
දැනට දරුණු නියඟයෙන් පීඩා විඳින දිස්ත්‍රික්ක 14ක ගොවි පවුල් ලක්ෂ 4.5ක් සඳහා මසකට රුපියල් කෝටි 225ක් ලබාදීම ආරම්භ කළ බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා පවසයි.
ඒ යටතේ ඉහත දිස්ත්‍රික්කවල සෑම ගොවි පවුලකටම මසකට රුපියල් 5000ක වියළි සලාක සහනාධාර දීම දැන් ආරම්භ කර ඇතැයිද ඒ මහතා කීය.
ආපදා සහන මධ්‍යස්ථානය පවසන අන්දමට ජල හිඟය හේතුවෙන් 2016 මාස්, 2017 යල හා 2017 මාස් කන්නවල වී වගාවට හානි වූ හා වී වගා කිරීමට අපහසු වූ ගොවි ජනතාවටත්, නියඟය නිසා රැකියාව අහිමි වූ කෘෂිකාර්මික කම්කරුවන්ටත්, නියං ප්‍රදේශ ආශ්‍රිත මිරිදිය ධීවරයන්ටත් මේ නියං සහනාධාරය සැපයේ.
මේ සහනාධාර දිගටම සැපයීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුන් උපදෙස් අනුව රුපියල් කෝටි 900ක් වෙන් කර ඇති අතර, ඉදිරි සතියේදී පොලොන්නරුව, කුරුණෑගල, අනුරාධපුරය, පුත්තලම, මඩකලපුව, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, අම්පාර, වවුනියාව හා මොනරාගල වැනි දිස්ත්‍රික්කවල ගොවිජනතාවට වියළි සලාක ලබාදීම ආරම්භ කිරීමට නියමිතය.
පසුගිය සිකුරාදා වන විට දිස්ත්‍රික්ක 17ක පවුල් 311,275කට අයත් ලක්ෂ 11.5ක් පමණ පිරිසක් නියඟය නිසා පීඩා විඳිති. ඔවුන්ට පානීය ජලය සැපයීමට පමණක් රු. මිලියන 200ක් වැය කර ජල බවුසර් 405ක් ඉහත දිස්ත්‍රික්කවල යොදවා ඇති අතර, ලීටර් 1000 ජල ටැංකි විශාල ප්‍රමාණයක් මේ වන විට ලබා දී තිබේ.