර්ග අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත බණ්ඩාර පලුගස්වැව මහතා කියයි. 2014 - 15 මහ කන්නයෙන් අපේ රට සහලින් ස්වයංපෝෂිත වී සිටි බවත් ඒ කන්නයේ කුඹුරු අක්කර 22,000ක් පමණ වැවූ බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව මෙවර ඉහත කුඹුරු අක්කර ගණන හොඳින් අස්වැද්දීමට ලැබුණොත් වසර 3කට පසු යළි රට ස්වයංපෝෂිත වෙන ලකුණු පහළ වෙමින් ඇති බවත් ඔහු කීය.

2016 යල සිට 2018 යල දක්වා අපේ රටට ලැබුණේ ඉතා අඩු වී අස්වැන්නක් බවත් ඒ නිසා විදේශ රටවලින් කෝටි ගණන් මුදල් ගෙවා හාල් පිටරටින් ගෙන්වීමට සිදුවූ බවත් සහකාර අධ්‍යක්ෂවරයා පවසයි.

ජලය දැන් ඇති තරම් තිබෙන නිසා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට මෙවර උපරිම මට්ටමින් තම කුඹුරු හා ගොඩ ඉඩම් අස්වද්දන්න මේ අනුව කුඹුරු අක්කර ලක්ෂ 2ක් හා ගොඩ ඉඩම් අක්කර 50,000ක් අස්වද්දන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍ර විතාන මහතා පවසයි.

මෙයට අමතරව බඩ ඉරිඟු අක්කර ලක්ෂ දෙක හමාරක් මෙවර මහ කන්නයේදි වගා කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

 

Comments