44 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ සමස්ත ශූරතාව බස්නාහිරට | සිළුමිණ

44 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ සමස්ත ශූරතාව බස්නාහිරට

ගීෂා මුණසිංහ

පොලොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණ‍යේදී නිමා වු 44 වැනි ජාතික මහා ක්‍රීඩා ‍උලෙළේ සමස්ත ශූරතාව බස්නාහිර පළාත දිනා ගනිද්දී 9 වැනි වරටත් පිට පිට උස පැනීමේ රන් පදක්කමට උරුමකම් කී දකුණු පළාත නියෝජනය කළ මංජුල කුමාර දක්ෂතම ක්‍රීඩකයා ලෙස කුසලාන දිනාගත් අතර කාන්තා තුන්පිම්ම ඉසව්ව ජයගත් වයඹ පළාත නියෝජනය කළ හෂිනී ප්‍රබෝදා දක්ෂතම ක්‍රිඩීකාව ලෙස අභිෂේක ලැබීය.

ජවන හා පිටිය තරග ඉසව් වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1543 දෙනෙකු පළාත් 9 නියෝජනය කරමින් තරගාවලියට එක්ව සිටි අතර නිලධාරීහු 443 ක් ද ඊට එක්ව සිටියහ.

පළාත් සභා පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹි 44 වැනි ජාතික මහා ක්‍රීඩා ‍උලෙළේ ඔලිම්පික් පහන දැල්වීම 2013 වසරේදී ආසියානු ශූරතාවලියේදී මීටර් 400 සහාය දිවිමේ ඉසව්වේ සාමාජික කේ. කසුන් කල්හාර සෙනෙවිරත්න හා 2001 වසරේ පස්වන ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් කණ්ඩායමේ සාමාජිකා ඒ.ජී.එල්.ප්‍රියංගිකා විසින් සිදු කළ අතර පුරා දින හතරක් පොලොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී තරගාවලිය පැවැත්විය.

එක් තරග වාර්තාවකට පමණක් සීමා වූ 44 වැනි ජාතික මහා ක්‍රීඩා ‍උලෙළේ කැපීපෙනෙන සිදුවිම ලෙස දක්නට ති‍බුණේ ජාතික මහා ක්‍රීඩා තරගාවලියෙන් රන්පදක්කම් නමයක් දීනා සිටින මංජුල කුමාර තම රන් පදක්කම් එකතුවට තවත් රන් පදක්කම් දෙකක් එකතු කර ගැනීමටයි.

2011 වසරේදී පලමු වරට ජාතික මහා ක්‍රීඩා උලෙ‍ළ නියෝජනය කරමින් උස පැනිමේ තරග ඉසව්වෙන් අඛණ්ඩව නව වතාවක් ජාතික මහා ක්‍රීඩා රන් පදක්කම දිනාගැනීමට මංජුල සමත් විය. නමුත් ඔහු දක්ෂතම ක්‍රීඩකයා ලෙස හත්වන වරට කුසලාන දිනාගැනිම කැපීපෙනුණි. 2010 සිට 2015 දක්වා අඛණ්ඩව මංජුල දක්ෂතම ක්‍රිඩකයා විය. පසුගිය දෙවසරේදී මංජුලට දක්ෂතම ක්‍රීඩකයා වීමේ අවස්ථාව අහිමි විය. මෙය තරගාවලි ‍සුවිශේෂම සිදුවීමක් විය.

2014න් පසු තරගාවලියට එක් වු වයඹ පළාත නියෝජනය කළ චරිත් කපුකොටුව ක්‍රීඩකයා 44 වැනි ජාතික මහා ක්‍රීඩා ‍උලළේ මිටිය විසිකිරීමේ තරග ඉසව්වෙන් එකම තරගවාර්තාවට හිමිකම් කීය. යගුලිය හා කවපෙත්ත විසිකිරිමේ තරග ඉසව්ද නියෝජනය කළ කපුකොටුවට විරෝධතාවක් හේතුවෙන් යගුලිය විසිකිරීමේ පදක්කමද අහිමිවිය. චරිත් කපුකොටුව ඇමෙරිකාවේ සිට මෙවර තරගාවලියට එක් වු තරග කරුවෙක් විය. චරිත් විසින් බිදහෙළනු ලැබුවේ 2014 වසරේදී මීටර් 49.69ක දක්ෂතාවයක් සමගින් තබා තිබු වාර්තාවයි. ඔවුගේ නව වාර්තාවේ සටහන් වූයේ මීටර් 50.86ක දුරකී. 2015ව වසරේ සිට චරිත් ශ්‍රී ලංකා වාර්තාවටද (මීටර් 52.53) හිමිකම් කියයි.

පසුගිය වසරේ වේගවත්ම ධාවකයා වු ඩබ්ලිව්.පී.ඩී.කේ. විජේරත්න පරයා යමින් දකුණු පළාතේ විනෝජ් සුරංග තුන් වසරකට පසු මීටර් 100 ඉසව්ව තත්පර 10.73කින් නිමාකරමින් වසරේ වේගවත්ම ක්‍රීඩකයා වු අතර එම ඉසව්වේ ජාතික ශූරයා වු ඩබ්ලිව්.පී.ඩී.කේ. විජේරත්නට හිමි වුයේ සිව්වන ස්ථානයයි. වේගවත්ම කාන්තාව ලෙස මීටර් 100 ඉසව්ව තත්පර 11.94කින් නිමා කළ සබරගමුව පළාතේ රුමේෂිකා රත්නායක වේගවත්ම කාන්තාව විය. මීටර් 200 පිරිමි හා කාන්තා ඉසව්වලින්ද මේ දෙදෙනාම රන් පදක්කම් දිනාගැනීමට සමත් විය.

ජාතික මහා ක්‍රීඩා උලෙළේ නවක මුහුණු රැසක් පෙරට ඒමට සමත් වු අතර, පිට පිට පස්වතාවක් මීටර් 5000 ඉසව්ව ජයගෙන සිටි මධ්‍යම පළාතේ ලයනල් සමරජිව දෙවැනි තැනට ඇද දමමින් බස්නාහිර පළාතේ ආර්.එම්.එස්.පුෂ්පකුමාර එම ඉසව්ව ජයගත් අතර පිට පිට වසර 6ක් මීටර්10000 ඉසව්වෙන් ජයගෙන සිටි සමරජීවව දෙවැන්නා කරමින් මධ්‍යම පළාත නියෝජනය කළ කුමාර් ශන්මුගේෂ්වරන් ජය වාර්තා කළේය. මිටර් 400 කාන්තා කඩුලු පැනීමේ ඉසව්වෙන් පසුගිය වසරේ ජයග්‍රාහිකාව වු කෞශල්‍යා මධුෂානි දෙවැනි තැනට ඇද දැමු දකුණු පළාත නියෝජනය කළ ජි.ඒ.එස්. දුලානි රන් පදක්කමට හිමිකම් කී අතර තුන්පිම්ම කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකා සහ ජාතික ක්‍රීඩා උලෙළ වාර්තාවන්ට හිමිකම් කියන විදූෂා ලක්ෂානි දෙවැන්නා කිරීමට හෂිනි ප්‍රබෝධා සමත් වුහ. ඇය පැ දස්කම සමගින් ක්‍රීඩා උලළේ දක්ෂතම ක්‍රීඩිකාව වීමට ඇයට හැකි විය. කාන්තා හෙල්ල විසිකිරිමේ රන් පදක්කම වසර දෙකකට පසු යළිත් තමන් සතුකර ගැනීමට නදිකා ලක්මාලි සමත් වු අතර ඇය ඒ අනුව දසවැනි ජාතික රන්පදක්කමද හිමිකරගැනීමට සමත් විය. මිටිය විසි කිරීමේ ජාතික ශූරියවූ එස්.එම්.අමරසිංහ පරාජය කිරීමට පී.කේ.ඒ.ඒ.මධුවන්ති සමත්විම ද තරගාවලියේ කැපීපෙනෙන සිදුවිමක් වූහ.

38 වසරකට පසු මීටර් 400 පිරිමි සහය දිවීමේ ඉසව්වෙන් ඌව පළාත නියෝජනය කළ ක්‍රීඩකයන් ජයගැනීමට සමත් වු අතර දකුණු පළාත් ක්‍රීඩිකාවෝ වසර 12 කට පසුව මීටර් 100 සහාය රන් පදක්කමට හිමිකම් කීමට සමත් වූහ.

ඉඳුනිල් හේරත් පිට පිට තෙවන වරටත් මීටර් 800 පිරිමි ඉසව්වෙන් ජය වාර්තා කිරීමට සමත් වු අතර ඒ.එල්.ඒ. අයි. රත්නසේන මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් තෙවන වරටත් රන්පදක්කමට හිමිකම් කීමට සමත් විය. ජාතික ශූර ඉෂාර සඳරුවන් පිරිමි රිටි පැනීමේ ඉසව්වෙන් පස්වන වරටත් ජයගැනීමට සමත් වුහ.

ලංකා ආරියදාස අඛන්ඩව සිවුවන වරටත් මීටර් 10000 කාන්තා ඉසව්වෙන් ජයගත් අතර ඩබ්ලිව්.වී.එල්. සුගන්ධිකා තෙවැනි වටරටත් මීටර් 110 කඩුලු පැනීමේ ඉසව්වෙන් ජයගැනීමට සමත් විය. 6 වැනි වරටත් දකුණු ක්‍රීඩිකාවෝ මීටර් 400 සහාය දි‍විමේ ඉසව්වෙන් ජය ගැනීමට සමත් වුහ.

ගෘහස්ථ ක්‍රීඩා තරග ඉසව්වලින් ‍බොක්සිං තරගාවලියේදී රන්පදකම් 8ක් දිනා ගැනිමට බස්නාහිර පළාත සමත් වු අතර මධ්‍යම පළාතට රන් පදක්කම් 3ක්ද දකුණට, ඌවට, සබරගමුවට සහ නැගෙනහිරට එක් රන්පදක්කම මගින් බෙදී ගියේය. නෙට්බෝල් ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට බස්නාහිර පළාත සමත් වු අතර අවසන් තරගයේදී බස්නාහිර පළාත් කණ්ඩායම හමුවේ මධ්‍යම පළාත පරාජයට පත් විය. එමෙන්ම ඉතිහාසයේ පළමු වරට නෙට්බෝල් ලෝකඩ පදක්කමට හිමිකම් කීමට උතුරුමැද පළාත් කණ්ඩායම සමත් විය.

44 වැනි ජාතික මහා ක්‍රීඩා උලළේ දී බස්නාහිර පළාත් කණ්ඩායම රන් පදක්කම් 101ක්, රීදී පදක්කම් 86ක් සහා ලෝකඩ පදක්කම් 76ක් ලබාගනිමින් පදක්කම් 263ක් ලබා සමස්ත තරගාවලියෙන් ශූරතාව දිනාගැනීමට සමත් වු අතර රන් පදක්කම් 46ක් රීදී පදක්කම් 41ක් හා ලෝකඩ පදක්කම් 53ක් ලබාගනිමින් සමස්ත තරගාවලියෙන් පදක්කම් 140ක් ලබාගත් මධ්‍යම පළාත අනුශූරයෝ වූහ. රන් පදක්කම් 31ක් රීදී පදක්කම් 34ක් හා ලෝකඩ පදක්කම් 44ක්, සමස්ත පදක්කම් 109ක් දිනාගත් දකුණු පළාත තෙවන ස්ථානය හිමිකරගැනීමට සමත් විය.

අවසන් දින තරගාවලිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ ජය සංකේත ප්‍රදානය සිදු වු අතර එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා, ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය ශ්‍රීයානි විජේවික්‍රම මහත්මිය ඇතුළු පළාත් සභා ක්‍රීඩා ඇමැතිවරුන් සහභාගි වු අතර 44 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළ නිමා කිරීමේ සමාප්තිය නිවේදනය කිරීම ජනාධිපතිතුමා විසින් සිදු කෙරිණි.

ඡායාරූප - සඳරුවන් අමරසිංහ

 

Comments