ඉන්දියාව සමඟ ජනපති විරසක කරන කුමන්ත්‍රණය සජිත් හෙළි කරයි | සිළුමිණ

ඉන්දියාව සමඟ ජනපති විරසක කරන කුමන්ත්‍රණය සජිත් හෙළි කරයි

අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී ජනාධිපතිවරයා ඉන්දියාවට විරෝධය පළ කළ බවටත්, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ගැටුමක් ඇති වූ බවටත් කතාවක් නිර්මාණය කොට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරවීම දැවැන්ත කුමන්ත්‍රණයක් බව නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ ව්‍යාජ කතාව නිර්මාණය කොට ඉතා සංවිධානාත්මක ලෙස මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමට අදාළ පාර්ශ්ව කටයුතු කළ බවත්, එහි අරමුණ ඉන්දියාව ලක් රජය වෙත දක්වන දැවැන්ත සහයෝගය අඩපණ කිරීම සහ පවතින දැඩි මිත්‍රත්වය පළුදු කිරීම බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ පසුගියදා සූරියවැව අන්දරගම සරුජයගම විවෘත කිරීමේ උත්සවයේදීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා තමාද අදාළ කැබිනට් රැස්වීමට සහභාගී වූ බවත්, එහිදී කවුරුත් සාමූහිකව ඉතා සමඟියෙන් මෙන්ම ඉතා ගැඹුරින් රටේ අනාගතයට අදාළ කාරණා සාකච්ඡා කළ බවත්, මෙවැනි කුමන්ත්‍රණ නිර්මාණය කිරීමේ අරමුණ තමා ඉතා හොඳින් දන්නා බවත් සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා: “පහුගිය දිනක වරායේ නැ‍‍ඟෙනහිර පර්යන්තය හා බටහිර පර්යන්තය පිළිබඳ කතාවක් නිර්මාණය වුණා. සත්‍යය විකෘති කොට, ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ගහගන්නවා කියලා රටට විකුණුවා. පසුගිය සතියේ ඉන්දියානු මහකොමසාරිස්තුමා මේ හම්බන්තොට දිස්ත්‍රික්කයට ඇවිල්ලා මොකද කළේ කියලා ඔබට මතක ඇති. ගෙවල් හදන්න ලක්ෂ හයදාහක් දුන්නා. පළමුවැනි වතාවට නෙමෙයි දෙවැනි වතාවට දුන්නේ. කලින් දුන්නා ලක්ෂ හයදාහක්. ඊට පස්සෙත් දුන්නා ලක්ෂ හයදාහක්. ඔක්කොම ලක්ෂ දොළොස් දාහයි. ඒ මොහොතෙ එතුමා කිව්වා ගෙවල් හදන්න තව මුදල් දෙනවා කියලා; ගෙවල් හදන්න තව සහන දෙනවා කියලා. මේකට කොච්චර මාධ්‍යවල ප්‍රචාරයක් ලැබුණද? පුවත්පත් කීයක තමුන්නාන්සේලා මේක දැක්කද? මම නම් එකකවත් දැක්කෙ නැහැ.

“හැබැයි ඊට පස්සෙ දවස්දෙක තුනක් ගියාම අතිගරු ජනාධිපතිතුමා ඉන්දියාවට විරුද්ධයි, ශ්‍රී ලංකාව ඉන්දියාවට විරුද්ධයි කියලා කතා ගොඩක් නිර්මාණය වෙනවා.

දැන් රටේ ජනතාව විදියට මේ නිර්මාණය වන කුමන්ත්‍රණය මොකක්ද කියලා ඔබට තේරෙන්නේ නැද්ද? මේ බොරුව, අසත්‍ය, ටොම්පචය කේන්ද්‍ර කරගෙන බොරුව තුළින් ජය ගන්නට අපේ විරුද්ධවාදීන් දරන උත්සාහය. දැන් ඉන්දියාවෙන් තව දෙන්න හදනවා ගෙවල් හදන්න. අපේ රටේ ජනාධිපතිතුමා සහ අපේ රජය ඉන්දියාවට විරුද්ධයි කියලා විවිධ අය එක-එක කතා නිර්මාණය කරන්න හදනවා.

මම පැහැදිලිව කියන්න කැමැතියි අපේ ගරු ජනාධිපතිතුමා අපේ ගරු අගමැතිතුමා අපේ රජය ඉන්දියාවත් සමඟ බොහෝම සමීපව කටයුතු කරනවා. ඒ ආකාරයෙන් සමීපව කටයුතු කරන කොට ඉන්දියාවෙන් ගෙවල් හදන්න ණය මුදල් නෙමෙයි ආධාර මුදල් ලැබෙන කොට පැරදුණු කණ්ඩායමේ පාණ්ඩුකම්බල ශෛලාසනය රත් වෙනවා. ඒ අය කල්පනා කරන්නේ ඉන්දියාවෙන් ලැබෙන ආධාරවලින් කොච්චර මේ අහිංසක මිනිස්සුන්ට ගෙවල් හැදෙයිද? කොච්චර උදාගම් හැදෙයිද? ඒක මිනිසුන්ට කොච්චර සහනයක්ද කියල නෙමෙයි. ඒ අය හිතන්නේ කොහොම හරි මේ දේවල් නවත්තන්න; ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි අතර තියෙන මේ සම්බන්ධය නැති කරන්න. මොන විධියකින් හරි මේ දීගය නවත්තන්න; අපේ රටට ලැබෙන්න තියෙන නිවාස ආධාර ටික නවත්තන්න. ඒකට ගොතන්න පුළුවන් හොඳම කතාව තමයි රටේ රාජ්‍ය නායකයා ඉන්දියාවට විරුද්ධයි.

රටේ අග්‍රාමාත්‍යවරයයි ජනාධිපතිවරයයි ගහගන්නවා. මේක අවුල් ආණ්ඩුවක්. මේක කැඳ හැළියක්. මේ ආණ්ඩුව තුළ මොනවාවත් වෙන්නේ නැහැ. මේ විධියේ ටොම්පච මේ අය ගොතනවා.

“තමුන්නාන්ස්ලා මේ සත්‍යය අවබෝධ කරගන්න. මේ යථාර්ථය අවබෝධ කරගන්න. පහුගිය කාලේ වගේ ඉන්දියාවෙන් අපට ලැබෙන්නේ ගිනි පොලී ණය නොවෙයි, ආධාර. අපට ආධාර ලැබෙන්නේ ඉන්දියානු ජාතිකයින්ට ශ්‍රී ලංකාවේ ගෙවල් හදන්න නෙමෙයි. ඉඩම් නැති, ගෙවල් නැති ශ්‍රී ලාංකීය ජනතාවට. අපේ මේ ඒකීය රාජ්‍යයේ පුරවැසි පරපුරට. ඒ දූදරුවන්ට දෙමාපිය හිතමිතුරු ඥතීන්ට. ඉන්න හිටින්න නිවෙසක් නැති අයට. දෙයියනේ මේ ගෙවල් හදන්නයි ආධාර ලබාදෙන්නේ! එදා විවිධාකාරයේ විදේශීය රටවල් අපිට දුන්නේ ගිනි පොලී ණය. අද ඉන්දියාව ලබාදෙන්නේ ආධාර. කරුණාකරල මේ යථාර්ථය අවබෝධ කරගන්න.

මේ ණය ආධාර දෙන කොට අපේ විරුද්ධවාදීන්ට ලොකු කඩිකුලප්පුවක් හැදිලා තියෙනවා. මේ ණය ආධාර ලැබිලා ගෙවල් හැදුණොත් අපට එන්න තියෙන අවස්ථාව නැති වෙයිද? අපට දේශපාලනික වශයෙන් අවාසි වෙනවා නේද?

මේ මහා ආධාර තොගය ලැබිලා ජනතාවගේ ප්‍රශ්න නිරවුල් වුණොත් අපේ ඡන්ද පදනමට මොකද වෙන්නේ? ඒක අඩු වෙයි නේද? ඔන්න එහොම හිතලා තමයි ඒ අය කතා ගොතන්නේ. හොඳට මතක තියාගන්න ඒ ඔක්කොම නිර්මාණ. මේවා ලස්සන නිර්මාණ; විසිතුරු නිර්මාණ. ඔස්කාර් සම්මාන ලබාගන්න පුළුවන් ලස්සන චිත්‍රපට තමයි මේ අය නිපදවන්නේ. මේ ඔස්කාර් සම්මාන ලබන්න පුළුවන් චිත්‍රපටවලින් අපේ රටේ අතිශය බහුතරයක් රැවටෙනවා; මං මුළා වෙනවා.

“ඒ විදියට මං මුළා වෙලා තීණ්දුවක් ගත්තොත් වෙනත් අතකට යන්න මොකද වෙන්නේ? අවසානයේ පොදු ජනතාව අතරට යන්න තියෙන ඉඩම් ටික රජ පවුල අයිති කරගන්නවා. පොදු ජනතාවට ලැබෙන්න තියෙන නිවාස ටික නතර කරලා තමන්ගේ පවුලට බෙදාගත්ත ඉඩම්වල රජ මාලිගා හදනවා.

තමන් බලහත්කාරයෙන් අයිති කරගත්ත ඉඩම් අඩු මුදලට ලබාගෙන වැඩි මුදලට විදේශීය ව්‍යාපෘතිවලට විකුණනවා. මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය නැතුව වෙනසක් සිදු වී ඒකාධිපති පාලනයක් ආවොත් ඔබලා කැමතිද නැවත වතාවක් රාත්‍රී කෑම මේසයේ ප්‍රධාන මාතෘකාව තාත්තටද, භාර්යාවටද, පුතාටද, මිනිපිරීටද, ආච්චිටද, සීයටද කියන ඒ න්‍යාය පත්‍රය රටේ න්‍යාය පත්‍රය වෙනව දකින්න?

රටේ ජාතික න්‍යායපත්‍රයේ මුලටම තියෙන්න ඕනෑ මේ රටේ දුක්විඳන, රට-දැය වෙනුවෙන් ජීවිතය ඇප-කැප කරලා දහඩිය මහන්සියෙන් රටට සම්පත් උපයන, ගෘහසේවයට ගොස් දුක්විඳින අම්මලා, කම්කරුවා, ගොවියා, ධීවරයා, පොඩි මනුෂ්‍යයා, නැති-බැරි මනුෂ්‍යයා, රාජ්‍ය සේවකයා, මධ්‍යම පන්තිය මේ තමයි අපේ රටේ නිහඬ බහුතරය. අපි මුල්තැන දෙන්න ඕනෑ මේ අයටයි.

මේ රටේ ජනතාවගේ පැතුම වෙනසක් නම්, ඒ වෙනස ඇති කරන්න පුළුවන් ඔබලාගේ තීන්දුවෙන් පමණයි. හැබැයි ඒ වෙනස තුළින් අවසානයේ රජ වෙන්නේ ඔබලා නොවන බව හොඳට මතක තබාගන්න. සියලු දේ කේන්ද්‍රගත වන්නේ එක පවුලක් හා ඒ පවුල් පරම්පරාවේ සුඛවිහරණය තහවුරු කිරීම වෙනුවෙන් බව මතක තබාගන්න. එදාට එයයි මේ රටේ න්‍යායපත්‍රය වන්නේ.”

 

Comments