විදුලි දුම්රිය ව්‍යාපෘතියට ඇමැතිවරුන් සම්බන්ධ නැහැ | සිළුමිණ

විදුලි දුම්රිය ව්‍යාපෘතියට ඇමැතිවරුන් සම්බන්ධ නැහැ

පසුගියදා මාධ්‍ය මඟින් ආන්දෝලනයක් ඇති කළ අධිබලැති විදුලි දුම්රිය උපකරණ නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය ඇගැයීම හා ඊට අනුමැතිය දීමේ ක්‍රියාවලියේදී අදාළ අමාත්‍යවරයා හෝ අමාත්‍යාංශ නිලධාරීන් සම්බන්ධ නොවූ බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

එවැනි මහා පරිමාණ ව්‍යාප‍‍ෘති ඇගැය‍ීම හා ඊට අනුමැතිය ලබා දීමත්, ඒ ක්‍රියාවලිය මෙහෙයවීමත් පිණිස 2016 ‍දෙසැම්බර් මස කමිටුවක් පත් කර ඇත. මෙය ‘තනි කවුළු ආයෝජන අනුමත කිරීමේ කමිටුව’ ලෙස හැඳින්වෙන අතර, එහි ප්‍රධානත්වය භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් දරනු ලැබේ.

ඒ පිළිබඳ කටයුතු කරන්නේ ජනාධිපතිතුමාගේ ආර්ථික උපදේශක, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයාගේ තාක්ෂණික උපදේශක සහ අයෝජන මණ්ඩල සාමාජිකයකු ඇතුළත් ජ්‍යෙෂ්ඨ නිලධාරි කමිටුව මඟින් බවත් අමාත්‍යාංශය පවසයි.

මතභේදයට තුඩු දී ඇති අධිබලැති දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ මේ කමිටුව වැඩිපුර කරුණු විමසා ඇති අතර, එසේ කිරීමට සිදු වී ඇත්තේ එකී තනි කවුළු කමිටුව හමුවේ අදාළ ආයෝජකයන් ප්‍රමාණවත් තොරතුරු නොසැපයීමයි. ඒ අනුව මේ ව්‍යාපෘතියට අනුමැතිය දී නැති අතර, මේ ව්‍යාපෘතිය කිසි සේත් ප්‍රතික්ෂේප කොට නැත.

අදාළ තොරතුරු සැපයීම අත්‍යවශ්‍ය වන හෙයින්, මේ තොරතුරු සැපයුව හොත් අනුමැතිය දීමට සලකා බැලිය හැකි බවද අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.

 

Comments