අපේක්ෂාව යථාර්ථයක් කළමනුෂ්‍යත්වයේ කෙම්බිම | සිළුමිණ

අපේක්ෂාව යථාර්ථයක් කළමනුෂ්‍යත්වයේ කෙම්බිම

"අපි සතුටු වෙන්නේ අපි ළඟට එන කුඩා දරුවන්ගෙන් බහුතරයකට ආපහු ජීවිතය දෙන්න අපට හැකියාව ලැබෙන නිසා. ඒ වගේම තමයි මෙතනට ආධාර දෙන්න ඉන්න පිරිස. ජීවිතයේ අනිතය බව තේරුම් ගත බොහෝ දෙනා මහා පුදුම විදිහට මේ රෝහලට ආධාර ලබා දෙනවා. රජය උපරිමයෙන් මේ රෝහල වෙනුවෙන් මුදල් වැය කරනවා. මේ සියල්ලේ අග්‍ර ඵලය විදිහට මෙතනින් සුවය ලබා යළි සමාජ ගත වන දරුවන් සැලකිය හැකියි"

අසල වූ වීදුරු දොරෙන් ඔබ්බෙහි වූයේ ජීවිතය සහ මරණය අතර සටනකි. කුඩා එහෙත් සුව පහසු ඇඳන් මත ඔවුහු නිසලව ජීවිතය සමග සටන් වැදී සිටියහ.

‘අනේ ඔවුන් සියලු දෙනා සුවපත් වේවා... සුවපත් වේවා...‘ සිත එළෙසින් අයදින්නට විය. ඒ අතරින් ඇතැම් දෙනා හෙට දිනයේදී සුවපත්ව ලෝකය වෙත පියනගනු ඇත. ඇතැම් දෙනා මහ පොළොවේ නිසලව නිදනු ඇත. එහෙත් වීදුරු රාමුවෙන් ඔබ්බෙහි වූ ඒ කුඩා කුටියට අසාධ්‍යව ඇතුළත් කරන වැඩි දෙනා සම්පූර්ණයෙන් සුවය ලැබ ලෝකය වෙත පිය මනින්නේය. මා මෙහි පැමිණියේ ඒ සුබ ආරංචිය සැමට පැවසීමටය.

මහරගම ‘අපේක්ෂා‘ රෝහලේ නැවතී ප්‍රතිකාර ගැනීමට අපේ රටේ කිසිවකුත් ‘අපේක්ෂා‘ නොකරනු ඇත. ඒ මේ රෝහල පිළිකා රෝගීන්ට පමණක් සුවිශේෂ වන නිසාය. පිළිකාව කී පමණින් අප සියලු දෙනා තැතිගන්නේය. පිළිකාව වැළඳී ඇතැයි ඇසූ පමණින් ජීවිතය ගැන ‘අපේක්ෂාව‘ අත්හරින්නේය. රෝගයට ගොදුරු වූ තැනැත්තා කුඩා දරුවකු නම් මව්පියන්ගේ ජීවිත එතැන් සිට කුණාටුවකට හසු වන්නේය. මරණයෙන් මිස ගැළවීමක් නැතැයි සිතන්නේය.

එහෙත් මා රැඳී සිටි ඒ කුඩා කුටිය බොහෝ ජීවිතවලට ‘අපේක්ෂාව‘ ගෙන එන්නේය. එහි ප්‍රතිකර සඳහා යොමු කෙරෙන පිළිකා රෝගී කුඩා දරුවන්ගෙන් සියයට හැත්තෑවකට අධික ප්‍රමාණයක් සුවපත්ව යළි සාමාන්‍ය ජීවිතයට ප්‍රවිශ්ට වන බව සංඛ්‍යා ලේඛන මගින් තහවුරුව තිබෙන්නේය. මේ කුඩා කුටිය මහරගම පිළිකා රෝහලේ ළමා වාට්ටුවේ දැඩි සත්කාර ඒකකය බව සටහන් කරන්නේ හිත පුරා සියුම් ලෙස ගලා යන සතුටු දහරාවකින් යුක්තවය. සැබෑ ‘අපේක්ෂාව‘ නම් එයමය.

දැඩි සත්කාර ඒකකය බාරව කටයුතු කරන විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා උදෑසන තමන්ගේ භාරයේ සිටින මේ කුඩා රෝගීන්ගේ තත්ත්වය විමසා බලන්නේය. දැඩි සත්කාර ඒකකය අසල වැඩ සිටින බුදුන් වහන්සේ සමීපයේ දල්වා ඇති සුවඳ දුම් පන්සලක ඇති නිසල බව අවට පතුරන්නේය. නොකඩවා ඇසෙන සෙත් පිරිත් අසල රැඳී සිටින මවකගේ නෙත රැඳී කඳුළු වියළවන්නේය. ඇතැම් මව් නෙතක බලාපොරොත්තු දල්වන්නේය.

මේ ළමා දැඩි සත්කාර ඒකකයට ඇත්තේ ඉතා කුඩා ඉතිහාසයකි. 2005 වසර වන තෙක් පිළිකා රෝගයෙන් පීඩිතව රෝහලට ගෙන එන සිඟිත්තන්ට දැඩි සත්කාර අවශ්‍ය වූ විට ලබා දීමට විශේෂ පහසුකම් සහිත කුටියක් තිබුණේ නැත. 2005 වසරේදී විශේෂඥ වෛද්‍ය දිස්නා ද සිල්වාගේ මූලිකත්වයෙන් මේ කුඩා දැඩි සත්කාර ඒකකය ආරම්භ කෙරුණේ අඩුපාඩු රාශියක් මධ්‍යයේය. විශේෂයෙන්ම යන්ත්‍ර සූත්‍රවල විශාල අඩුපාඩු තිබූ නමුත් හැකි උපරිමයෙන් දරුවන්ගේ ජීවිත බේරීමට කටයුතු කිරීමට කාර්ය මණ්ඩලය උත්සාහ දැරූහ.‍

අදින් වසර හතකට පෙර දිනක වෛද්‍ය දීපාල් පෙරේරා ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස පත්වීම් ලබා පැමිණෙන්නේය.

“ ඒ වෙනකොට අඩුපාඩු ගොඩක් තිබුණා. විශේෂයෙන්ම යන්ත්‍ර සූත්‍ර. උදාහරණයක් කියන්නම්. අසාධ්‍ය තත්ත්වයේ පසුවන දරුවන්ගේ එක්ස් රේ ලබා ගන්න අවශ්‍ය වුණාට මේ ඒකකයට මොබයිල් එක්ස් රේ යන්ත්‍රයක් තිබුණේ නැහැ. ඒ නිසා එක්ස් රේ යන්ත්‍රයක් තිබෙන තැන්වලට අපට දරුවන් වඩාගෙන යන්න සිද්ධ වුණා. අසාධ්‍ය තත්ත්වයේ පවතින මේ දරුවන් නිතර එහා මෙහා ගෙන යෑම ඔවුන්ටත් විශාල පීඩාවක් වුණා. ඒත් ටිකෙන් ටික උත්සාහ කරලා මේ ඒකකයට අවශ්‍යකළ යන්ත්‍ර සූත්‍ර සියල්ලම වගේ ලබා ගන්න මටත් මගේ කාර්ය මණ්ඩලයටත් හැකියාව ලැබුණා. දැන් අපට මොබයිල් එක්ස් රේ මැෂින් තියෙනවා. දරුවන්ට හුස්ම ගැනීම පහසු කරන මැෂින්, රෝගීන්ගේ රෝගී තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා භාවිත මොනිටර් වගේම අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් මැෂින් පවා තියෙනවා. දරුවන් එහා මෙහා ගෙන යා යුතු නම් ඒ සඳහා විදුලි සෝපානයකුත් සවි කරලා තියෙනවා. දරුවන් සුව වන තෙක් නැවතී ඉන්න අම්මලාට පහසුකම් සහිත කාමරයක් සකස් කරලා දෙන්නත් අපට හැකියාව ලැබුණා. ඔවුන්ට එතන ආහාර පිසීමේ පහසුකම් පවා තිබෙනවා. ඇත්තටම කියනවා නම් අමෙරිකාවේ පිළිකා රෝගී දරුවන්ගේ වාට්ටුවක තිබෙන තරමටම සියලුම පහසුකම් අද මේ දැඩි සත්කාර ඒකකයේ තිබෙනවා. ඒ නිසාම අපට හැකියාව ලැබී තිබෙනවා ඒකකයට ඇතුළත් කරන දරුවන්ගෙන් සියයට හැත්තෑවකට වැඩි ප්‍රමාණයක් සුවපත් කර මුදා හරින්නට. ඒ තමයි මා ලැබූ ලොකුම ජයග්‍රහණය. විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා එළෙස අතීතය ස්මරණය කරන්නේය.

තරමක් හෝ සුවපත් වන විට කුඩා දරුවන් හැකි උපරිමයෙන් සාමාන්‍ය ජීවිතය හා සම්බන්ධ කිරීමට වෙද, හෙද කාර්ය මණ්ඩලය උත්සාහ දරන්නේය. බලංගොඩ අවිශ්ක සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නේ ඒ අනුවය. පිළිකාවක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ඔහු අසාධ්‍යව දැඩි සත්කාර ඒකකයට යොමු කෙරෙන්නේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිත කාලසීමාවේදීය. එහෙත් රෝහලේ ඉල්ලීම මත ඒ වන විටත් ඔහුට ප්‍රතිකාර ලබන අතරතුර දීම විභාගයට මුහුණ දීමට අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියලු කටයුතු සූදානම් කර අවසන්ය. දැඩි සත්කාර ඒකකයේ සිට වෛද්‍ය දීපාල් පෙරේරාගේ කාමරයට අවිශ්ක පැමිණියේ හෙද නිලධාරිනියන්ගේ දෑතට වාරු වෙමිනි. වෛද්‍යවරයාගේ මේසය එදින විභාග මධ්‍යස්ථානයක් විය. දොර අසල රැඳී සිටි නිරීක්ෂක මහත්වරු දරුවා පිළිතුරු ලියන තෙක් විභාග කටයුතු අධීක්ෂණය කළහ.

නියමිත දිනවල, නියමිත පරිදි සියලුම ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයූ අවිශ්ක සාමාන්‍ය පෙළ ජය ගත්තේ මහරගම ළමා වාට්ටුවේ සහ දැඩි සත්කාර ඒකකයේ සියලු දෙනාගේ සිත්වලට සතුටම කැන්දමිනි. නිට්ටාවට සුවය ලබා සාමාන්‍ය ජීවිතයට පිවිස, මේ වන විට පසු ප්‍රතිකාර සඳහා වරින් වර රෝහලට පැමිණෙන අවිශ්ක උසස් පෙළ සඳහා සූදානම් වන්නේය. ඔහු වෛද්‍ය දීපාල් පෙරේරා ඇතුළු මහරගම රෝහල් කාර්ය මණ්ඩලය සිහිපත් කරන්නේ ඉතා ගෞරවයෙනි.

ළමා දැඩි සත්කාර ඒකකයේ සේවය වෙනුවෙන් කැපවන බොහෝ දෙනෙකි. නම් වශයෙන් සඳහන් නොකරන්නේ එක් නමක් හෝ අතපසු වේ යැයි බියෙනි. ඒ සියලු දෙනාගේම කැපවීම අති මහත්ය. විශේෂඥ වෛද්‍යවරුන්, සහායක වෛද්‍යවරුන් මෙන්ම ප්‍රධාන හෙද නිලධාරී මහතා සහ සෙසු හෙද නිලධාරිනියන් මෙන්ම සාත්තු සේවක මහත්ම මහත්මීන්ද ඒ අැගැයීමට හිමිකම් ලබන්නෝය.

“ජීවිතය ගැන තේරුම් ගන්න නම් මෙතන තමයි තැන. අපි ජීවත් වෙනතෙක් නොයෙක් දේවල ඇලෙනවා, බදා ගන්නවා, ගැටුම් ඇති කර ගන්නවා, සිත් රිදවනවා. ඒත් ඒ සියල්ල කොයි තරම් තාවකාලිකද කියලා දැනෙන්නේ මේ රෝහල් බිමේදී. ඒත් අපි සතුටු වෙන්නේ අපි ළඟට එන කුඩා දරුවන්ගෙන් බහුතරයකට ආපහු ජීවිතය දෙන්න අපට හැකියාව ලැබෙන නිසා. ඒ වගේම තමයි මෙතනට ආධාර දෙන්න ඉන්න පිරිස. ජීවිතයේ අනිතය බව තේරුම් ගත බොහෝ දෙනා මහා පුදුම විදිහට මේ රෝහලට ආධාර ලබා දෙනවා. රජය උපරිමයෙන් මේ රෝහල වෙනුවෙන් මුදල් වැය කරනවා. මේ සියල්ලේ අග්‍ර ඵලය විදිහට මෙතනින් සුවය ලබා යළි සමාජ ගත වන දරුවන් සැලකිය හැකියි.“

මහරගම ළමා දැඩි සත්කාර ඒකකයේ සේවක මණ්ඩලය එළෙස අදහස් දක්වන්නේය. එහෙත් ඒ කෙසේ වුවද එතනට තම දරුවකු සමග පැමිණෙන දෙමවුපියන්ගේ නෙතක යළි සිනහවක් ඇඳෙන්නේ සම්පූර්ණ සුවය ලැබූ තම දරුවා සමග නික්ම යන මොහොතේදී පමණක්මය. එතෙක් ප්‍රතිකාර ලබන තම දරුවා සමග රෝහල් බිමේ ඇවිද යන, දරුවා සමග සෙල්ලම් කරන දෙමවුපියෝ සුලබ දසුන්ය. එබැවින් ඒ බිම, විශේෂයෙන් ළමා වාට්ටු අසල තවත් සුන්දර ලෙස, කුඩා දරුවන්ට ආකර්ෂණීය ලෙස සකස් කිරීමට හැකිනම් එය උතුම් සද්ක්‍රියාවක් වනු ඇත. මේ රෝහල් බිම නොව, තම නිවස හෝ පෙර පාසල වැනි සුන්දර ස්ථානයක් ලෙස ළමා මනසේ ඇඳී යන සේ යමක් කළ හැකිනම් එය සැබෑ මානසික සුවය සමග නීරෝගී සුවය ඔවුන් වෙත කැන්දන කෙටි මගක්ද විය හැකිය.

ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු

Comments