රනිල්ගේ සහායට එන අය ගැන චම්පිකගේ කතා බොරු | සිළුමිණ

රනිල්ගේ සහායට එන අය ගැන චම්පිකගේ කතා බොරු

රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයාට පක්ෂව මන්ත්‍රීවරුන් 117 දෙනකු සහාය පළ කර ඇති බවට පාඨලී චම්පික රණවක මහතා පවසා ඇතත් එම ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. සුරේෂ් වඩිවේල් ඇමතිවරයා මෙන් ඇමති ධූරයේ දිවුරුම් දෙන තුරු රනිල් මන්ත්‍රීවරයාට සහාය දෙන අය ලෙස පෙන්නුම් කරනු ලබන පිරිස් රැසක් එජාපයේ සිටින බවද ඒ මහතා පවසයි.

‘මුදල් ඇමති ලෙස මහින්ද රාජපක්ෂ අගමැතිතුමා නිවේදනය කළ සහන මල්ල එජාප ආණ්ඩුවකට සිහිනෙන්වත් දෙන්න බෑ.

සතියක් ඇතුළත රට අඳුරෙන් එළියට ඇදෙන්න පටන් අරන්. නමුත් රාජිත සහ චම්පික මන්ත්‍රිවරුන් එජාපයේ ජනපති අපේක්ෂක සිහිනය නිසා රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයාට අරලිය ගහ මන්දිරයෙන් යන්න දෙන්නේ නෑ.

රනිල් මන්ත්‍රීවරයා ජනපතිවරණය තුරු පක්ෂ නායකත්වයේ රැඳී සිටියොත් මේ දෙන්නාට ජනපති අපේක්ෂක වෙන්න පුළුවන් කියා දෙන්නාම හිතනවා.

දැන් අගමැතිවරයාට තනතුර අහිමි වෙනවා කියන්නේ පක්ෂ නායකත්වය සජිත් මන්ත්‍රිතුමාට ලැබෙනවා කියන එකයි. ඒකට බයේ තමයි මේ හැම පිස්සුවම කරන්නේ. රටේ ජනතාවට වගේම එජාප පාක්ෂිකයාටත් ඕනෑ රනිල් යුගය අවසන් කරලා සජිත් යුගය ආරම්භ කරන්න.

ඒකට විරුද්ධ මේ දෙන්නා සහ ගෝල බාලයෝ විතරයි.‘ යනුවෙන්ද ඒ මහතා පැවසීය.

Comments