රට ගොඩනඟන හැටි ජාතික ආර්ථික සභාව කියයි | සිළුමිණ

රට ගොඩනඟන හැටි ජාතික ආර්ථික සභාව කියයි

දේශීය කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා ප්‍රමුඛතාව ලබාදීම රටේ අපේක්ෂාව විය යුතු බවත්, වෙනත් රටවලින් අනායනය කරන භාණ්ඩ මත රැඳී සිටීම තවදුරටත් පලක් නොවන බවත්, එදිනෙදා ජීවිතයට අවශ්‍ය දෑ අප දේශීය වශයෙන් නිෂ්පාදනය කර ගැනීම අවශ්‍ය බවත් ජාතික ආර්ථික සභාවේ ලේකම් මහාචාර්ය ලලිත් සමරකොන් මහතා පැවසීය.

මෙහිදී කෘෂිකර්මාන්තයට ප්‍රමුඛතම භූමිකාවක් හිමි වන බවත්, රටට අවශ්‍ය කෘෂිකාර්මික භෝග හැකි තරම් රට තුළ නිෂ්පාදනය කිරීමෙන් අනයනය සඳහා යන වියදම අවම කරගන්න ගැනීමට හැකි වන බවත් ඒ මහතා පැවසීය. ජනාධිපතිවරයා කෘෂිකාර්මික ක්ෂේත්‍රයට වැඩි ප්‍රමුඛතාවක් ලබාදෙන්නේ එම හේතුව නිසා බව පැවසූ ඒ මහතා මේ ආකාරයට දේශීය කර්මාන්ත නඟා සිටුවීමටත්, ණය පහසුකම් ලබාදීමටත් ඊට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීමටත් එමගින් කටයුතු කරන බවද පැවසීය.

ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීමට ඔවුන්ගේ යෝජනා සහ අදහස් ලබා ගන්නා අතර, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මගින් ඍජුව වෙළෙඳපොළ සමඟ ගනුදෙනු කළ හැකි අවස්ථා පුළුල් කිරීමට අවශ්‍ය කටයුතු සොයා බලමින් සිටී. අද ලෝකය බොහෝ සෙයින් විවෘත වී ඇති බවත්, ජාත්‍යන්තර වෙළෙඳපොළට අපට ලබාදිය හැකි දායකත්වය කෙසේද යන්නත් සොයා බලා කටයුතු කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

මීට අමතරව ඇඟලුම් ක්ෂේත්‍රය හා මත්ස්‍ය අපනයනය මඟින් හොඳ ආදයමක් ළඟා කරගත හැකි බවත්, අපේ කුළු බඩු සඳහා නව අගයන් එකතු කර අපට වැඩි විදේශ විනිමයක් ළඟා කරගත හැකි බවද පැවසීය. අප රට නාවික ගමන් මාර්ගයක පිහිටි දුපතක් හෙයින් ඉන් ලැබිය හැකි විපුල ප්‍රයෝජන බොහොමයක් පවතින බවත්, මෙවැනි ක්ෂේත්‍ර කෙරෙහි විදේශීය ආයෝජකයන්ගේ ලොකු ආකර්ෂණයක් ඇති වී තිබෙන බවත්, මෙවැනි විදේශ ආයෝජන ශක්තිමත් කිරීම සඳහා පහසුකම් සැලසිය යුතු බවත් පෙන්වා දුන්නේය. ඒ සඳහා ලිහිල් බදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම යහපත් වන බවත්, විශාල ණය බරින් නිදහස් වීම සඳහා එසේ කළ යුතු බවත් වැඩි දුරටත් පැවසීය.

 

 

Comments