ජනතා අපේක්ෂා ඉටු කරමින් මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙයි | සිළුමිණ

ජනතා අපේක්ෂා ඉටු කරමින් මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිකුරාදා (25) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන‍ය එදින සවස ‍‍මෙතෙක් පැවති යහපාලන රජයෙන් ඉවත් වූ අතර, ඒකථානායක කරූ ජයසූරිය මහතා වෙත එය නිල වශයෙන් දැනුම් දෙනු ලැබිණි.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අවස්ථාවේ ඒ මහතාට සුබ පැතීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන සහ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් රැසක් ජනාධිපති ලේකම් කාර්යාලට එක්ව සිටි අතර, ඒ මහතා දිවුරුම් දීමත් සමඟ රට පුරා බොහෝ ප්‍රදේශවල ජනතාව මහ වැසි නොතකා විථි බැස රතිඤ්ඤා දලවමින් විශාල වශයෙන් ප්‍රීති ඝෝෂා නැඟූහ.

දශක පහකට ආසන්න කාලයක් මෙරට ක්‍රියාකාරි දේශපාලනයේ නිරතව සිටින ප්‍රබලයකු වන මහින්ද රාජපක්ෂ මහතා වෘත්තියෙන් නීතිඥයකු වන අතර, 1970 වසරේදී මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූයේය. 2004 අප්‍රේල් 6 දින සිට 2005 ජනාධිපතිවරණයෙහි ඔහුගේ ජයග්‍රහණය තෙක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ඒ මහතා ජනාධිපතිවරයා වශයෙන් තම ප්‍රථම ධුර සමය සඳහා 2005 නොවැම්බර් 19 දින දිවුරුම් දුන්නේය.

දෙවන ධුර කාලය සඳහා ඔහු යළි තේරී පත් වුණේ 2010 ජනවාරි 27 දාය. 2015 ජනවාරි මස 8 වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගැනීමත් සමඟ මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ජනපති ධුර සමය අවසන් විය.

මේ රටේ දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ පැවති යුද ගැටුම් අවසන් කිරීම සඳහා සේනාධිනායකයා වශයෙන් ඉටු කළ ශ්‍රේෂ්ඨ කාර්යභාරය හේතුවෙන් ඒ මහතා ලෝකය ඉදිරියේ ඉමහත් කීර්තියට පත් විය. ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ්, නෙල්සන් මැන්ඩෙලා, හෝචිමිං වැනි ලෝක නායකයන් අතරට එක් වූ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජීවත් වන සියලු පුරවැසියන්ට නිහස් නිවහල් රාජ්‍යයක් උරුම කරදුන්නා පමණක් නොව, දෙපයින් නැඟී සිටින ජාතියක් බවට පත් කිරීමෙහිලා අවශ්‍ය පියවර ගත්තේය.

පසුගිය වසර තුනහමාරක කාලය පුරා විවිධ චෝදනා, අපහාස සිදු කළද මහින්ද රාජපක්ෂ මහතා යළි මේ රටේ ක්‍රියාකාරි දේශපාලනයට අවශ්‍ය බවත්, ඒ මහතාගේ නායකත්වයෙන් තොරව මේ රටේ ඉදිරි ගමනක් නැති බවත් ලක්ෂ සංඛ්‍යාත ජනතාව ප්‍රකාශ කළහ.

Comments