
අඳුරෙන් ආලෝකයට පැමිණීම මහත් භක්තියෙන් සමරන හින්දු බැතිමතුන්ගේ දීපවාලි උත්සවය අදට(06) යෙදී තිබේ.
ක්‍රිෂණා දෙවියන් විසින් නරකාසුර නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කිරීම සඳහා පහන් දල්වා හින්දු බැතිමතුන් දීපවාලි උත්සවය සමරනු ලබයි.
අධර්මය පරදවා ධර්මය ජයගැනීම සංඛේතවත් කරමින් මෙම පහන් දැල්වීම දීපවාලි දිනයේ විශේෂ සිදුවීමක් වෙයි.
මේ අතර දීපවාලි දිනය නිමිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් එක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ අධ්‍යාත්මික ශික්ෂණය ප්‍රඥාව බදු ගුණාංග මිනිස් සිත් සතන් තුළ ඇතිවීමට නම් අවිද්‍යාවේ අන්ධකාරය පහවිය යුතු බවයි.
පහණින් නැගෙන ආලෝකයෙන් අයහපත නැමති අඳුර දුරු වී යහපත නමැති ආලෝකය පැතිරෙන්නා සේ ස්වකීය ජීවිතය ද ආලෝකමත් වේවා යන්න දීපාවලියේ අරුත බව ජනාධිපතිවරයා පවසයි.
ඒ බව මනාව වටහා ගනිමින් උදාවන දීපාවලී උත්සවය අප අතර, සංස්කෘතික බැඳීමක් ගොඩනඟාගත හැකි අගනා අවස්ථාවක් බවට පත් කර ගත යුතු බව ද නිකුත් කළ නිවේදනයේ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කරයි.
දශක කිහිපයක් තිස්සේ විරසකයන් විසින් හුදකලා කරනු ලැබු අනේකවිද දුක් වේදනාවන් දරා සිටි සමාජයක ජනවර්ග අතර පවත්නා විරසකය දුරලා අන්යෝනන්යි අවබෝධයත්, සහජීවනයත් ඇති කිරීමට දීපවාලි උළෙල මනා පිටිවහලක් වනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.
දීපවාලි උත්සවය තුළින් පිළිබිඹු වන්නේ හින්දු භක්තිකයින්ගේ අධ්‍යාත්මික ගුණ වගාවත් සමාජයේ ජන කණ්ඩායම් හා පුද්ගලයන් අතර අවබෝධය සහ සංහිදියාව බව දීපවාලි දිනය නිමිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
එම පණිවිඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි
ශ්‍රී ලංකාවේ හින්දු ආගමික බැතිමතුන්, මහත් භක්තියෙන් සමරන දීපාවලි උත්සවය අද දිනට යෙදී ඇත. දීපාවලි උත්සවය තුළින් පිළිබිඹු වන්නේ, හින්දු භක්තිකයින්ගේ ආධ්‍යාත්මික ගුණවගාවත්, සමාජයේ ජන කණ්ඩායම් හා පුද්ගලයින් අතර අවබෝධය හා සංහිඳියාවයි. හින්දු සම්ප්‍රදායට අනුව, දීපාවලි උත්සවයෙන් සැමරෙන්නේ, ක්‍රිෂ්ණා දෙවියන් නරකාසුර නැමති අසුරයා පරාජයකොට ලෝකයට ආලෝකයත්, ආශිර්වාදයත් ගෙන ඒමයි.
ශ්‍රී ලංකාවේ හින්දු භක්තිකයන් ආගමික වතාවත්වල යෙදෙමින් දීපාවලි උත්සවය සමරනු ලබයි. මෙම උත්කර්ෂවත් දිනයෙන් සංකේතවත් වන්නේ අඳුර පරාජය කරමින් ආලෝකයත්, අසත්‍ය පරාජය කරමින් සත්‍යයත්, නොදැනුවත්කම පරාජය කරමින් දැනුවත්කමත් ජයග්‍රහණය කිරීමයි. මේ ප්‍රීතිමත් අවස්ථාවේ දී ශ්‍රී ලංකාවාසී සියලුම හින්දු භක්තිකයින් වෙත මාගේ උණුසුම් ශුභාශිංසන පිරිනැමීමට කැමැත්තෙමි.