
වෙනස සොබාදහමට අනුගතය. බෞද්ධ දර්ශනයෙන් බැලුවත් බටහිර විද්‍යාවෙන් බැලුවත් වෙනස ලෝක පැවැත්ම තුළ නියතයකි. අදාළ පරිසරයට, පසුබිමට අනුව වෙනස් නොවන්නේ නම් එහි පැවැත්මක්ද නැත. එය ජෛව ලෝකයටද වෙනත් භෞතික ලෝකවලටද පොදුය. චාමර මේ වෙනස ගැන අතිශයින්ම විශ්වාස කළේය. තමන් නියැළෙන පත්තර ලෝකය තුළ තම ලකුණ තිර කරන්නට නම් වෙනසක් අවැසි බව ඔහු තදින්ම විශ්වාස කළේය.
ඔහුගේ මේ වෙනස පුවත් පත් ලෝකය හැඩ කළේය. තරුණ පුවත් පත් කලාවේදියකු ලෙස ඔහුට මේ වෙනස වෙනුවෙන් ස්වර්ණමය වරම් දෙකක් හිමි විය. එකක් හෙළදිව පුවත් පත් අඹරට අලුත් පුවත්පත් තරුවක් එක් කිරීමය. ඒ ලේක්හවුසිය විසින් මීට මාස කිහිපයකට පෙර පටන් ගත් රැස පුවත් පතය. ඒ අනුව දිනපතා පුවත් පත් අතර වෙනස් පත්තරයක් එක් කිරීමට චාරමට හැකි විය. පුවත් පත් පාඨක ලෝකයට එකඟ වූ මේ වෙනස, රැස කිතුරැස පතුරන පුවත් පතක් බවට පත් කළේය.
ඔහු ලද දෙවැනි වරම වන්නේ වසර අසූ අටක් මුළුල්ලේ මෙරට මාධ්‍ය අඹර එළිය කරන සිළුමිණ පුවත් පත් ඔහු අතට පත්වීමය. ඒ පත්වීමද වෙනස්ය. එතෙක් සිළුමිණ කර්තෘත්වය දැරූ කතුවරුන් අතර ළාබාලතම කතුවරයා ලෙසින්ය. සිළුමිණ ද වෙනසක් සමඟ එළි දැක්වීම චාමරගේ අභිප්‍රාය විය.
දශකයකට එහා ගිය මිතු දමක් ඇති අප ද චාමර සමඟ එක් වන්නේ මේ වෙනස සඳහාය. ඔහු මේ වෙනසට සවිමත් පදනමක් දැම්මේය. රැස පුවත් පත මේ පදනම තුළ කෙටි කලක් තුළ විසල් පරාසයකට දිව යමින් සිටී. සිළුමිණ මේ වෙනස සමඟ නවමු මානයකට පාඨකයන් ගෙන යමින් සිටී. එහෙත් සොබා දහම කියාදෙන වෙනස් වීෙම් නියාමය චාමර වෙන ලොවකට ගෙන ගොසිනි. ඔහු එසේ අපෙන් ගෙන ගොස් අද (30 වැනිදා)ට හරියටම තෙමසකි. ඔහු අපෙන් වෙන් වෙන නිමිත්ත පෑදුණේ ද දෛවෝපගත දිනයකය. සිරිලක සංස්කෘතිය , සභ්‍යත්වය බුදු දහමින් දැවැන්ත වෙනසකට පත් වූ මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය වූ පොසොන් පුන් පෝ දින ඒ වෙනුවෙන් ලේක් හවුස් ආයතනය වාර්ෂිකව සංවිධානය කරන මිහින්තලා ආලෝක පූජා උතුම් පින්කමට සහභාගි වන්නට අනුරාධපුරයට ගොස් සිටියදී හදිසියේ අසනීප වූ චාමර තම අවසන් සුසුම් මා තලයට මුදා හලේ ජූනි 30 වැනිදාය.
මතුගම කන්නන්ගරයෙන් තම මූලික සිප් කළ චාමර කොලඹ විශ්ව විද්‍යාලයයෙන් තම උසස් අධ්‍යාපනය නිමවා මාධ්‍ය ලෝකයට එක් වන්නේ ඔහුට තවත් අවස්ථා ගණනාවක් තිබියදීය. ඒ ඔහු තුළ මාධ්‍ය කලාව කෙරහි තිබූ නොතිත් ආශාව නිසාය. ක්‍රීඩාව පිළිබඳ දැඩි ඇල්මක් සහිත මේ තරුණයා චාමර ලක්ෂාන් කුමාර ලෙස තම මාධ්‍ය ලකුණ මුලින්ම තබන්නේ ලක්බිම පුවත් පතිනි. එයින් පසුව දේශපාලනය, සමාජය ආර්ථිකය ඇතුළු සියලු ක්ෂේත්‍ර පිළිබඳව ඔහු තම පෑන හසුරුවන්නේ මුහුකුරා ගිය සහෘදයන්ටද නොදෙවෙනි ලෙසිනි. ඔහුගේ මේ අසිමිත දක්ෂතාව හේතුවෙන් රිවිර පුවත් පත ආරම්භයේදීම එහි දොර චාමර ලක්ෂාන් කුමාරට විවර විය. එයින් තවදුරටත් තම මාධ්‍ය පන්නරය ලද චාමර ඉරුදින පුවත් පතට සම්බන්ධ වන්නේ එහි නියෝජ්‍ය කර්තෘවරයා ලෙසය. තම නිසඟ කුසලතාවත් සතතාභ්‍යාසයත් හරහා කුසලතා වඩා ගන්නා ඔහුට පත්තර මහගෙදර දොරද විවර වෙයි. ඒ දිනමිණ පුවත් පතේ සම කර්තෘවරයකු ලෙසය. එයින් පසු සිළුමිණ පුවත් පතේද සම කර්තෘවරයා ලෙසින් පත්වන චාමරට ලේක්හවුස් වත්මන් සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා තවත් අභියෝගයක් දෙන්නේය. ඒ ආයතනය අලුතින්ම ආරම්භ කරන රැස පුවත් පතේ නායකත්වයයි. නොපැකිළව මේ අභියෝගය භාර ගත් චාමර එතැන් සිට කර්තෘවරයකු ලෙස තම ස්ථාවරත්වය තහවුරු කර ගන්නේ විශේෂයෙන්ම පාඨකයන් සතුටු වන පුවත් පතක් නිර්මාණය කිරීමෙනි. එමෙන්ම සියලු දේශපාලන පක්ෂ සිවිල් සමාජය, ව්‍යාපාර ලෝකය ඇතුළු සෑම පරාසයක් තුළම තම සබඳතා ගොඩ නඟන චාමර එයින් තනිකරම අපේක්ෂා කළේ තමා හෝ තම පෞද්ගලික ජීවිතය බබළවන්නට නොව තම සේවය දෙන පුවත් පත් එළිය කිරීමටය. සිළුමිණ කර්තෘත්වයද ඔහුට බාර වන්නේ මෙවැනි පසුබිමකය.
ඔහු සිළුමිණ පුවත් පත දැවැන්ත වෙනසකට ගෙන යාමට යෂ්ටිය අතට ගෙන දුවන්නට හැකි වූයේ පියවර කිහිපයක් පමණි. සොබා දහමේ වෙනස කුරිරු ලෙසින් අපත් චාමරගේ බිරිඳ, දරුවා සහ දෙමාපියන්ද සදාකාලික වේදනාවක ගිල්වා සොබා දහමේ වෙනසකට අප නොසිතූ ලෙසම රැගෙන ගියේය. අප නොදැනීම තෙමසක් ගත වුවද අදටද චාමර ඕනෑ වෙන අවස්ථා අපට පත්තර ජිවිතයේ තදින් දැනේ. එයද වේදනාත්මක වෙනසකි. මේ වේදනාත්මක වෙනස මකන්නට අදටද කෙනෙක් නැත. ඒ වෙනස අපට දරා ගැනීමද අසීරැය. අපි අතර සිදු වන නිරන්තර දුරකථන ඇමතුම්වලදී චාමර උඔ කොහේදැයි බොහෝ විට මගෙන් ඇසෙන පැනයකි. අදටද මගේ සිත නිතර නිතර මේ පැනයම අසයි. එහෙත් එයට පිළිතුරු දෙන්නට චාරමට හැර කාටවත් නොහැකිය. දයාබර මිතුර ඔබට නිවන් සුව.
චාමින්ද
ජූනි මස 30 වැනිද දින අප අතරින් වෙන් වූ සිළුමිණ සහ රැස පුවත් පත් කර්තෘ චාමර ලක්ෂාන් කුමාර මහතාගේ තෙමස් පූර්ණය වෙනුවෙන් පින්කම් මාලාවක් සිදු කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව ඒ මහතාගේ මතුගම ඇතුලත්මුදලිගම නිවසේ අද (30) සවස් යාමයේ ඇතුළත්මුදලිගම ශ්‍රි ජයබෝධි විහාරාධිපති බෝපිටියේ ධම්මවංශ නාමියින් විසින් සිදු කරනු ලබන ධර්ම දේශනාවක් පැවැත්වෙන අතර පසුදා සපිරිකර සංඝගත දක්ෂිණාවක් සංවිධානය කොට ඇත. එමෙන්ම චාමර ලක්ෂාන් මහතාගේ 40 වැනි උපන් දිනය යෙදෙන ඔක්තෝබර් මස 02 වැනිදා අටවිසි බුද්ධ පුජාවක් ඇතුලත්මුදලිගම විහාරයේදී පැවැත්වේ. සිළුමිණ සහ රැස කර්තෘ මණ්ඩල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් එදිනම කොළඹදීද පින්කමක් සිදු කිරීමට නියමිතය.