
සංහිඳියාව, සහජීවනය, සාමය ආදී කොට ඇති තේමාවන් වලට එරෙහිව මිනිසුන් පෙළ ගස්වන
යුගයක තුවාල වූ මිනිස් සමාජය සුවපත් කිරීමට පෙරට පැමිණි උතුම් බුද්ධ පුත්‍රයකු අපට හමුවිය. වල්පොල රාහුල ආයතනය මගින් මේ උතුම්
සමාජ ශෝධන ක්‍රියාවලියට පණ පොවන
ඒ භික්ෂු රත්නය වනාහි කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමිපාණෝය.
• සංහිඳියාව යන්න ඔබ වහන්සේ දකින්නේ
කොහොමද?
මම සංහිඳියාව දකින්නේ බෞද්ධ පදනමකින්. අද සමාජය හඳුනාගෙන තිබෙන සංහිඳියා සංකල්පයට වඩා පුළුල් අර්ථයකින්. සංහිඳියාව කියනවාට මම කැමතියි. ඊට සුවපත් වීම කියන අර්ථය ලබාදීමට. බුද්ධ දේශනාවට අනුව උන්වහන්සේ සියලු පෘතග්ජනයා උන්මන්තකයන් විදිහටනේ හඳුන්වන්නේ. පෘතග්ජනභාවය ඉක්මවා යෑම තමයි සුවපත් වීම කියලා හඳුනාගන්න පුළුවන් වෙන්නේ.
අපේ රට ගත්තම වසර ගණනක් පුරා පැවති ගැටුමක් නිසා සමාජයේ විශාල පිරිසක් තුවාල සහිතවයි ජීවත් වෙන්නේ. ගැටුමට ඍජුව සම්බන්ධ වුණු දෙපාර්ශ්වයේ සාමාජිකයන් වගේම ඔවුන්ගේ පවුල්වල උදවිය , ඒ ප්‍රදේශවල ජීවත්වුණු මිනිසුන් පවා තුවාල සහිතයි. ඊටත් වඩා එම ගැටුමට ඍජු සම්බන්ධතාවයක් නොමැති වුවත් ඒ පිළිබඳ පුවත් ඇසීමෙන් , ඒ ගැටුම් පිළිබඳ සාකච්ජා කිරීමෙන් මුළු සමාජයම තුවාල සහිතවයි ජීවත් වන්නේ.
සාමාන්‍යයෙන් වසර සියයක් තුළ දරුණු ගැටුමකට ලක් නොවුණු සමාජයක් ගත්තම එවැනි සමාජයක මිනිසුන් සුවපත් භාවයෙන් යුක්තව ජීවත් වන්නේ’. එවැනි සමාජයක ලේ වැගිරීම්, හිංසා කිරීම් , පිළිබඳ සාකච්ජා වෙන්නේ නැහැ. එම සිදුවීම්වලට වටිනාකමක් ලබා දෙන්නේ නැහැ. එහෙත් ලංකාව ගත්තම 1948 නිදහස ලැබීමෙන් පසු 1958 දී , 1971 දී, 1983 දී සිට 2009 දක්වා , 1988 - 1990 දක්වා දරුණු ලේ වැගිරීම් ගණනාවකට මුහුණ දුන්නා.
අපි ගොඩනැඟිලාම තියෙන්නේ විශාල වශයෙන් ලේ වැගිරීම් සිදුවන පරිසරයක. ඒ නිසා මේ රටේ මිනිසුන් දරුණු තුවාල සහිතවයි ජීවත් වෙන්නේ. නමුත් අප සමාජයේ කිසිවෙකු තමන් තුවාල සහිතව ජීවත් වන බවට අවබෝධයක් නැහැ. ඒ නිසා ආයේ තුවාල සිදු කර ගැනීමේ මානසිකත්වයකයි ජීවත් වෙන්නේ. ඒ නිසා තමයි 2009 ගැටුම අවසාන වෙලා වසර පහකටත් අඩු කාලයකදී අලුත්ගම ගැටුම ඇති වුණේ. ඊට පසු මහනුවර ගැටුම. අප සමාජය ගැටුම් අපේක්‍ෂා කරන තත්වයකුයි ගොඩනැඟිලා තිබෙන්නේ
සංහිඳියාව කියන තැන දි අපි කරන්නේ ගැටුමට මුහුණ දුන් පාර්ශ්ව දෙක අතර මිත්‍රශීලී භාවයක් ඇති කිරීම. පනස් ගණන්වල ගැටුමට මුහුණ දුන් පිරිස් මිය ගියේ ඊළඟ පරපුරට ඒ ගැටුම්වල තුවාල දීලා නම් , හැත්තෑ එකේ කැරැල්ලට සම්බන්ධ පවුල්වල සාමාජිකයන් තවම ජීවතුන් අතර ඉන්නවා නම් ඔවුන් මිය යන විට ඒ තුවාල ඊළඟ පරපුරට දීලයි මිය යන්නේ. අපි ඒ තුවාල සුවපත් නොකළොත් අළු යට ගිනි පුපුරු වගේ දවසක ආයේ ඒ තුවාල නිසා ගැටුම් ඇතිවෙන්න පුළුවන්.
• සංහිඳියාව පිළිබඳව කෙරෙන සාකච්ඡාවේදී සමා
ජයේ ඇතැම් පිරිස් මේක සිංහල බෞද්ධ විරෝධී
වැඩපිළිවෙළක් ලෙස අර්ථ ගන්වන්නට උත්සාහ
ගන්නවා. මේ පිළිබඳ ඔබවහන්සේගේ මතය කුමක්ද?
මේ ගැටුම කාලයේ දෙමළ මිනිසුන් සිංහල මිිනිසුන් දුටුවේ තමන්ගේ හතුරෝ විදිහට.සිංහල මිනිස්සුත් එහෙමයි . මට යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් කිව්වා ඔහුගේ ශිෂ්‍යාවක් අහපු කතාවක්. ඒ ශිෂ්‍යාව මේ මහාචාර්යවරයාගෙන් අහලා තියෙනවා ‘සර් ඔබතුමා සිංහල මිනිස්සු දැකලා තියෙනවද කියලා‘ඒ ළමයින්ට දීලා තියෙනවා සිංහල මිනිස්සු දරුණුයි කියන සිතිවිල්ල. සිංහල මිනිස්සුන්ටත් එහෙමයි.
මේ ගැටුම දෙස මධ්‍යස්ථව යම් අයෙක් බැලූවොත් සිංහල සමාජය දැක්කේ ඔහු හතුරෙක් විදිහට. දෙමළ සමාජයත් දැක්කේ ඔහු හතුරෙක් හැටියට.
• සංහිඳියාව ඇති කිරීමට මැදිහත් වන සෑම පාර්ශ්ව
යකටම විරුද්ධ මතවාද ගොඩනැඟෙන්නේ
මේ නිසාද?
ඔව් ගැටුම් පැවති කාලවලදී එක් පාර්ශ්වයක පැත්තක් නොගෙන දෙපාර්ශ්වයම පොදු තලයකට ගෙන ඒමට උත්සහ කළ කිසිම රාජ්‍යයක් සිංහල සමාජය හෝ දෙමළ සමාජය පිළිගත්තේ නැහැ. සිංහල සමාජය හිතුවේ එය දෙමළ සමාජයට පක්ෂපාත බව. දෙමළ සමාජය හිතුවේ එය සිංහල සමාජයට පක්ෂපාත බව. ඒක ම තමයි ගැටුමෙන් පසු යුගය තුළත් අපි සංහිඳියාවට බිය වෙලා තියෙන්නේ.
• අපේ සමාජය හැම වෙලේම බියෙන් තැතිගෙන
ඉන්නේ මේ නිසාද? හැම වෙලාවේම ගැටුම්
මානසිකත්වයෙන් ජීවත් වෙන්නේ ඒ නිසාද?
වාර්ගික ගැටලුවට එහා ගිය ගැටලු සමාජයේ තියෙනවා. ඒත් බලධාරීන් ඒවාට විසැඳුම් දෙන්න උත්සහ කරන්නේ නෑ. මේ ඇත්ත ප්‍රශ්න සඟවන්න ගොඩනඟපු ව්‍යාජ ප්‍රශ්න තමයි මේ සතුරෙක් ගොඩනැඟීම. පාලකයන්ට හරි පහසුයි හතුරෙක් ගොඩනඟලා ඒ හතුරා පෝෂණය කරමින් පාලන කටයුතු මෙහෙයවන එක. එතකොට සමාජය වුණත් ඇත්ත ප්‍රශ්න පිළිබඳ සැලකිලිමත් වෙන්නේ නැහැ.
• මේ වාර්ගික ගැටලුව, අවස්ථාවාදී දේශපාලඥයන්
නිර්මාණය කළ දෙයක්ද?
මේකේ දෙපැත්තක් මම දකිනවා. විවිධ හේතු නිසා කාලයක් තිස්සේ තුවාල සහිත මිනිසුන් පිරිසක් අප සමාජයේ ජීවත් වෙන්නේ. ඒ නිසා ඔවුන් විශ්වාස කරන්න පටන් අරගෙන තියෙනවා මේ සියලූ ගැටලු ඇතිවෙලා තියෙන්නේ හතුරෙක් නිසා කියලා. දේශපාලනඥයොත් තමන්ගේ බලය පවත්වාගෙන යෑම වෙනුවෙන් පොදු හතුරෙක් දෙසට සමාජය හරවලා තියෙනවා. එතකොට මිනිස්සුන්ගේ අපේක්‍ෂාව ඒ හතුරාට විරුද්ධව පියවර ගැනීම මිස තමන්ගේ සැබෑ ගැටලුවලට විසදුම් ලබා ගැනීම නොවෙයි.
• සමාජය සුවපත් කිරීමේ ක්‍රියාවලියට ඔබවහන්සේත්
සක්‍රීයව සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වන චරිතයක්.
ඔබවහන්සේ මොන වගේ වැඩපිළිවෙළක්ද
ක්‍රියාත්මක කරන්නේ ?
අපි මතවාදී වශයෙන් කරන්නේ ඕනෑම දරුණු මනුෂ්‍යයෙක් දෙස සානුකම්පිත ස්වරූපයෙන් බලන්න හුරු කරන එක. ඒ මිනිසුන්ගේ දරුණු බවට වෛර කරන්නේ නැතිව අද මේ විදිහට දරුණු වුණත් මේ පුද්ගලයා ඉපදෙන කොට අහිංසක දරුවෙක් නේද කියන තැනට අපිට එන්න පුළුවන්නම් අපේ තිබෙන තද ගති , කේන්තිය , වෛරය අඩු වෙනවා. එවැනි දරුණු පුද්ගලයෙක් නිර්මාණය වෙන්න මම, මගේ වැඩිහිටියෝ යම් පමණකට හෝ සම්බන්ධයි කියන අදහස ආවම වගකීම බෙදා ගැනීමක් සිදු වෙනවා. මේ වෛරී අදහස් වලින් දරු පරපුරත් තුවාලකරුවන් බවට පත් කළ යුතුද කියන සංවාදය අපි ගොඩනඟනවා.
• ඔබ වහන්සේ මේ සඳහා අරමුදල් රැස්කරන්නේ
කොහොමද?
සුවපත් කිරීමේ කාර්යේදී අපි මුදල් , ශ්‍රමය ආදී සෑම දෙයක්ම ස්වදේශකයන්ගේ දායකත්වයෙන් සපයා ගැනීම වඩා ඵලදායිකයි. එවිට ඒ ව්‍යාපෘතිය ඒ මිනිස්සුන්ගේම දෙයක් වෙනවා. මිනිස්සුන්ට අමාරුයි තමයි ,එහෙත් අමාරුවෙන් හරි ඔවුන් මේකට යම් පමණකට හෝ දායක වුණොත් ඔවුන්ට මේ වැඩ පිළිවෙළේ අයිතියක් තියෙනවා. ඒනිසා ඒ නිසා අපි මුදල් සොයා ගන්නේ අපි කරන වැඩ ගැන පැහැදීමෙන් විවිධ පුද්ගලයන් ලබා දෙන ආධාරවලින් පමණයි.
• ඔබ වහන්සේගේ සංකල්ප සමාජගත කරන්නේ
කොහොමද?
ආරම්භයේ දී අපි සමාජ මාධ්‍ය භාවිත කරමින් තමයි මිනිස්සුන්ට ආමන්ත්‍රණය කළේ. මාධ්‍ය හරහා මතවාද සමාජගත කිරීම එක් පැත්තකින් කරන අතර ගැටුමට මුහුණ දුන් ප්‍රදේශවල ජීවත්වන මින්සුන් සමග අපි ඍජුව වැඩ කරනවා.
• ඔබ වහන්සේට උතුරේ දෙමළ සමාජයට ප්‍රවේශ
වෙන්න බාධා ඇති වුණේ නැද්ද?
යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල හා දෙමළ ශිෂ්‍ය පිරිසක් අතර ගැටුමක් ඇති වුණා.ඊට බලපෑවේ පිළිගැනීමේ උත්සවයක වෙස් නැටුමක් සඳහා අවස්ථාව නොදුන් බව කියමින්. මේක දකුණේ සිංහල මාධ්‍ය වාර්තා කළේ උතුරේ දමිළ තරුණයන්ට හිංසා කරනවාය යන අන්තවාදී ස්වරූපයකින්. දෙමළ මාධ්‍යත් එහෙමයි. ඒ වැරදි ප්‍රචාරයට ප්‍රතිචාර වශයෙන් අපි මධ්‍යස්ථ වීඩියෝවක් නිර්මාණය කර අන්තර්ජාලයට එකතු කළා. ඉතා හදිස්සියේ නිර්මාණය කළ නිසා මේකට දමිළ උපසිරැසි වත් යෙදීමට අපට හැකි වුණේ නැහැ. ඒත් අපි තවමත් නොදන්න කවුරුන් හෝ අයෙක් මේකට දමිළ උපසිරැසි යොදලා තිබුණා. එමඟින් දෙමළ සමාජයෙත්, කැනඩාව වැනි විදේශවල මිනිසුනුත් දකුණේ වෙනස් විදිහට හිතන මිනිසුන් පිරිසකුත් ඉන්න බව දැනගෙන තිබුණා.