
කාලයෙන් කාලයට
වෙනස්කම් සිදුවෙයි.
ඒවා අභියෝග සේ සැලකීම සුදුසුය. සාර්ථක සේ මුහුණ දෙන සමාජ ඉදිරියට යයි. ඒවායෙන් අවස්ථාව
සම්පාදනය කර ගනී.
යුගයට අනුව ගැළපෙන ප්‍රතිපත්ති සකස් කරන
රටවල් සංවර්ධිත
තත්ත්වයට පත් වෙයි.
අප ජීවිත තුළ විශාල ආර්ථීක සහ සමාජ පරිවර්තනයක් සිදුවෙමින් තිබේ. එය ප්‍රතික්ෂේප කළ නොහැකි විශාල පරාසයක විහිදී ගිය ව්‍යුහයකි. තවත් වසර විස්සකින් ශ්‍රී ලංකාවේ මහා මාර්ගවල එන්ජින් රහිත වාහන බහුල වනු ඇත. දැන් පවතින විදුලි කාර් භාවිතය වේගවත්ව පැතිරෙන්නට ඉඩ තිබේ. වසර 2040 වන විට ඩීසල් හෝ පෙට්‍රල් භාවිතා කරන වාහන ආනයනය තහනම් කරන බව පසුගිය අය වැය ලේඛනය පැහැදිලිව කියා සිටියේය.
ඉන්ධන භාවිතා නොකරන වාහන වල සේවා නඩත්තුවක් නැත. සේවා ස්ථාන අර්බුදයකට පත් විය හැකිය. එන්ජිම රහිත නම් අලුත් වැඩියා කරන්නේ කෙසේද? රට පුරා ඇති වාහන අලූත්වැඩියා ස්ථාන වලට වෙන අතක් බලා ගන්නට සිදුවෙයි. රට පුරා ඇති ඉන්ධන බෙදා හරින මධ්‍යස්ථානවලට අත්පත් වන ඉරණම කුමක්ද? ඉන්ධන බෙදාහැරීම දෙපැයක් අඩාළ වුවහොත් දැනට පවතින විරෝධය අනාගතයේ කිසිසේත් බලාපොරොත්තු විය නොහැකිය.
කල්පනා කළ යුතු තවත් පැත්තක් තිබේ. රියැදුරන් නැතිව ධාවනය කළ හැකි වාහන ජාත්‍යන්තරයේ අත්හදා බලමින් සිටී. ඇමරිකාවේ ටෙස්ලා සමාගම දැන් නිපදවා ඇති රථය එන්ජිමක් නැති අතර අවශ්‍ය ඕනෑම වේලාවක පරිගණක පද්ධතියක් සම්බන්ධ කරගෙන ස්වයංක්‍රීය ධාවන ක්‍රමයකට හැරවිය හැකිය. ඇමරිකාවේ මෙම වාහන අත්හදා බලා තිබේ. නිව්යෝක් හා වොෂිංටන් අතර ධාවනය කර සාර්ථක වී තිබේ. ජපානයේ පැවැත්වෙන ඉදිරි ඔලිම්පික් තරගාවලියේ දී ක්‍රීඩකයන් ප්‍රවාහනය කරන්නේ රියැදුරන් නැති වාහන වලින් බව ප්‍රකාශ වී ඇත.
මෙරට මාර්ග පද්ධතිය සකස් කළහොත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක රියැදුරන් රහිතව ධාවනය කළ හැකි වාහන ගණනාවක් දැන් ශ්‍රී ලංකාවට ද ආනයනය කර තිබේ.
ගරාජ් වැඩ පොළ, සේවා ස්ථාන, ඉන්ධන බෙදාහැරීම සහ රියැදුරු යන ක්ෂේත්‍ර පරිවර්තනයකට ලක්වන එක ක්ෂේත්‍රයක් පමණකි. මේවායේ විවිධ වෘත්තීන් හි නිරත පිරිස වෙනුවෙන් විකල්ප අවස්ථා සොයන්නට සිදුවෙයි. එය ජන සමාජයේ සිදුවන වෙනස්කමකි. මෙරටට පමණක් නොව ලෝකයේ සෑම රටකටම මුහුණ දෙන්නට සිදුවන තත්ත්වයකි. එහෙම වෙනස්කම් වලට ඉඩ දිය යුතු නැති බව කියා උද්ඝෝෂණය කරන්නට දේශපාලනඥයන් හා වෘත්තීය සමිති සූදානම් ද?
කාලයෙන් කාලයට වෙනස්කම් සිදුවෙයි. ඒවා අභියෝග සේ සැලකීම සුදුසුය. සාර්ථක සේ මුහුණ දෙන සමාජ ඉදිරියට යයි. ඒවායෙන් අවස්ථාව සම්පාදනය කර ගනී. යුගයට අනුව ගැළපෙන ප්‍රතිපත්ති සකස් කරන රටවල් සංවර්ධිත තත්ත්වයට පත් වෙයි.
ආනයන සම්බන්ධයෙන් මතු වී ඇති ස්වභාවය ද එවැනි ව්‍යුහයකින් තේරුම් ගත යුතුය. රටට තාවකාලික ප්‍රශ්නයක් පැන නැඟී තිබේ. එය විදේශ විනිමය සම්බන්ධ ගැටලුවකි. රටක් දියුණු වන විට නොයෙක් රටවල් වලින් භාණ්ඩ හා සේවා ගෙන්වා ගැනීමට සිදුවෙයි. ජනතාවගේ ජීවන මට්ටම ඉහළ යන තරමට පිටරට දේ පරිභෝජනය වැඩිවෙයි. ඒවා ගෙන්වන්නට විනිමය අවශ්‍යය. පසුගිය අවුරුද්දේ ඇමරිකානු ඩොලර් බිලියන 21 භාණ්ඩ රටට ආනයනය කරන විට ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම ඇමරිකානු ඩොලර් බිලියන 11.4 කි. එකක් අතේ තියාගෙන දෙකක් ගෙන්වන විට අඩු ප්‍රමාණය සම්පූර්ණ කරන්නේ කෙසේද?
ඒ ප්‍රශ්නයට උත්තර දෙකක් තිබේ. එකක් ගෙන්වන ප්‍රමාණය අඩු කිරීමය. අනෙක මෙරටින් විකුණන දේ වැඩි කර වැඩිපුර විනිමය උපයා ගැනීමය. ඉක්මනින් විනිමය ඉපැයීම් තර කරගැනීමට හැකියාවක් නැත. එයට කාලයක් ගත වෙයි. නමුත් අපහසුතා ඉදිරියේ රටින් ගෙන්වන දේ තාවකාලිකව පාලනය කළ හැකිය. එය අතේ ඇති මුදලට භාණ්ඩ ගැනීමට තීරණය කිරීමකි.
ආනයන තාවකාලිකව පාලනය කිරීම ශ්‍රී ලංකාවේ ජන සමාජය සම්පූර්ණයෙන් අර්බුදයකට පත්වීමක් ද? වාහන සම්බන්ධයෙන් සිදුවිය හැකි පරිවර්ථනය මුලින් සාකච්ඡා කළේය. තාවකාලිකව පාලනය හා සසඳන විට එයින් සිදුවන බලපෑම විශාල පරාසයක් පුරා පැතිරෙන එකකි. ආනයන වෙනුවෙන් වැය කරන මුදලින් ඇමරිකානු ඩොලර් බිලියන තුන හතරක් ඉතිරි කරගන්නට දරන ආණ්ඩුවේ උත්සාහය භයානක එකක් ද? ආණ්ඩුව ක්‍රියාත්මක වන ආකාරය තුළ යුක්ති සහගත බව හා කැපවීම අවශ්‍යය. සාමාන්‍ය පොදු ජනතාවට එල්ල වන හිරිහැරය අවම කළ යුතුය. සමාජයේ ඉහළ ස්ථරයේ සිට සියලු දෙනාම මෙම තාවකාලික අර්බුදය පාලනය කරගන්නට කැප විය යුතුය. ආණ්ඩුව ද විනිමය පරෙස්සමෙන් පරිහරණය කරන ක්‍රියා මාර්ගවලට අවතීර්ණ විය යුතුව තිබේ. ආනයන පාලනය කරන මෙවලම් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත. නමුත් වාහන ආනයනය සඳහා විදේශ මුදල් අයැදුම් කිරීමේ දී වාහනයේ වටිනාකම හා සමාන මුදල් ගෙවීමට නියම කළේය. එය වාහන ආනයන කිරීමේ දී පැවැති ලිහිල් බව සීමා කිරීමකි.
විදුලිය මෙවලම්, පාවහන් ඇතුළු දේ ආනයනකරුවන්ට ණයවර නිකුත් කිරීම අත ඇති මුදල් වලට පමණක් සීමා කරන තීරණ ප්‍රකාශයට පත්ව තිබේ. පාවිච්චි කළ යන්ත්‍ර සූත්‍ර හා මෙවලම් ගෙන්වීම පාලනය කරන්නට ඉඩ කඩ ඇත. ලෝකයේ නොයෙක් රටවල් වල භාවිතා කළ වායු සමීකරණ, ශීතකරණ හා රෙදි සෝදන යන්ත්‍ර මෙරටට ගෙන්වා තිබේ. ලී බඩු හා ගෘහ භාණ්ඩ ද අති විශාල වශයෙන් ගෙන්වන බව වෙළඳ පොළ වාර්තා පෙන්වයි. රටට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වාහන කෑලි ගෙන්වා තිබේ. ඒවාට වියදම් වන විනිමය රට ප්‍රශ්නයක් ඇති අවස්ථාවක දී නැවත සමාලෝචනය සුදුසුය. කෙටි කාලීන පාලනය පමණක් නොව දීර්ඝ කාලීන විසඳූම ඉතා වැදගත්ය. මුදල් අමාත්‍යංශය පෙන්වා දෙන අන්දමට ආනයන පාලනය තාවකාලික පියවරකි. වසර අවසන් වන විට එය ඉවත් කෙරේ. එහෙත් ආනයනවලට ප්‍රමාණවත් තරමට විදේශ සම්පත් උපයා ගැනීම අත්හැරිය යුතු නැති වගකීමකි.
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පසුබිම විනිමය හිඟයයි. හදිසියේ එවැනි තත්ත්වයක් නිර්මාණය වූයේ ආනයන ආදායම පදනම් කරගනිමින්ය. එයට බලපෑ බාහිර සාධකය ඇමරිකාව අනුගමනය කරන ප්‍රතිපත්තියයි. ඉරානයට සම්බාධක පනවා තිබේ. එය මෙරට තේ වෙළඳාම අඩාළ කර ඇත. 2016 වසරේ දී සියයට 21 කින් හා 2017 වසරේ දී සියයට 20 කින් මෙරටින් කරන ඉරානයේ තේ මිල දී ගැනීම අඩු බව වාර්තා පෙන්වයි.
අනපේක්ෂිත පරිදි බොරතෙල් මිල වැඩි වී ඇත. ඉන්දියාව, බ්‍රසීලය, කැනඩාව හා මෙක්සිකෝ යන රටවලට ඇමරිකාව කෙළින්ම බලපෑම් කර ඇත. චීන ඇමරිකා වෙළඳ ගැටුම ලෝක ආර්ථීකයට තවත් ප්‍රශ්නයක් ඇතුළු කර තිබෙන බව සඳහන් කළ යුතුය. මේවා පදනම් කරගෙන ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට එල්ල වන පීඩනය බරපතළය. තාවකාලික බරපතළ ප්‍රශ්න ඇති කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව දක්වන අන්දමට මෙරට ආයෝජනය කර තිබුණ ඩොලර් මිලියන 80,000 ක් පමණ පසුගිය කෙටි කාලය තුළ ඉවත් කරගෙන තිබේ. එය කොටස් වෙළඳ පොළට හා ආයෝජන වලට විශාල බලපෑම් එල්ල කර තිඛෙන බව නොරහසකි.
අරපරෙස්සම වැදගත්ය. ලෝකයේ නොයෙක් රටවල් වල විනිමය අනුපාත, ඛනිජ තෙල් මිල පදනම් කරගෙන ගැටලු මතු වී තිබේ. දුප්පත්කම වැඩි වන අතර සාමාන්‍ය ජනතාවට එදිනෙදා ආහාර පවා මිල දී ගත නොහැකි තත්ත්ව නිර්මාණය කර ඇති බව අනාවරණය වෙයි. පවතින ස්වභාවය තේරුම් ගෙන ආකල්ප වෙනසට සූදානම් වීම මෙහි දී ඉතාම වැදගත්ය.
අපනයන නැංවීම අරමුණු කරගෙන රටෙන් අලුත් නිෂ්පාදක පරපුරක් හඳුනාගත යුතුය. ව්‍යවසායකත්ව වැඩ සටහන අනුව මෙරට නිපදවන දේ වෙනුවෙන් වෙළඳ පොළ ආරක්ෂණවාදී ප්‍රතිපත්තියකට යා යුතුව තිබේ. එය නැවත නැවතත් අවධාරණය කළ යුතුය. නිෂ්පාදනය වැඩි කරන සාමූහික ප්‍රයත්නයකින් විනා ආනයන වියදම හා අපනයන ආදායමෙන් සිදු වී ඇති පරතරය සමබර කරගැනීමට හැකියාවක් නැත. පාලනය කිරීම හා සමානව එයින් ගැලවී යන අවස්ථාවක් වශයෙන්න අපනයන වර්ධනය කර ගැනීම වැදගත්ය.