
මුලතිව් දිස්ත්‍රික්කයේ කුරුඳුමලේ නමින් හදුන්වන එහෙත් වංශ කතාවල කුරුන්දාවශෝක විහාරය නමින් ප්‍රකට පුරාවිද්‍යා ස්ථානය යළි තහවුරු කොට සංවර්ධනය කිරීමට ගිය ගමන මුලතිව් අධිකරණයෙන් නතර වී තිබේ.
පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් භික්ෂූන් වහන්සේ දෙනමක්ද සමඟ සැප්තැම්බර් මස පළමු වෙනිදා මුලතිව් තන්නිමුරුප්පු ප්‍රදේශයේ පිහිටි කුරුඳුමලේ බලා පිටත්ව ගියේ එම පළාත සඳහා වූ පුරාවිද්‍යා ස්ථානය පිහිටුවීමේ අරමුණිනි. ගමන සඳහා භික්ෂූන්වහන්සේ දෙනමක් එක්ව සිටියහ. පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු සඳහා නවාතැන් ගැනීමටත්, සංරක්ෂණයෙන් අනතුරුව යොදවන රැකවල් කරුවන්ට වලසුන් හා අලින් ගහන කැලෑවේ ආරක්ෂිතව රාජකාරි කරන්නට අවශ්‍ය තාවකාලික මඩුවක් උන්වහන්සේ විසින් පරිත්‍යාග කර තිබිණි. කුරුඳුමලේ පුදබිම දකින්නට කැමැති වූ ඒ හිමිවරුත් ගමනට එක්වී උන්හ. උන්වහන්සේලා ගමන් ගත් වාහනයේ අඟල් 13 පමණ උස බුද්ධ ප්‍රතිමාවක් විය.
අදාළ ප්‍රදේශය වෙත යමින් තිබුණු වාහන වල නානාවිධ දේ තිබිණි. එක් වාහනයක පුරාවිද්‍යා ස්ථානය ඉදිකිරීමට අවශ්‍ය ලී දඬුය. අනෙක් වාහනයේ කාර්යලයේ උපකරණය. තවත් වාහනයක වූයේ උදලු කැති අලවංගු වැනි උපකරණය.
මේ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයන් ඇතුළු පිරිසක් බෞද්ධ භික්ෂූන්වහන්සේවත් පුරාවිද්‍යා නිලධාරීනුත් එළවා දැමූහ. බැණ වදිමින් කියා සිටියේ ඒ පළාතට පුරාවිද්‍යාවක් අවශ්‍ය නොමැති බවය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඒ සඳහා අවසර ලබාදුන් අවසර පත්‍ර ඉල්ලමින් ඔවුන් කෑකෝ ගසන්නට වූහ.
පොලිසිය පැමිණීමෙන් පසුව පුරාවිද්‍යා නිලධාරීහු අදාළ ලියකියවිලි පොලිසියට බාර දුන්හ. ඒවා තමන්ට දෙන ලෙස ඉල්ලමින් දෙමළ දේශපාලනඥයෝ පොලිසියටද කෑගැසූහ. පළාතේ දෙමළ දේශපාලානඥයෙකු පොලිසියටද බැණවදිමින් කියා සිටියේ පොලිසිය පොලිසියේ රාජකාරිය කළ යුතු බවය.
නීත්‍යනුකූලභාවය, රාජ්‍ය දෙපාර්තමේන්තු සංකල්පය, බුදුදහම, බුදු පිළිමය, බෞද්ධ භික්ෂුන්වහන්සේ, පුරාවිද්‍යා ස්ථානය යන සියල්ලම ආරක්ෂා කිරීමට වඩා පොලිසියට මේ අවස්ථාවේදී සිදු වූයේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමටය.
පුරාවිද්‍යා නිලධාරීන්ගේ සංඛ්‍යාවට වඩා හයගුණයක පමණ පිරිසක් විරෝධතාකරුවෝ අතර වූහ. පොලිස් නිලධාරිහු තත්ත්වය පිළිබඳව පුරාවිද්‍යා නිලධාරීන්ට කරුණු පහදා දී ඔවුන්ව ආපහු හරවා යැවූහ. විරෝධතාකරුවෝ මුලතිව් ගොස් මුලතිව් අධිකරණයේ නඩුවක් ගොනු කළහ.
ඔවුන් කියා සිටියේ මේ පුරාවිද්‍යා ස්ථානය පිහිටුවනු ලැබුවහොත් පළාතේ ජනතාව කුපිත වී විශාල ප්‍රශ්නයක් ඇති විය හැකි බැවින් තාවකාලිකව මේ ක්‍රියාව නතර කරන මෙන් නියෝගයක් නිකුත් කරන ලෙසය. අධිකරණය පුරාවිද්‍යා කටයුතු නවත්වා නියෝගයක් නිකුත් කළේය.
එළඹෙන විසි දෙවනිදාට යළි විභාග වීමට නියමිත කුරුඳුමලේ නඩුවේදී මුලතිව් දිසා විනිසුරු එම්.සම්සුදීන් මහතා පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ මේ ස්ථානයේ සිදු කිරීමට යන කාර්ය සැලැස්ම හා සංවර්ධන කටයුතු පිළිබදව පූර්ණ වාර්තාවක් සපයා දෙන ලෙසය.
මේ ගැන විමසූ විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මුලතිව් කලාපයේ සහකාර අධ්‍යක්ෂ පියතිලක මහතා සඳහන් කළේ ඊළඟ නඩු වාරයේදී යම් සහනයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බවය.
''මේ ස්ථානයේ කාර්යාලය පිහිටුවා සිදු කිරීමට යන ක්‍රියාදාමයන් පිළිබදව ඊළඟ නඩුවාරයේදී තොරතුරු ඉදිරිපත් කරන ලෙස අධිකරණය දැනුම් දී තිබෙනවා. මේ පුරාවිද්‍යා ස්ථානය ගැසට් කළ පුරාවිද්‍යා ස්ථානයක් වන නිසාත් මේ පිළිබඳව කලින් අවසර ලබාගැනීමක් සිදුව ඇති නිසාත් මී ළඟ නඩුවාරයේදී මේ කටයුතු ඉදිරියට කරගෙන යෑමට අධිකරණයෙන් අවසර ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තුවෙන් සිටිනවා.
අධිකරණය මඟින් මේ ස්ථානයට යෑමට ඒමට පුරා විද්‍යා නිලධාරීන්ට තහනමක් පනවා නැහැ. මේ ස්ථානය පිළිබඳව තහවුරු කිරීමක් සිදු කරගන්නා තුරු ඒ පළාතේ සංවර්ධන කටයුතු සිදු කිරීම පමණයි අධිකරණය මගින් තහනම් කොට තිබෙන්නේ.'' යැයි එම නිලධාරියා පැවසීය.
හින්දු කෝවිල
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත එවැනි අධිකරණමය තහංචියක් පනවා ඇතත් ප්‍ර දේශයේ දේශපාලනඥයන්ගේ උපදෙස් පිට පළාතේ හින්දු ජනතාව විසින් මේ ස්ථානයේ ඉදි කරගෙන වන්දනාමාන කරන හින්දු කෝවිලට කිසිවෙකුගෙන් හෝ තහංචියක් පැනවී නැත. බෞද්ධ සිද්ධස්ථානයක පිළිගත හැකි නටබුන් ඇති මේ ස්ථානයේ හින්දු කෝවිලක් ඉදිවීම සම්බන්ධයෙන් අවම වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ ක්‍රියාත්මක වී නැත.
පසුගිය ඔක්තෝබර් මස පස් වැනිදා මේ හින්දු කෝවිලේ වාර්ෂික පොංගල් පූජාව සිදු කොට තිබේ. දැනට එම කෝවිලේ බාරකරු වඩිවේල් ශ්‍රී සුබ්‍රමනියම් කුරුක්කල්වරයාය. ඔහුගේ අදහසට අනුව මේ ස්ථානය හින්දු දහමට අයත් සිද්ධස්ථානයකි.
''අපි මේ තැනට පූජා තියන්නේ දැන් අවුරුදු හතළිහකටත් ඉස්සර වෙලා ඉඳලයි. මේක අපේ කෝවිලක්. අපිට මෙතැනින් විශාල පිහිටක් තියනවා. හැම හොඳ වැඩකටම යන අය මෙතැනට බාර වෙලා තමයි යන්නේ. ඒ කාටවත් වැරදිලා නෑ. ඒක නිසා මේ කෝවිල දැන් යුද්දෙන් පස්සේ දියුණු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
පළාතේ දෙමළ මන්ත්‍රීලා සේරම ආවා. ඒ අයත් උදව් කරන්නම් කිව්වා. අපි මෙතැන කිසිම නරක දෙයක් කරන්නේ නෑ. අඩුම ගානේ මස් මාංශවත් මෙතැන පාවිච්චි කරන්නේ නෑ. කෝවිලේ වැඩ විතරයි කරගෙන යන්නේ. ඒකට කවුරුවත් බාධා කරන්න අවශ්‍ය නෑනේ.''
කුරුක්කල්වරයාගේ එම ප්‍රකාශය පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තම්න්තුවේ මුලතිව් පළාත බාරව සිටින තවත් සහකාර අධ්‍යක්ෂවරයෙකු වන ආර්.ජී.ජේ.පී.ගුණතිලක මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ පළාතේ දෙමළ ජනතාව විසින් මේ ස්ථානය දෙමළ බෞද්ධ සිද්ධස්ථානයක් හැටියට විශ්වාස කරගෙන ඒ ස්ථානයේ පුදපූජා පාවත්වන බවයි.
''මේ පළාතේ අය කාලයක්ම මේ ස්ථානයේ ත්‍රිශූලයක් පිහිටුවා ආගමික වතාවත් කරගෙන යනවා. ඔවුන් විශ්වාස කරන්නේ මේ ස්ථානය දෙමළ බෞද්ධ සිද්ධස්ථානයක් හැටියටයි.
මේ තත්ත්වය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ප්‍රශ්නයක් වන්නේ නැහැ. අපි කරගෙන යන්නේ මේ ස්ථාන තහවුරු කොට සංරක්ෂණය කිරීමයි. ඒ උදවිය මේ ස්ථානය විනාශ කොට නැහැ. ඉදිරියේදී මේ කුරුඳුමලේ පුරාවිද්‍යා ස්ථානය පිහිටුවා අදාළ කටයුතු කරගෙන යනකොට මේ තිබෙන බාධකයන් ඉවත් වී යනවාට කිසිම සැකයක් නැහැ.
යුද්ධ කාලෙදි මේ පළාතට පුරාවිද්‍යා නිලධාරීන්ට පැමිණීමට හැකියාවක් තිබුණේ නැහැ. මේ නිසා ඒ ඒ පළාත් වල පදිංචි වෙලා හිටිය උදවිය මේ ස්ථාන ඔවුන්ගේ ආගමික ස්ථාන විදිහට සැලකීමක් කරගෙන වැදීම් පිදීම් කරගෙන ගොස් තිබෙනවා''
මේ තත්ත්වය ඇත්ත වශයෙන්ම ප්‍රායෝගික තත්ත්වයකි. එහෙත් වටහා ගත යුත්තේ සියවස් ගණනාවක් තිස්සේ මහා සංස්කෘතියක් ජීවමාන කරනා ඓතිහාසික සාධක මතු කරන කතාව පිළිගැනීමට තරම් උපේක්ෂාවක් රටක පුරවැසියන් තුළ තිබිය යුතු බවය. මක්නිසාද යත් මේ පෙළ ගැසෙන්නේ ඔවුන්ගේ ඉතිහාසයේ යථාර්ථය වන නිසාය. ශ්‍රී ලාංකිකයන් සියල්ලන්ම ඒ ඉතිහාසයේ කොටස්කරුවන් නිසාය.
කුරුඳුමලේ ඉතිහාසය
ජනප්‍රවාද වලට අනුව කුරුඳුමලේ බෞද්ධ සිද්ධස්ථානයේ ඉතිහාසය බුදුන් ධර්මාන කාලය තෙක් දිවෙයි. බුදුන්වහන්සේ නාගදීපයට වැඩම කළ අවස්ථාවේදී මේ ස්ථානයටද වැඩම කළ බවට බෞද්ධයෝ අදහති.
කුරුඳුමලේ ලෙස ව්‍යවහාරයේ පවතින මේ ස්ථානය කුරුන්දාවශෝක විහාරය ලෙස මහා වංශයෙහි සඳහන්ව ඇත. අට්ඨකතාවල වරින් වර ''කුරුන්දක'' ''කුරුන්ද'' යනුවෙන් සඳහන්ව ඇත්තේද මේ ස්ථානයමය.
ක්‍රි.ව.100 ත් 103 ත් අතර කාලයේ ලක්දිව රජකල ඛල්ලාඨනාග රජු විසින් මේ කුරුඳුමලේ විහාරය කරවන ලද බවටත්,ක්‍රි.ව.571 සිට 604 දක්වා කාලයේ රජ කළ පළමු වන විජයබාහු රජු සහ අනතුරුව රාජත්වයට පත් පිරිස් ක්‍රි.ව.(1055-1110) යන කාලවලදී කුරින්දි විහාරයට රාජ්‍යානුග්‍රහය දක්වන ලද බවටත් මහාවංශයේ තොරතුරු සඳහන් වෙයි.
1905 වසරේදී නිකුත් වූ පුරාවිද්‍යා වාර්තාවට අනුව කුරුන්දාවශෝක විහාරයේ කියවිය හැකි සෙල්ලිපියක් තිබූ බවට තොරතුරු වාර්තා වේ. තුන්වන මිහිදු රජු විසින් කරවන ලද එම සෙල්ලිපියේ කුරුන්දක විහාරය පිළිබඳව පූර්ණ විස්තරයක් සඳහන් බව පවසන පුරාවිද්‍යා වාර්තාව එකල මේ පළාත කුරුන්ගම වශයෙන් සඳහන්ව තිබූ බවද පෙන්වා දෙයි.
කුරුන්ගම වැවේ ජලය සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්නයක් සංසිඳුවීම පිණිස තුන්වන මිහිදු රජු සිය බිසව හා දියණිය සමග කුරුන්ගමට පැමිණි අවස්ථාවේදී එම සෙල්ලිපිය කර වූ බවත් එහි අක්ෂර හා යෙදුම් වල දෝෂ කීපයක්ම සෙල්ලිපිය පිහිටුවන අවස්ථාවේ සිදු වුවත් ඒවා නිවැරදි නොකරන ලෙස නියෝග කළ බවත් 1905 දී නිකුත් වූ පුරාවිද්‍යා පාලන වාර්තාවේ සදහන් වෙයි.
වර්තමානයේදී මේ කුරුඳුමලේ විහාරයේ නටබුන් අතර උස්බිම් ස්ථර කීපයක නෂ්ටාවශේෂයන් හා පැති බැමි ගණනාවක නෂ්ටාවශේෂයන්ද දැකිය හැකිය.
අඩි 140 ක විෂ්කම්භයකින් හා අඩි 21 ක උසින් යුතු කබොක් ගල් වලින් කරන ලද ස්ථූපයක නටබුන් මේ ස්ථානයේ දක්නට ලැබෙන අතර අනුරාධපුර මුල් යුගයට අයත් කැටයම් සහිත සදකඩපහණ, කොරවක්ගල් යනාදියද දැකිය හැකිය.
කබොක් ගල් වලින් කරන ලද බොහෝ නිර්මාණවල නටබුන් දැකිය හැකි කුරුඳුමලේ විහාරයේ දකුණු ප්‍රදේශයට වන්නට විශාල පොකුණක්ද දක්නට ලැබේ.
මුලතිව් පළාතෙන් හමු වී ඇති බෞද්ධ නටබුන් අතරින් අග්‍රගණ්‍ය නටබුන් පෙළක් දක්නට ලැබෙන මේ කුරුඳුමලේ විහාරය මුලතිව් තන්නිමුරුප්පුව රක්ෂිතයේ කුරුඳුමලේ හා තන්නිමුරුප්පු යන වැව් දෙකට මැදිව පිහිටා තිබේ.
මුලතිව් නගරයේ සිට බී-297 කෝකිලායි මාර්ගයේ අලම්පිල් දක්වා කිලෝ මීටර් 12 ක් ගමන් කොට එතැනින් කුමුලමුනේ දෙසට තවත් කිලෝ මීටර් 13 ක් ගමන් කරන විට මෙම කුරුඳුමලේ විහාරය හමුවෙයි.පිදුරංගල තරුණයන් ඇප නැතිව හිරේ යැවූ පුරාවිද්‍යා ආඥා පනත කුරුඳුමලේදී නැවී ඇඹරී ඇති අයුරු දකින විට දුක හිතෙයි. අනෙක් අතින් අපේ මිනිස්සුන්ගේ ආකල්පම දිළිඳුබව අප ශිෂ්ටාචාරයේ කුණුමුල්ලට දමා ඇති ආකාරය හිත කම්පා කරවයි. ලෝකයේ දියුණු ජාතීන් ඒ තත්වයට අත්පත් කරගත්තේ මිනිස්සුන්ට ගෞරව කිරීමෙනි. ඔවුන්ගේ සංස්කෘතීන් ඉවසීමෙනි.