අපිත් අහිංසාවාදි වුණා නම් මෙතරම් විනාශයක් වන්නේ නෑ | සිළුමිණ

අපිත් අහිංසාවාදි වුණා නම් මෙතරම් විනාශයක් වන්නේ නෑ

බලය තිබෙන්නේ ජනතාව අත බව ඒත්තු ගන්වන්නට මහාත්මා ගාන්ධි තුමා හට හැකි වූ අතර, අහිංසාවාදි ජනතා ව්‍යාපාරයක් මෙහෙයවන්නට ඔහුට හැකියාව ලැබුණු බවත්, දෙමළ නායකයන්ද අහිංසාවාදය අනුගමනය කළා නම් එදා යුද්ධයක් ඇති නොවන බවත් විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඉන්දියාව තුළ බ්‍රිතාන්‍ය ආකල්පය යම් තරමකට වෙනස් කරන්නට එතුමාට හැකි වූ බවත් කී ඔහු වර්ණභේදවාදයට එරෙහිව නෙල්සන් මැන්ඩෙලා කටයුතු කළාක් මෙන්ම මහාත්මා ගාන්ධි තුමාද තම පුරවැසියන් වෙනුවෙන් විශාල මෙහෙයක් සිදු කර ඇති බවද මෙහිදී කියා සිටියේය.

ශ්‍රී ලංකාව ඇතුළු රටවලට බටහිර ජාතීන්ගෙන් නිදහස ලබාගැනීමට මහාත්මා ගාන්ධි තුමාගේ අහිංසාවාදි ක්‍රියා පිළිවෙත විශාල පිටිවහලක් වූ බවත්, 1977 දී එක්සත් ජාතික පක්ෂය බලයට පත්ව ජේආර් ජයවර්ධන මහතා ජනාධිපති වූ පසුව ගාන්ධි තුමා කටයුතු කළ ආකාරයට අපද කටයුතු කළේ නම් වසර 30ක් පැවැති සන්නද්ධ අරගලය වළක්වාගන්නට හැකියාව තිබූ බවත් විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා පැවසීය.

1977දී උතුරු-නැ‍ඟෙනහිරට වැඩිම ආසන සංඛ්‍යාවක් තිබූ බවත්, එකල රජයට එරෙහිව සත්‍යග්‍රහ මාර්ගයෙන් විරෝධතා පෙන්වන්නට තිබුණත් එසේ නොකළ බවත්, දෙමළ නායකයන් අහිංසාවාදය අනුගමනය කළා නම් එදා යුද්ධයක් ඇති නොවන බවත් පැවසූ ඒ මහතා; එසේ වූයේ නම් මෙතරම් ජීවිත විනාශයක් සිදු නොවන බවද පෙන්වා දුන්නේය.

 

Comments