සම්පත් බැංකුව තවත් වැව් දෙකකට නැවත ජීවය ලබාදෙයි | සිළුමිණ

සම්පත් බැංකුව තවත් වැව් දෙකකට නැවත ජීවය ලබාදෙයි

තිරසර සංවර්ධනය ළඟාකර ගැනීම සඳහා මෙරට වැව් පද්ධතියේ ඇති වැදගත්කම හඳුනාගත් සම්පත් බැංකුව මීට දශක දෙකකට පෙරාතුව 'වැවට ජීවයක්' සමාජ සත්කාරක වැඩසටහන දියත් කළේය. එම වැඩසටහනින් යළි ජීවය ලද වැව් දෙකක් ඔක්තෝබර් මස 30වනදා ජනතා අයිතියට පත්කිරීමට නියමිතය. අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් අඹගස්වැව ග්‍රාමයේ අඹගහවැව වැව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය දිවුලන්කඩවල ග්‍රාමයේ ධාන්‍යාවවැව ද මෙලෙස යළි ජීවය ලද වැව් වේ.

අඹගහවැව ව්‍යාපෘතිය යටතේ පවුල් 76ක 300කට අධික පිරිසකට ද ධාන්‍යාව ව්‍යාපෘතිය යටතේ පවුල් 96ක 400කට අධික පිරිසකට ද සෘජු ප්‍රතිලාභ හිමිවේ. අඹගහවැව මගින් කුඹුරු අක්කර 40කට අධික ප්‍රමාණයක් ද ධාන්‍යාව වැව මගින් කුඹුරු අක්කර 112කට අධික ප්‍රමාණයක් ද ජලයෙන් පෝෂණය වේ.

කහටගස්දිගිලිය සහ හිඟුරක්ගොඩ සම්පත් බැංකු ශාඛාවල කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් මෙන්ම ගොවි සමිති නායකයන්ගේ සහ ගොවි ජනතාවගේ සහයෝගයෙන් යුතුව ප්‍රතිසංස්කරණය කෙරුණු මෙම වැව් එම ප්‍රාදේශවල ගොවි සමිතිවලට බාර දීමෙන් අනතුරුව ඒවා අනාගත පරපුර වෙනුවෙන් රැකබලා ගැනීමේ වගකීම ගොවි සමිති වෙත පැවරේ. ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අදාළ තාක්ෂණික දැනුම සහ නියාමනය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය විසින් සම්පාදනය කරන ලදි. ඒ අනුව සම්ප්‍රදායික සමාජසත්කාරක වැඩසටහන්වලින් බැහැරව ප්‍රජා සහභාගිත්වයෙන් යුතු සැබෑ තිරසර ප්‍රජා මූලික සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස සම්පත් බැංකුවේ මෙම සද් කාර්යය හඳුන්වා දිය හැකිය.සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා මෙම වැව් ජනතා අයිතියට පත් කිරීමේ උලෙළවල ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙයි.

වැව් නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් එම ජෛව පද්ධතියට සිදුවී ඇති අහිතකර බලපෑම නතර කිරීම, වසරින් අඩකට වැඩි කාලයක් පුරා වියළි කලාපයේ ජනතාව ජලය නොමැතිව විඳින අනේකවිධ දුක් ගැහැට සඳහා පිළියමක් ලබාදීම, වගා කටයුතුවලට නිසි පරිදි ජලය නොලැබීමෙන් සිදුවන හානියඅවම කර එම ප්‍රදේශවල ජනයාගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සම්පත් බැංකුවේ 'වැවට ජීවයක්' වැඩසටහන දියත් කිරීමේ මූලික අරමුණු වේ. තවද, වියළි කලාපයේ ගොවි ජනතාවට යල සහ මහ යන කන්න දෙකම වගාකිරීමේ අවස්ථාව උදාකරමින් වසර පුරාම විශ්වසනීය ජල සැපයුමක් ලබාදීමත්, කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකයන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමත් එම ව්‍යාපෘතියේ අරමුණු අතර ප්‍රමුඛස්ථානය ගනී.

විශේෂයෙන් වියළි කලාපයේ ගොවි ජනතාවගේ ජීවනාලිය බඳු වැවක් ප්‍රතිසංස්කරණය කිරීම යනු ඔවුන්ගේ ජීවිතවලට මෙන්ම සමස්ත පරිසරයටත්, රටේ ආර්ථිකයටත් තිරසර අන්දමින් වැදගත්වන කාර්යයකි. මෙම ප්‍රජා සංවර්ධන ක්‍රියාකාරකම් හරහා සම්පත් බැංකුව ගොවි ජනතාවට අවශ්‍ය මූලික යටිතල පහසුකම් ගොඩනැගීමටත්, ස්වභාවික ජෛව-පද්ධතිය සංරක්ෂණය කිරීමටත් ඒ හරහා සමස්තයක් ලෙස මෙරට දල දේශීය නිෂ්පාදිතය ඉහළ නැංවීමටත් තිරසර ලෙස දායකත්වය ලබාදෙයි.

Comments