අද සිට නව රජයෙන් බදු සහන රැසක් | සිළුමිණ

අද සිට නව රජයෙන් බදු සහන රැසක්

ඉහළ ජීවන වියදම හේතුවෙන් ඇතිවී ඇති පීඩනය සමනය කිරීමට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දල පරිප්පු සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 5 කින් ද, කඩල සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 5 කින්ද, උදු සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 25 කින්ද, අඩු කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ඇත. තිරිඟු ඇට සඳහා පැවැති කිලෝග්‍රෑමයකට රුපියල් 6ක් වූ තීරුබදු සහනය රුපියල් 9 දක්වා වැඩි කර තිබේ. සීනි සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අදාළ කෙරෙන අතර එය කිලෝග්‍රෑමයකට රුපියල්10 කින් අඩු කරන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.ඒ අනුව අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රුසක මිල පහත දමා තිබේ.

ප්‍රවාහන, කෘෂි කාර්මික හා ධීවර කර්මාන්තයේ යෙදෙන්නන් ඇතුළුව සමාජයේ සියලුම ස්ථරවල පුද්ගලයන්ට බලපාන අධික ඉන්ධන මිල සැලකිල්ලට ගෙන පෙට්‍රල් (ඔක්ටේන් 92* ලීටරයක මිල රුපියල් 10 කින්ද, ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 7 කින් හා ත්‍රී රෝද රථ සහ කුඩා කෘෂිකාර්මික යන්ත්‍ර සඳහා යොදා ගැනෙන 2ඔ ලිහිසි තෙල් ද ඇතුළුව ලිහිසි තෙල් ලීටරයක මිල රුපියල් 10 කින් ද ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර ඇත. ඒ සමගම ඉන්ධන මිළ ගණන් තීරණය කිරීම සඳහා මාසික ඉන්ධන මිල සූත්‍රය වෙනුවට පිරිවැය මත පදනම්වූ ප්‍රායෝගික මිල ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

දේශීය ගොවීන් විසින් නිෂ්පාදනය කරන වී, ලූණු සහ අල සඳහා සහතික මිල ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවද එම නිවේදනයේ සඳහන් වේ. ඒ අනුව වාසිදායක සහතික මිලක් හරහා දේශීය ගොවීන් ආරක්ෂා කිරීමට අස්වනු නෙලන සමයේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ නංවනු ඇති බව ද එහි තවදුරටත් සඳහන්ය. ලොකු ලූණු සහ අල අස්වැන්න වෙළෙඳ පොළට ලැබෙමින් පවතින බැවින් ඒ මත අයවන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 40ක් ලෙස පවත්වාගෙන යනු ලබන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

පැවති අයහපත් කාළගුණික තත්ත්වයන් හමුවේ ගොවීන්ට සහ කුඩා වී මෝල් හිමියන්ට තම ජීවිකා වෘත්තිය කරගෙනයාමට නොහැකි වීමෙන් විශාල වශයෙන් ණය වීමට සිදුවු බැවින් පසුගිය වසර 03ක කාලය තුළ වාණිජ බැංකු මඟින් ලබාදුන් රුපියල් මිලියන 50ක උපරිමයක් දක්වා වන ණය මුදලක් සඳහා වූ පොලී සහ දඩ මුදල් සම්පූර්ණයෙන්ම කපා හැරෙන අතර එම පිරිවැය රජය විසින් දරනු ඇති බව ද එහි සඳහන්ය.

එම නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහන්ය

සමෘද්ධි ප්‍රතිලාභීන්ට සමෘද්ධි බැංකු මඟින් එදිනෙදා කටයුතු සඳහා දෙනු ලබන ණය අත්තිකාරම් උපරිම සීමාව රුපියල් 10,000කින් වැඩි කෙරේ.

වී වගාව සඳහා දෙනු ලබන කිලෝග්‍රෑම් 50ක පොහොර බෑගයක මිල රුපියල් 500ක් ලෙස පවත්වා ගෙන යන අතර අනෙකුත් භෝග සඳහා කිලෝග්‍රෑම් 50ක පොහොර බෑගයක සහන මිල රුපියල් 1500 යේ සිට රුපියල් 1000 දක්වා අඩු කෙරේ.

14% ක සහනදායී ආදායම් බදු අනුපාතය වර්තමානයේදී අදාළ වන්නේ කෘෂි කාර්මික කටයුතුවල නිරත සමාගම්වලට පමණි. කෘෂි කාර්මික ව්‍යාපාරවල නියුතු අනෙකුත් පුද්ගලයන්ගේ කෘෂිකාර්මික ආදායම් මත බද්ද පවතින උපරිම අනුපාතය වන 24% සිට 14%දක්වා අඩු කෙරේ.

මේවනවිට සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යන කාණ්ඩය යටතේ 14% ක සහනදායී ආදායම් බදු අනුපාතය අදාළ වන්නේ සමාගම් සඳහා පමණි. මෙම අනුපාතය වෘත්තීය සේවා සපයන්නන් ද ඇතුළුව සියලු තැනැත්තන්ට අදාළ කෙරේ. ඒ අනුව වෘත්තීය සේවා සඳහා වන උපරිම බදු අනුපාතය 24% සිට 14%දක්වා අඩු කෙරේ.

මූල්‍ය ආයතනයක පවත්වාගෙන යන ඉතිරිකිරීම් සහ ස්ථාවර තැන්පතු මත ලැබෙන පොලිය රඳවා ගැනීමේ බදුවලින් නිදහස් කෙරේ.

ශ්‍රී ලංකාවෙන් පිටතට සපයන සේවාවන් මත විදේශ ව්‍යවහාර මුදලින් කරන ඉපයීම් මෙරටට ප්‍රේෂණය කිරීම දිරිගැන්වීම සඳහා දේශීය ව්‍යවසායකයන් වෘත්තිකයන් සහ පිටරට සේවය කරන තැනැත්තන් විසින් ප්‍රේෂණය කරන මුදල් ආදායම් බද්දෙන් නිදහස් කෙරේ.

එකතු කළ අගය මත බදු සහ ජාතිය ගොඩනැඟීමේ බදු සරල කිරීම මඟින් අධික ලෙස පනවා ඇති වක්‍ර බදු නිසා ජනතාවට ඇතිවී ඇති පීඩනය සමනය කෙරේ. වැට් බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාව වර්ෂයකට රුපියල් මිලියන 12 සිට රුපියල් මිලියන 24 දක්වා වැඩි කෙරේ.

කුඩා පරිමාණ වෙළෙඳ ව්‍යාපාරිකයින් සඳහා සහන සලසාලමින් තොග සහ සිල්ලර වෙළෙඳ අංශය වැට් බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාවද වර්ෂයකට රුපියල් මිලියන 50 සිට රුපියල් මිලියන 100 දක්වා වැඩි කෙරේ.

දේශීය ඉදිකිරීම් කර්මාන්තයට සහාය වීම සඳහා ඉරූ දැව ආනයනය මත වැට් බදු අනුපාතය 15% සිට 5% දක්වා අඩු කෙරේ.

සුළු හා මධ්‍යපරිමාණ ඇඟලුම් නිෂ්පාදකයින්ට ප්‍රතිලාභ ලබාදීම සඳහා ආනයනික රෙදිපිළි මත වැට් බද්ද ඉවත් කෙරේ.

දුරකථන සේවාවන් සඳහා පනවා ඇති ඉහළ බදු සැලකිල්ලට ගෙන 25%ක් වන විදුලි සංදේශ බද්ද 15% දක්වා අඩු කෙරේ.

මෙම මූලාරම්භයන්ගේ මූලික පරමාර්ථය නිෂ්පාදන දිරිගැන්වීම සහ බදු ක්‍රමය සරළ කිරීම වේ. එය නිසැකවම අමතර ආදායමක් ඉතිරි කරමින් ගෘහස්ථ ආර්ථිකයට සහයක් වනු ඇත. බදු ක්‍රමය සඳහා යෝජිත සංශෝධන මඟින් මෙරටට කෙරෙන ප්‍රේෂණ සහ ඉතිරිකිරීම් දිරිගැන්වෙනු ඇත.

තවද, අඩු අමාත්‍යාංශ සංඛ්‍යාවක් තුළ කැබිනට් අමාත්යධූර අඩු කිරීමෙන් සහ ප්රාග්ධන වියදම් ව්‍යාපෘති යළි සුපරීක්ෂණය මඟින් රජයේ වියදම් අඩු කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව 2018 වර්ෂය සඳහා ඉලක්ක කරන ලද ද.දේ.නි.යෙන් 1.8%ක ප්‍රාථමික අතිරික්තයක් සහ අයවැය හිඟය ද.දේ.නි.යෙන් 4.9% කට ආසන්න අගයක පවත්වාගෙන යමින් ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීම සඳහා රජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව තවදුරටත් ළඟාකර ගතහැකි බව රජයේ දැඩි විශ්වාසයයි. මේ අතරම දැඩි අවශ්‍යතාවක් වන විනිමය අනුපාත ස්ථාවරව පවත්වාගැනීම සඳහා මෙන්ම විදේශ වෙළෙඳාම සහ විදේශ වෙළෙඳ ගනුදෙනු තවදුරටත් ඒකාග්‍ර කිරීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග ද සලකා බලමින් පවතී.

ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා විසින් ඉහත ප්‍රතිපත්තිමය කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබාදී ඇත. ඒ අනුව ඉහත කී බදු සංශෝධන යෝජනාවලට අදාළ ගැසට් නිවේදන අද දින නිකුත් කර ඇති අතර, අවශ්‍ය බදු නීති සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අපේක්ෂිතය.

Comments