සෞදි අරාබිය බය නැත්තේ ඇයි? | සිළුමිණ

සෞදි අරාබිය බය නැත්තේ ඇයි?

  • තෙල් මිල වැඩිවීමේ අවදානමක්
  • රුසියානු හමුදා කඳවුරකට ඉඩ

සෞදි ජනමාධ්‍යවේදියකු සහ රජයෙහි ප්‍රබල විවේචකයකු වූ ජමාල් කෂෝජි ඔක්තෝබර් 2 වනදා තුර්කියේ ඉස්තාන්බුල් හි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වූ පසු අතුරුදහන් වීමත්, ඔහු ඝාතනය කරන ලද බවට සාක්ෂි හෙළි වීමත් සමඟ සෞදි අරාබි පාලනය වෙත දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.

කෂෝජි අතුරුදහන් වීමේ සිද්ධියෙන් පසු ඔහු කොන්සල් කාර්යාලයෙන් පිටවූ බවත් ඔහු සොයාගැනීම තුර්කිය සතු වගකීමක් බවත් යැයි කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් තුර්කිය සෞදි අරාබිය විවේචනය කළේ ය. සෞදි අරාබිය තමන්ට පරීක්ෂණ කටයුතු සඳහා ප්‍රමාණවත් සහයක් ලබා නොදීම පිළිබඳ ද බරපතළ විවේචන තුර්කිය වෙතින් මතු විය. තුර්කිය පවසා සිටින්නේ කෂෝජි කොන්සල් කාර්යාලයට ඇතුළු වූ වහා ඔහුට පහර දී ඝාතනය කරන ලද බවටත් ඔහුගේ සිරුර කොටස්වලට වෙන් කර විනාශ කරන ලද බවටත් සාක්ෂි තිබෙන බව ය.

මේ කරුණ පිළිබඳ කටාරයේ අල් ජසීරා පුවත් සේවය දිගින් දිගට ම සෞදි අරාබිය විවේචනය කරන අතරවාරයේ සෞදි ජනමාධ්‍ය තම රජයට සුදු හුණු ගෑමේ ක්‍රියාවලියක ද නිරත වේ.

බින් සල්මාන්ගේ නිරුවත

මේ සිද්ධියේ දී සෞදි රජය බරපතළ චෝදනාවන්ට ලක් වී ඇති අතර එයින් ගැලවීම පහසු බව නොපෙනේ. ප්‍රතිසංස්කරණවාදියකු ලෙස තමන් දිනා සිටි ගෞරවය පුස්සක් බව මේ අතර කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පෙන්වා දී තිබේ. ඔහුගේ දූෂණ විරෝධී සටන මෙන්ම නව ප්‍රතිසංස්කරණ ද එක් අතකින් නවීන ලෝකය සමඟ ගමන් කිරීමට තමන් සූදානම් බව පෙන්වන ගමන් රජ පවුලේ මෙන්ම ආගමික සංස්ථාවේ ප්‍රබලයන් නිශේධ කිරීමේ දේශපාලන උපායයන් ද වූ බව දැන් වඩාත් පැහැදිලි ය.

සෞදි අරාබියේ නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ආයෝජන සමුළුව වර්ජනය කරන බව දේශපාලනික නායකත්වය, ව්‍යාපාරික ප්‍රජාව සහ ජාත්‍යන්තර මාධ්‍ය එකින් එක ප්‍රකාශ කරන අතරවාරයේ දී සෞදි අරාබියට දිගු කාලීන ආර්ථික අවාසියක් මේ තුලින් සිදු වේ යැයි සැකයක් ද මතුව තිබේ.

ඇමරිකන් ප්‍රතිපත්ති

කෂෝජි අතුරුදහන් වීම පිළිබඳ පරීක්ෂා කර ඊට සෞදි බලධාරීන් සම්බන්ධ වූයේ දැයි වාර්තා කරන ලෙස මින් දින කිහිපයකට පෙර ට්‍රම්ප් පාලනයෙන් ඇමරිකානු කොන්ග්‍රස් සභාව ඉල්ලා සිටියේ ය. මැග්නිට්ස්කි පනත නමින් හඳුන්වනු ලබන පනත යටතේ කිසියම් මානව හිමිකම් කඩවීමකට සම්බන්ධ අයකු වේ නම් ඔහු හෝ ඇයට එරෙහි සම්බාධක පැනවිය හැකිය. මේ අනුව එවැන්නන්ට ඇමරිකාවට පැමිණීම තහනම් කළ හැකි අතර ඔවුනට ඇමරිකාව සමඟ ව්‍යාපාර කිරීම තහනම් කිරීමට සහ ඔවුන්ගේ ගිණුම් ඇමරිකාවේ වේ නම් ඒවා අත්හිටුවීම ආදී පියවර ද ගැනීමට ඇමරිකානු බලධාරීන්ට හැකියාව ඇත. තත්ත්වය මෙසේ වුව ද සෞදි පාලනය මේ කිසිවකින් අධෛර්යය වන බවක් නොපෙනේ. ඔවුන් කෂෝජිට එරෙහි මෙහෙයුම ක්‍රියාත්මක කළේ මේ අවදානම පිළිබඳ හොඳාකාර ව දැනගෙන ය. එමෙන්ම එ් අවදානම, අවදානමක් නොවන බව දැනගෙන ය.

මීට මූලික හේතුව නම් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආකල්පය යි. ට්‍රම්ප් මුල දී සෞදි පාලනයට එරෙහිව තර්ජනාත්මක ප්‍රකාශයන් කළ ද එය නාටකයක් බව දැන් පැහැදිලි ය. විවිධ අවස්ථාවල විවිධ දේ පැවසූ නමුත්, ඔහු මූලික වශයෙන් සෞදි අරාබිය සමඟ වන සබඳතා පළුදු කරගැනීමට කැමැත්තක් නොමැත. මේ බව මෑතක දී ඔහු කළ ප්‍රකාශයකින් ද පැහැදිලි වූයේ ය. ඔහු සඳහන් කළේ ඇමරිකාව වෙත ඩොලර් බිලියන 110 ක් ළඟා වන ගනුදෙනුවක් අහිමි කරගැනීමට තමන් අකමැති බව ය. ඔහු ඒ අදහස් කළේ ඇමරිකාව සෞදි අරාබිය සමඟ මීළඟ වසර දහයක දී සිදු කිරීමට නියමිත අවි ගනුදෙනු පිළිබඳ ය.

ඇමරිකාව විසින් ඉරානය මත පැනවූ සම්බාධකවලින් තව කොටසක් මෑතක දී ක්‍රියාවට නැ‍ඟීමට නියමිත ය. ඉන්පසු ඉරානයට තෙල් අපනයනය ඉතා අසීරු වනු ඇත. එයින් තෙල් මිල වැඩිවීමේ අවදානමක් ඇති අතර එ් තත්ත්වය පාලනය කිරීම සඳහා ඇමරිකාව සෞදි සහය බලාපොරොත්තු වෙයි.

මේ සියලු කරුණු මත, ඇමරිකාව සෞදි අරාබිය උරණ කරගැනීමට සූදානම් නැත. මෙය සෞදි අරාබිය හොඳාකාරවම දනී.

ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සෞදි රජු සල්මාන් සහ කිරුළ හිමි බින් සල්මාන් සමඟ සාකච්ඡා කළ බව ප්‍රකාශ කළේ ය. ඔවුන් ඒ පිළිබඳ දැන නොසිටි බව තමන්ට පැවසූ බවත් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය. මේ අතර මේ පිළිබඳ සාකච්ඡා කිරීමට තකහනියක් සෞදි අරාබියට සංචාරය කළ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ද කියා සිටියේ බින් සල්මාන් කුමරු වරදකරුවකු යැයි ඔප්පු වනතුරු ඔහු නිවැරදිකරුවකු බව අනුමාන කළ යුතු බව යි. බින් සල්මාන්ගේ ආරක්ෂාව පිණිස ගොඩනගාගත් ප්‍රලාපය වූයේ කෂෝජි මෙහෙයුම ඔහුගේ අනුදැනුමකින් තොරව සිදු වූවක් බව ය. එම අදහසට අනුව ඔක්තෝබර් දෙවන දා හිමිදිරියේ දී 15 දෙනකුගෙන් යුත් ඝාතක කල්ලියක් කුලියට ගත් ගුවන් යානයකින් ඉස්තාන්බුල් වෙත පැමිණියේ ද, එදිනම ආපසු ගියේ ද, ඒ අතරවාරයේ සෞදි කොන්සල් කාර් යාලය තුල මනුෂ්‍ය ඝාතනයක් කර එම සිරුර විනාශ කළේ ද සෞදි අරාබි පාලන තන්ත්‍රයේ බලාධිකාරයා වන බින් සල්මාන් නොදැන ය.

තෙල් බැරලය ඩොලර් 200ක්

කෂෝජි ඝාතනය පිළිබඳ චෝදනා නොවැළැක්විය හැකි ලෙස සෞදි අරාබිය වෙත එල්ල වෙද් දී ට්‍රම්ප් ඉඳහිට එරටට එරෙහිව බරපතළ පියවර ගන්නා බවට ද තර්ජනය කරයි. වැරදීමකින් හෝ ඇමරිකාව සෞදි අරාබියට එරෙහිව සම් බාධක පනවන්නේ නම් ඊට ද සෞදි අරාබිය සූදානම් ය. මේ බව පැහැදිලි කළේ සෞදියේ අල් අරබියා පුවත් සේවයේ සාමාන්‍යාධිකාරී තුර්කි අල්දකීල් ය. ඔහු පවසන පරිදි ඇමරිකාව සෞදි අරාබියට එරෙහිව කටයුතු කළහොත් ඊට දරුණු ලෙස ප්‍රතික්‍රියා දැක්වීමට සෞදි අරාබිය ද සූදානම් ය. ඔහු සඳහන් කරන පරිදි ඉරානය සමඟ වන විරසකය නිමා කොට එරට හා සබඳතා ඇති කරගැනීමට මෙන්ම හිස්බුල්ලා සහ හමාස් වැනි සංවිධාන සමඟ කටයුතු කිරීමට වුවද සෞදි අරාබිය සූදානම් ය. එමෙන්ම සෞදි අරාබිය ඇමරිකානු අවි මිලට ගැනීම නවතා දමා චීනයෙන් සහ රුසියාවෙන් අවි මිලට ගනු ඇත. තවද, තෙල් මිල ආයුධයක් කරගැනීමට ද සෞදි අරාබිය පසුබට නොවන බව අල්ද්කීල් ප්‍රකාශ කරයි.

ඒ අනුව තෙල් බැරලයක මිල ඩොලර් 100 ක් දක්වා වැඩි වනු ඇති අතර අවශ්‍ය නම් එය ඩොලර් 200 දක්වා වැඩි කිරීමට හැකි බව ඔහු කියයි. ඊට අමතරව ඩොලර් වෙනුවට චීන යුවාන්වලින් තෙල් ගනුදෙනු කිරීමට සෞදිය සූදානම් ය.

මේ සියල්ලට අමතරව ඊශ්‍රායල සහ ජෝර්දාන රාජ්‍යයන්ට වැඩි දුරක් නොමැති ටබුක් ප්‍රදේශයේ රුසියානු හමුදා කඳවුරක් ඉදි කිරීමට අවසර ලබා දීමට ද සෞදි අරාබිය සූදානම් ය.

මේ සෞදිය විසින් ගනු ඇති පියවරයන් අතුරින් සමහරක් පමණක් බව කියා සිටින අල්දකීල් පෙන්වා දෙන්නේ සෞදි අරාබිය නොසෙල්විය හැකි බව යි.

මේ තර්ජන ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට සෞදි අරාබිය සූදානම් නැත. ඊට වඩා පහසු කාරණය වන්නේ ඇමරිකානු මිත්‍රත්වය ආරක්ෂා කරගැනීම ය. නමුත් යම් හෙයකින් එම මිත්‍රත්වය පළුදු වුවහොත් මෙවන් පියවර ගැනීමට වුවද සෞදියට හැකියාව ඇත. ප්‍රතිසංස්කරණවාදී මුහුණුවරක් පෙන්වමින් රට තුල විරුද්ධවාදීන් මර්ධනය කරන්නට මෙන්ම ඝාතනය කරන්නට ද බින් සල්මාන් පසුබට නොවන්නේ එහෙයිනි. ඇමරිකාවේ තර්ජනයන්ට පවා සෞදි අරාබිය බිය නැත.

Comments