
මනුෂ්‍ය වර්ගයාට සේවය කරන්නට උගතුන් මහා පණ්ඩිතයින් ධන කුවේර සිටුවරුන් මහා රාජ්‍ය පාලකයින් මහා සේනාධිපතිවරුන් වැනි ශ්‍රේෂ්ඨ මහා මිනිසුන් රටකට ස්වභාව ධර්මයා හෙවත් ආකාශචාරී ග්‍රහ දෙවියන් මවා දී ඇත්තේ අන්ත දුගී පවුල්වලය.
එය හරියට නොනිමි සුවඳ විහිදෙන නිර්මල කස්තුරි ඖෂධය මුවාගේ නැබෙන් හට ගන්නා සේය. දුප්පත් පවුලක උපත ලබන පුංචි දරුවෙකු කවර තරාතිරමේ කෙනෙක් වේදැයි කවරෙකුට ස්ථිරව නිශ්චය කළ හැකිද? අම්මා කෙනෙකුට තම දරුවා ලෝකයේ ඇති උතුම්ම වස්තුවයි. එය දෙවියන් දෙන දායාදයි.
දරුවන් නැති අම්මලා දෙවියන්ගෙන් ඉල්ලන්නේ එකම වස්තුව පින්වත් පුතෙකු තමන්ට ලබාදෙන ලෙසය. රටක පාලනය හෙට අද උපදින දරුවා අතේය. නිදහස් අධ්‍යාපනය මුදලට විකුණන ජාවාරම් කාරයින් ගුරුන් වී සිටින රටක සැම දරුවෙකුටම එක හා සමාන සැලකිල්ලක් දැක්වීම අපේ අධ්‍යාපනය කරන රාජ්‍ය බලධාරීන්ගේ සැලකිල්ල විය යුතුය. මේ වැකි ටික අද මා ලියන හස්ත රේඛා විද්‍යාවේ ටීකාව කරගන්නේ දරුවන්ගේ හා දරුවන් බිහි කරන අම්මලාගේ සාධාරණත්වය උදෙසා පාලයින්ගේ ඇස් රිදවීම උදෙසා ය.
“අද තොටිල්ල පදවන අත හෙට ලොව ආණ්ඩු කෙරේ” අපේ අම්මලා දෙස බලා පැරන්නෝ කීවේ නිකම්ම නොවේ. පෙර කරන ලද කුසලානු කුසල කර්ම පල අනුව අද උපදින දරුවා හෙට දවසේ ඒ අම්මා රජ මැඳුරකට කැඳවා ගෙන යන නිසාය. රජුන් තනන්නේ අම්මලාය.
අම්මා කෙනෙකුගේ අල්ලේ උතුම් දරු උපත් ගැන සටහන් වන්නේය. එය දරු ප්‍රාර්ථනා රේඛාවෝ ලෙස සැලකේ. සංසාරගතව මේ රේඛා එයි. විශේෂයෙන් අල්ලේ සිකුරු මංඩලයේ හා තවත් විටෙක බුද මංඩලයේත්, ගුරු මංඩලයේත් අල්ලේ දිව්‍යමය කොටස ලෙස සැලකෙන මාතෲ රේඛාවෙන් ඉහළ ඇඟිලි තුළත් සටහන් වේ. උතුම් පුත්‍ර රත්නයක් ලබන කාන්තාවකගේ අල්ලේ ගුරු මංඩලය සිකුරු වේ ශනි චන්ද්‍ර මංඩල උස්ව පිහිටයි. එවැනි අල්ලක ගුරු මංඩලයේ සංඛ ලක්ෂණය හෝ මලක ලක්ෂණය (පද්ම) චතුරශ්‍ර ලක්ෂණය නිතැතින්ම වැටේ. (අංක1) මාපට ඇඟිල්ලේ මුල දාරක දම්වැල් රේඛාවක් පිහිටයි අල්ලේ මැණික් කටුවේ රේඛා මත්ෂ්‍ය වල්ගයකට සමාන පෙනීමක් ඇතිවේ.
දෛව රේඛාව හෙවත් කර්මපල රේඛාව මැණික් කටුවෙන් පටන්ගෙන ශනි මංඩලය කරා කෙළින්ම ගමන් කරයි. (අංක 2-2) කාන්තා අල්ලක මෙවැනි ලක්ෂණය වැටුණ විට ඇය රජ මැඳුරකට ගෙන යන්නට තරම් වාසනා වන්තය.
මෙම රේඛාවට චන්ද්‍ර මංඩලයෙන් නැඟුණු රේඛාවක් වැටුණු විට ඇය යහපත් සැමියෙකු ලබන්නීය (අංක 3) බොහෝ විට ඇයගේ අල්ල තුළ ජීවන රේඛාව ගුරු මංඩලයට උස්ව වැටේ (අංක 4)
බොහෝ විට කර්මපල (ශනි රේඛාව) රේඛාව ගුරු මංඩලය මැදට ගමන් කරන්නේ නම් අසාමාන්‍ය බලයක් විශේෂිත දියුණුවක් ලබන බව සුප්‍රකට හස්ත රේඛා විශේෂඥයින්ගේ මතයයි. (අංක 5)
සාමුද්‍රිකා සෘෂි මතය අනුව වාසනා රේඛාව හෙවත් දෛව රේඛාව - කර්මපල රේඛාව ගුරු මංඩලය මැදට යාම ස්වභාවික චරිත ලක්ෂණයක් හෙවත් පරිසරයේ දර්ශනයෙන් ඉපිද ඉහළම හිණි පෙත්ත කරා යන්නෝය.
මෙම සමහරු දරුවන්ගේ වාසනාව ලෙස හුවා දක්වති. දඹරැඟිල්ලේ මුල පුරුකේ උඩු අතට වැටෙන රේඛාවෝ දාරක රේඛාවන්ය. (අංක 6)
එවැනි අල්ලේ ඇඟිලි සතර එක්කළ විට සිදුරක් නැත. එවැනි ඇඟිලි එක් කළ විට සිදුරක් නැතිව දැක්වීම භාරතීය සාමුද්‍රිකා සෘෂීන් විසින් බොහෝ වාසනා ගුණයෙන් පිරිපුන් සියලු සැප සම්පත් ලබමින් ජීවිත අග කාලයේදී ආඪ්‍ය වන පුද්ගලයින් ලෙස හඳුන්වා දී තිබේ. නියපොතු තඹවන් පැහැය ගන්නේය. එයද වාසනා ශක්තියේ ලකුණකි.
අල්ලක දෛව රේඛාවේ චතුරශ්‍ර ලක්ෂණය වැටීම විපත්ති කරදරවලින් වළකින ලකුණක් (අංක 7) කුඩා කාලයේ භයානක රෝග විපත්වලින් මිදුණු අත්ලක මේ ලකුණු දකින්නට ලැබේ.
බුදගේ පර්වතය බොහෝ වූ රේඛාවෝ වැටුණ විට බොහෝ දුගී මගී යාචකාදීන්ට දන් දුන් හා දැනටත් දාන - මාන දෙන අයෙකි (අංක 8) චන්ද්‍ර මංඩලයේ සිට වැටෙන චන්ද්‍ර කීර්ති රේඛාව දිව්‍යමය කීර්තියක් - ජාත්‍යන්තර තලයේ කීර්තිමත් පුද්ගලයෙකුට වැටේ (අංක 9) කාන්තා අල්ලක එම රේඛාව වැටුණු විට ශිල්පය - ධනය කීර්තිය ලබයි. නිරායාසයෙන්ම පෙර භවයේ පින් මතු කරන රේඛාවකි. උසස් දරුවන් බිහි කරන අම්මා වරුන්ගේ අල්ලේ මේ රේඛා දැක්වේ.
අම්මා කෙනෙකු ජීවිතයේ අග භාගයේ ප්‍රාර්ථනා කරන්නේ දන්දෙන්නටය. එය දූ පුතුන්ගේ ධනයෙන් ලබන වාසනාවකි. බුද මංඩලයේ රේඛා පිහිටන්නේ එවැනි පෙර වාසනාව ගෙනා අම්මලාය. සාම්රද්රික ඍෂීන් විසින් බුද මංඩලයේ වැටෙන රේඛා (8) සටහන් කර ඇත්තේ මහා ධානපති අයගේ අල්ලේ පිහිටන බවයි.
අල්ලේ සිකුරු හා කුජ (ප්‍රකෘති) මංඩලයත් මත සංඛ ලාංඡනය කිසියම් කාන්තාවකගේ අල්ලේ වැටුණු විට රටක් වටිනා රජෙක් හා සමාන පුතෙකු බිහි කරන්නේය. (අංක10) එහි මාළුවකුගේ ලකුණ වැටුණු විට මහා ධනවතෙක් බිහි කරන්නේය. පුන්කලස වැටුණු විට යස ඉසුරින් පිරුණු කීර්තිමත් ජන නායකයෙකු බිහි කරන්නේය. එවැනි අයගේ අල්ලේ මහපට ඇඟිල්ල මුල දාරක රේඛා එකමුතු දම්වැලකි. එහි ත්‍රිශූල - ත්‍රිකෝණ ලකුණු ද සංඛ ලාංඡන පිහිටයි. ඒවා උපදින දරුවා කවරෙකුදැයි හෙළිවන රේඛාවෝය.
නෙළුම් පත -චක්‍රය - ධජය හෙවත් කොඩිය ලොවක් පාලනය කරන නායක දරුවෙකු බිහි කරන තොටිල්ල පදවන අම්මලාගේ අත්වල වැටෙන රාජකීය ලක්ෂණ රේඛාවෝය.
ධර්මයට අනුව කරුණාව මෛත්‍රිය හද පුරවාගත් සිල් ගුණයෙන් පිරි මවුවරු රටට වාසනාව ගෙනන පින්වත් පුතුන් දූවරුන් බිහි කරති. ශනි මංඩලයේ ධර්ම චක්‍රය වැටුණු විට තපසට යන ලකුණකි. රවි මංඩලය තුළ වැටෙන තාරකා ලක්ෂණය දීප්තිමත් භාවය සමාජයෙන් ලබන ලකුණකි.රවි රේඛාව ධනය පමණක් නොව කීර්තියද බලයද ලබා දෙන්නේය.
මිනිස් අල්ලේ රවි ගේ බලය වෙද ගිල්ල මුලයි. රවි බලවත් අය උද්යෝගිමත් තේජවන්ත ගතියක් දක්වයි. නිර්භීතය. රවිත්- ගුරුත් එක්වීම බල සම්පන්නය. රවි ජොතිෂ්‍ය අනුව කේන්ද්‍රයක බලවත් ස්ථාන දෙකකි. ඒ නමය සහ දහයයි. රවි කවයේ සිටි විට ඒ තැනැත්තා පවුලේ සියලු දෙනාගේම නම් යටපත් කරගෙන ඉහළට යයි. රවි හයට වගේම නමයටත් ඇතිවන්නේ හොඳ පවුල් ජීවිතයකි. සතුරන් පරාජය කරයි. ජොතිෂ්‍ය විශාරදයින් කියා තිබෙන හැටියට රවී හයේ සිටින පුද්ගලයාට සතා සර්පයාත් භයය. ඥාති වර්ගයා අතර ප්රකටය. රවි දහයේ සිටින පුද්ගලයා ඉපදෙන්නේ ඉර මුදුන් වෙලාවටයි. මනුෂ්‍ය ජීවිතයක කර්මස්ථානය මෙතනයි. මෙතන මොන වැඩකින් හෝ දියුණු වන තැනයි. රවි මංඩලයේ ප්‍රබලම රේඛා වැටෙන්නේ මෙසේ බලවත් වූ අයටයි. රවිගේ ලක්ෂණය අල්ලේ වැටෙන තාරකාවයි. එය රවි මංඩලයේ මැද වැටුණු විට රවි දහයේය.
මාතෲ රේඛාවට නුදුරුව තාරකාව වැටුණ විට නම වැන්නේ රවිය. එවැන්නෝ ගුණ දහම් අගයන්නෝය.
ගුරු දිග්බල වූ විට ගුරුගේ ලාංඡනය ගුරු මංඩලයේ වැටේ එය හතරේ ඉලක්කමට සමානය. සාමුද්‍රිකා ඍෂිවර වසර දහස් ගණනකට පෙර අල්ලේ නව ග්‍රහයින් අතරින් හත් දෙනෙකුගේ බලගතු බව අල්ලේ වැටෙන රේඛා ලක්ෂණයන් වලින් කියා තිබුණේ එලෙසිනි.
කාන්තා හස්තයක තාරකා ලකුණ මාතෲ රේඛාව අසල පිහිටීම පින්වත් පුත්‍රයෙකු උපත ලබන ලකුණකි. එවැනි අම්මා කෙනෙකු වැටෙන්නේ පින් දහම් කළ අයෙකු ලෙසය.
හොඳ දෛව රේඛාවක් (වාසනා රේඛාව) ශීර්ෂ රේඛාවත් සමඟ එක් වූ ජීවන පීතෲ රේඛාවක් සමඟ රෝස වර්ණයෙන් බබළන අල්ලක් ඔවුනට පිහිටන්නේය.
ස්ත්රීන්ට චිත්තාකර්ෂණය දේහ ලක්ෂණ මෙන්ම ශංඛ - පද්ම ඡත්‍ර - ධජ - ස්වස්තික ලක්ෂණ ඇතිවන්නේ අන්‍ය ජන්මාන්තරයන්හි කරන ලද සුචරිත ක්‍රියා හේතු කොට ගෙනය. කර්මානුරූපව අග පසඟ ද පිහිටන්නේය. පින්වත් දරුවන් ඇතිවන්නේද පෙර ජන්මවලදී කරන ලද කුසල් හේතු කොට ගෙනය.
(ලබන කලාපයට)