
දකුණු අප්‍රිකානු සමාගමකට පවරා තිබූ රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම 2016 වසරේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පවරාගත යුතුව තිබුණත් එසේ පවරා නොගෙන එම සමාගමටම යළිත් ඒ මුද්‍රණ කටයුත්ත පවරා දීම හේතුවෙන් රජයට මසකට රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් අහිමි වී ඇතැයි රාජ්‍ය ගිණුම් කාරක සභාව (කෝපා) විසින් පෙන්වා දී ඇත. පසුගිය 11, 12 දිනවල පැවැති රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී මේ පිළිබඳව කාරක සභා සාමාජිකයන් විසින් දෙපාර්තමේන්තුව දැඩි දෝෂදර්ශනයට ලක් කර ඇති අතර, මහජන මුදල් කෝටි ගණනක් විදේශීය සමාගමට යෑමට අවකාශ සැලසීම සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද එහි සාමාජිකයෙක් සිළුමිණට කීය.
දකුණු අප්‍රිකාවේ ෆේස් ටෙක්නොලොජීස් සමාගමට පවරා තිබූ මේ ටෙන්ඩරය 2016 වසරේදී අවසන් වන විට, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ එම ව්‍යාපෘතිය මුළුමනින්ම දෙපාර්තමේන්තුව වෙත පවරාගැනීමට තීරණය වී තිබිණි.
ඒ අනුව අදාළ තාක්ෂණය මෙන්ම අදාළ සියලු උපකරණද කොන්ත්‍රාත්තුව නිම වූ වහා දෙපාර්තමේන්තුවට පවරා දීමට ගිවිසුම්ගතව තිබී ඇත. එසේ වුවද යළිත් එම සමාගමටම එම කටයුත්ත පැවරීමට දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කිරීම හේතුවෙන් මේ අතිවිශාල අලාභය සිදුව ඇති බවද එම වාර්තා වේ. ෆේස් ටෙක්නොලොජීස් සමාගමට රියැදුරු බලපත් මුද්‍රණය කිරීම සඳහා එක් බලපත්‍රයකට රුපියල් 1400ක් පමණ මුදලක් ගෙවිය යුතු අතර, මුදල් අමාත්‍යාංශය විසින් නිර්දේශ කර ඇත්තේ මේ බලපත්‍රයක් රුපියල් 300කට මුද්‍රණය කරගැනීමට මෙරට හැකියාව ඇති බවයි.
අදාළ සමාගමට කොන්ත්‍රාත්තුව දිගටම පැවරීම නිසා 2016 වසරේ සිට මේ දක්වා ආසන්න වශයෙන් රුපියල් කෝටි 250කට අධික මුදලක් රජයට අහිමි වී ඇතැයිද ගිණුම් කාරක සභාවේ එම සාමාජිකයා පෙන්වා දුන්නේය.
රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් අදාළ සභාවේදී දන්වා ඇත්තේ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමට සම්බන්ධ වන ආයතන සියල්ලෙහි නිලධාරීන් ප්‍රවාහන ආංශික අධීක්ෂණ කාරක සභාවට කැදඳවීමට කටයුතු කරන ලෙසත්, මේ කරුණ සම්බන්ධ වර්තමාන තත්ත්වය හා මෙය ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ වාර්තාවක් නොවැම්බර් 25 වැනිදා රාජ්‍ය ගිණුම්කාරක සභාවට ඉදිරිපත් කළ යුතු බවත් ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයාට දන්වා ඇත.
මේ සම්බන්ධව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජී.එස්. විතානගේ මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයෙන් (ICTA) රියැදුරු බලපත් මුද්‍රණය කිරීම ඉටු කරගැනීමට නොහැකි වූ නිසා අදාළ කොන්ත්‍රාත් කාලය කැබිනට් අනුමැතියෙන් පසු පවරා දීර්ඝ කළ බවයි.