අප උත්සාහ කරන්නේ පොලිස්පතිවරයා සමඟ සුහදව කටයුතු කරන්නයි | සිළුමිණ

අප උත්සාහ කරන්නේ පොලිස්පතිවරයා සමඟ සුහදව කටයුතු කරන්නයි

වසර 152ක් සපිරූ ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගේ ආරක්ෂකයා ලෙස මෙන්ම මහජනතාවගේ සිවිල් කටයුතු සඳහාද සිදු කරන මෙහෙය අතිවිශාලය. එසේ වුවත් පසුගිය කාලය පුරා පොලීසිය පිළිබඳ විවිධ මතිමතාන්තර රට පුරා පැතිරුණු අතර, පොලීසිය ස්වාධීන කිරීමට පොලිස් කොමිෂන් සභාව ආරම්භ කළද පොලිස්පතිවරයාට කොමිෂන් සභාව විසින් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක නොකරනු ලබන බවට චෝදනාවක්ද පවතී. අපි මේ අර්බුද හා පොලිස් කොමිෂන් සභාවේ කාර්යභාරය සම්බන්ධව එහි සභාපති පී.එච්. මනතුංග මහතා හා සාකච්ඡා කෙළෙමු

පොලිස් කොමිෂන් සභාවේ කාර්යභාරය පහදමින්ම මේ සාකච්ඡාව ආරම්භ කරමු...

19 වන සංශෝධනයට අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු බඳවාගැනීම්, උසස්වීම්, විනය සම්බන්ධ කරුණු, දඬුවම් නියම කිරීම, සේවයෙන් පහ කිරීම ඇතුළු සියලු ප්‍රතිපත්තිමය කාර්යයන් හා තීන්දු තීරණ ගැනීමේ බලය පැවරී ඇත්තේ පොලිස් කොමිෂන් සභාවටයි. එසේම පොලිසිය සම්බන්ධව එන පැමිණිලි ගැන කටයුතු කිරීමේ බලයද පොලිස් කොමිසමට තිබෙනවා.

පොලීසිය සම්බන්ධ පැමිණිලි ලෙස ඔබ අදහස කරන්නේ පොලීසියට එරෙහිව මහජනතාව විසින් සිදු කරනු ලබන පැමිණිලිද? එසේත් නැත්නම් පොලිස් නිලධාරීන් විසින් තමන්ට පොලීසියෙන්ම සිදු වන අගතීන් සම්බන්ධව සිදු කරනු ලබන පැමිණිලිද?

මේ දෙකම ඇතුළත්. මම ඒ ගැන තව දුරටත් පැහැදිලි කරන්නම්. පොලිස්පතිවරයා හැරුණු විට අනෙකුත් සියලු නිලධාරීන්ගේ පත්වීම්, මාරු කිරීම්, විනය කරුණු හා දඬුවම් නියම කිරීම් ආදි කටයුතුවල සම්පූර්ණ බලධරයා වන්නේ පොලිස් කොමිෂන් සභාවයි.

පොලිස් නිලධාරීන්ට එරෙහිව මහජනයා විසින් සිදු කරනු ලබන පැමිණිලි හෝ පොලීසිය මඟින් තමන්ට සිදු වන යම් අගති සම්බන්ධව පොලිස් නිලධාරීන් විසින් පැමිණිලි කළ හොත් ඒ ගැන කටයුතු කරන්නටත් අපට හැකියාව තිබෙනවා. එහිදී අදාළ පැමිණිලිකරුට සහනයක් ලබා දීමට අප අනිවාර්යෙන්ම කටයුතු කරනවා. එසේම පොලිස් සේවයේ යම් කඩාවැටීමක් හෝ ඇත්නම් ඒ සම්බන්ධව වුවද පැමිණිලි කළ හැකියි.

එමෙන්ම පොලීසිය ස්වාධීන කිරීමට මෙන්ම කාර්යක්ෂම කිරීමට පොලීසියට අවශ්‍ය අතිරේක පුහුණුව ලබාදීම වැනි කරුණු කෙරෙහිත් අප අවධානය යොමු කර තිබෙනවා. ඒ සියලු කටයුතු කිරීමට අපට බලතල තිබෙනවා

එතකොට දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙසින් පොලිස්පතිවරයාට හිමි වන බලතල මොනවාද?

පොලිස් දෙපාර්තමේන්තුවේ 84,000ක් පමණ වන විශාල සේවක පිරිසක් පරිපාලනය කිරීමට හැකියාවක් පොලිස් කොමිෂන් සභාවට නැහැ. එම නිසා ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරෙන් පහළ සියලු තනතුරුවලට අදාළ පරිපාලනමය කටයුතු කිරීමේ බලතල අප පොලිස්පතිවරයාට පවරා දී තිබෙනවා. එහෙත් ඒ සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන්නේ පොලිස් කොමිෂන් සභාව විසින්. මේ අතර ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දක්වා වූ 1600ක පමණ වූ පොලිස් නිලධාරීන් පිරිසක් සම්බන්ධව ඍජුවම තීන්දු තීරණ ගනු ලබන්නේ පොලිස් කොමිෂන් සභාව විසින්.

අප දෙන නිර්දේශවලින් බාහිරව එම නිලධාරීන් මාරු කිරීම උසස්වීම් ලබා දීමට හෝ දඬුවම් නියම කිරීමට පොලිස්පතිවරයාට හැකියාවක් නැහැ. එමෙන්ම කොමිෂන් සභාව ලබා දෙන නිර්දේශ පොලිස්පතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුතුයි.

අපේ රටේ කාලාන්තරයක් තිස්සේම පොලීසිය පාලනය කළේ දේශපාලඥයන්, තමන්ගේ වැඩට බාධා වන ස්ථානාධිපතිවරුන් මාරු කරන්න පවා ඔවුන් කටයුතු කළා. කොමිෂන් සභාව ක්‍රියාත්මක වීමෙන් පසු මේ තත්ත්වයන් තුරන්ව තිබෙනවාද?

මා කලින් කිව්වා වගේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරෙන් ඉහළ නිලධාරියකු කොමිසමේ අනුමැතියෙන් නිර්දේශයෙන් තොරව මාරු කිරීමට හැකියාවක් නැහැ. එමෙන්ම කොමිෂන් සභාවට බලපෑම් කරන්න කිසිවකුට හැකියාවක් නැහැ. ඒ වගේම කොමිෂන් සභාව කටයුතු ආරම්භ වූ දා පටන් මේ දක්වා එවැනි දේශපාලන බලපෑම් කර නැහැ. එමෙන්ම කිසිම නිලධාරියකු එසේ මාරු කර නැහැ. පහළ නිලධාරියකු වුවත් මාරු කළ හැක්කේ කොමිෂන් සභාව විසින් ලබා දී ඇති නිර්ණායක අනුව පමණයි. ස්වාධීන කොමිෂන් සභාවේ ජනතා හිතවාදිත්ව සේවාව එයයි.

කොමිෂන් සභාව බලාත්මක වීමට පෙර රාජ්‍ය සේවා කොමිසමට පොලිස් අභියාචනා විශාල ප්‍රමාණයක් ලැබී තිබුණා. ඒ සම්බන්ධව අවධානය යොමු කළාද?

2011 වසරේ සිට 2015 දක්වා 2700ක් පමණ අභියාචනා සංඛ්‍යාවක් රාජ්‍ය සේවා කොමිසමට ලැබී තිබුණා. ඒ සියලු අභියාචනා කොමිසම වෙත බාර දී තිබෙනවා. මේ වන විට එයින් ඉතිරිව ඇත්තේ අභියාචනා 80ක පමණ සංඛ්‍යාවක් පමණයි. එසේම කොමිසම් සභාවට මාරු කළ එම අභියාචනාද සමඟ මේ දක්වා අභියාචනා හෝ පැමිණිලි 5546ක් ලැබී තිබෙනවා. එයින් පැමිණිලි හෝ අභියාචනා 4179කට විසඳුම් දී තිබෙනවා.

පොලීසියෙන් තමන්ට යම් අගතියක් වුණොත් ඒ සම්බන්ධව ජනතාව කටයුතු කළ යුතු ආකාරය ගැන පැහැදිලි කළොත්...

අනිවාර්යෙන්ම පොලිස් කොමිෂන් සභාවේ පළාත් කාර්යාලයකට හෝ කොමිසමට හෝ පැමිණිලි කරන්න පුළුවන්. බොහෝ කාර්යාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටා තිබෙනවා. ඒ කාර්යාලයේ විමර්ශන නිලධාරියකු මෙන්ම අධ්‍යක්ෂවරයෙක්ද ඉන්නවා. බස්නාහිරට කාර්යාල දෙකක් ස්ථාපිත කර තිබෙනවා. දෙකම පිහිටා ඇත්තේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ.

මහජන පැමිණිලි කොමිෂන් සභාවට යොමු කළ යුතු බව දන්නේ සුළු පිරිසක් පමණයි. ඒ ගැන ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන නැහැ නේද?

අපි පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන්ම වැඩ මුළු හරහා. මේ බොහෝ වැඩමුළු සඳහා සහභාගි වන්නේ ගමේ විවිධ සංගම් නියෝජිතයන්. ඒ නිසා ජනතාවට හොඳ දැනුමක් තිබෙනවා. උදාහරණයක් ලෙස දක්වනවා නම්: 2011 වසරේ සිට 2015 දක්වා කොමිෂන් සභාවට මහජන පැමිණිලි ලැබී තිබුණේ 450ක් පමණ සංඛ්‍යාවක් පමණයි. එහෙත් 2016 වසරේ පමණක් පැමිණිලි 1876ක් ලැබුණා. එසේම 2017 වසරේ පැමිණිලි 1466ක් ලැබුණා. එසේම මේ වසරේ මේ දක්වා පැමිණිලි 993ක් ලැබී තිබෙනවා.

එයින් 2016 වසරේ සියල්ල අප විසඳා තිබෙනවා. 2017 වසරේ 75%ක් පමණ විසඳා තිබෙන අතර, මේ වසරේ පැමිණිලි 44%ක් පමණ විසඳා තිබෙනවා.

කොමිෂන් සභාව 19 වන සංශෝධයෙන් ස්ථාපිත කළා නම්, 2011 වසරේ සිට පැමිණිලි ලැබුණේ කොහොමද?

17 වන සංශෝධනය යටතේ ස්වාධීන කොමිෂන් ආරම්භ වුණා. ඒත් සැලකිය යුතු බලතල සහිතව කොමිෂන් ස්ථාපිත කිරීම 2015න් පසුව සිදු වුණා. කෙසේ වුවත් කොමිසමට ලැබුණු පැමිණිලි කිසිවක් පසෙකට විසි වු‍ණේ නැහැ.

පොලිස් සේවයේ මේ වන විට දහස් ගණනක් පුරප්පාඩු තිබෙනවා. මහජන සේවා සැලැසීමටත් ඒ සියල්ල බාධාවක්...

පොලීසියේ සියලු තනතුරුවල මේ වන විට පුරප්පාඩු 8300ක් පමණ තිබෙනවා. ඒ පුරප්පාඩු පුරවන්න අප කටයුතු කරමින් ඉන්නේ.

කොතරම් අඩුපාඩු පිරෙවුවත් කාන්තා නිලධාරීන්ගේ අඩුව දිගටම තිබෙනවා. මේ තත්ත්වය තුළ කාන්තාවන් දැඩි අපහසුතාවට පත් වෙනවා පොලිසියට පැමිණිල්ලක් කරන්න ගියාම. විශේෂයෙන්ම අතවර සිද්ධියකදී කාන්තාවන් විශාල අපහසුතාවකට පත් වෙනවා...

මේ තත්ත්වය අපි බොහොම හොඳින් නිරීක්ෂණය කර තිබෙනවා. මේ වන විට පොලීසියේ කාන්තාවන් සේවය කරන්නේ 11%ක් පමණයි. අපි ඒ සංඛ්‍යාව 15%ක් දක්වා වැඩි කරන්න අනුමැතිය ගෙන තිබෙනවා. එම නිසා ඉදිරියේදී සියලු තනතුරුවලට අදාළව පොලිස් නිලධාරිනියන් සංඛ්‍යාව ඉහළ මට්ටමකට පත් වේවි. ඒ හරහා ගැටලුව අවම කරගන්න පුවළුන් වේවි.

ඒත් වර්තමානයේ තිබෙන අනුමත කාර්යමණ්ඩල සංඛ්‍යාව අනුව කාන්තා නිලධාරිනියන්ට අඩු සැලකිල්ලක් යොමු වෙලා තියෙනවා. ඒ ගැන අවධානයක් යොමු කෙළේ නැතිද?

ඔබගේ කතාව හරි. අනුමත කාර්ය මණ්ඩල සංඛ්‍යාව අනුව කාන්තා නිලධාරිනියන් පිරිස සැලකිය යුතු ලෙසින් අඩුයි. උදාහරණයක් හැටියට පෙන්වා දෙනවා නම් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 796ක් පිරිමි නිලධාරීන් අනුමත කාර්ය මණ්ඩලය ලෙසින් සිටියදී අනුමත කාන්තා පොලිස් නිලධාරිනියන් සංඛ්‍යාව 15ක් පමණයි. මේ තත්ත්වය මත කාන්තාවන් පොලීසියට බැඳීමට දක්වන උනන්දුව අඩුයි.

@ උතුරු-නැඟෙනහිර තත්ත්වය මීටත් වඩා වෙනස්. එහි භාෂා ප්‍රශ්නයත් තිබෙනවා. බැඳෙන සංඛ්‍යාව අඩු නිසා පොලීසියට පැමිණිලි ඉදිරිපත් කිරීමේ ගැටලු පවා තිබෙනවා...

ඒ කරුණ ඇත්ත. යුද්ධයත් සමඟ ආ ගැටලු රැසක් උතුරේ තිබෙනවා. උතුරේ තරුණියන් පොලීසියට බඳවාගැනීමේදී ඔවුන්ගෙන් ඇතැමකු විවිධ ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ වූ නිසා ඔවුන්ට ඒ සඳහා බැඳෙන්නට බැරි තත්ත්වයක් පවතිනවා. මේ තත්ත්වයටත් ඉක්මන් විසඳුමක් දෙන්නට අප කටයුතු කරනවා.

හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පවසා තිබුණා කොමිසමට පොලිස්පතිවරයා ඉක්මවා යන්න බලයක් නැති කතාවක්...

ඒ ප්‍රකාශයේ කිසිම සත්‍යතාවක් නැහැ. පොලිස් කොමිසම පමණක් නෙමෙයි; අනෙකුත් සියලු කොමිෂන් සභා පිහිටුවූයේ ස්වාධීනව කටයුතු කරගෙන යෑම පිණිසයි. ඒ කොමිෂන් සභාවට බලපෑම් කරන්න හෝ කොමිසමේ තීරණ ඉක්මවා යන්න කිසිවකුට හෝ බලයක් නැහැ.

පසුගිය සතියේ නීතිඥ ප්‍රතිභා මහනාමහේවා මහතා පවසා තිබුණා ‘පොලිස් කොමිසමේ කතාව දෝලාවෙන් ගමන පයින්!’ කියලා...

ඒ ගැන කියන්න තිබෙන්නේ සරල කතාවක් විතරයි. පොලිස් කොමිසම කියන්නෙ මොකක්ද කියලා නොදැන කරපු කතාවක් විතරයි ඒ...

කොමිසම විසින් යම් වැරැදි තීන්දුවක් තීරණයක් ගත්තොත්...

ඒ සඳහාත් කොමිසම ස්ථාපිත කළ පනතේම පැහැදිලිවම පිළිතුරු තිබෙනවා. කොමිසමේ තීන්දු-තීරණ සඳහා අභියෝග කිරීමට රාජගිරියේ පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරියට පැමිණිලි කළ හැකියි. එසේත් නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යා කළ හැකියි.

පොලිස් නිලධරයකු හෝ පොලීසියේ අකටයුත්තක් ගැන කොමිෂන් සභාවටට පැමිණිල්ලක් පැමිණි විගස සිදු කරනු ලබන ක්‍රියාපිළිවෙත ගැන තරමක් විග්‍රහ කළොත්...

අදාළ පැමිණිල්ල පිළිබඳව අපි වහාම සොයා බලා චූදිත පොලිස් නිලධරයා ගෙන්වා ප්‍රශ්න කරනවා. මම මුලින්ම කිව්වා වගේ කොමිෂන් සභාවේ සිටින 7 දෙනා සමාජයේ විවිධ පැතිකඩ හොඳින් අවබෝධ කරගෙන ඉන්නේ. මෙතනට ඇවිත් බොරු කරන්න බැහැ. අනිවාර්යයෙන්ම පැමිණිලිකරුට අගතියක් වෙලා නම් විසඳුම ලබා දී ඒ අයට සහනය සලසා දෙනවා.

පොලිස් නිලධාරීන් තම-තමන්ගේ ගැටලු නිර්භීතව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කරනවාද?

ඉදිරිපත් වීමේදී ඔවුන්ට කිසිදු බියක් ඇතිව නැහැ. කොමිසම ගැන ඔවුන්ගේ පූර්ණ විශ්වාසයක් තිබෙනවා. මේ වන විට එවන් පැමිණිලි හාරසිය ගණනක් ලැබී තිබෙනවා. ඇතැම් ඒවා රාජකාරියේදි සිදු වූ ගැටලු, ඒ වගේම ලිංගික හිංසන හෝ බලය අයුතු ලෙස යෙදවීම ඇතුළු ඕනෑම කරුණක් සම්බන්ධව පැමිණිලි කළ හැකියි.

පොලිස් කොමිසම මීට පෙරත් 2011 වසරේදී ක්‍රියාත්මක වුණු බව කිව්වා. ඒත් ඒක බෝඩ් ලෑල්ලට නමට පමණක් සීමා වූ බවකුයි පෙනෙන්නේ. මේ කොමිසමේ ඇතැම් කටයුතුත් ඒ වගෙයි අපට පෙනෙන විදිහට...

ඒ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. 2011 වසරේදී 17 වන සංශෝධනයෙන් ක්‍රියාත්මක කළ කොමිෂන් සභාවට වඩා බලයක් මේ කොමිසමට තිබෙනවා.

සමාජයේ නීතිය සමාජය මෙන්ම අනෙකුත් අංශ නියෝජනය කරනු ලබන විද්වතුන් 7දෙනකුගෙන් සමන්විත සාමාජිකයන් පිරිසකගෙන් තමයි මේ කොමිසම සමන්විත වන්නේ. ඔවුන් විසින් සෑම බ්‍රහස්පතින්දාම එක්රැස්ව දිනය පුරාම මෙහි සාකච්ඡා කරමිනුයි මේ පිළිබඳව කටයුතු කරන්නේ.

පසුගිය දිනක පුවත්පතක පළ වුණා කොමිසමත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයකුගෙන් පලි ගෙන තිබෙනා බවක්. ‘වැටත් නියරත් ගොයම් කන’ තත්ත්වයට පත් වෙලාද?

ඔය කතාව ඒ නිලධාරියාගේ වාසියට හදාගත් කතාවක් පමණයි. අපට මූල්‍ය සමාගමකින් පැමිණිල්ලක් ආවා. ඔවුන්ගේ සමාගමෙන් පොලිස් නිලධරයකු වාහන තුනක්, නම් තුනකින් එමෙන්ම තමන්ගේ නිලයට වඩා ඉහළ නිලයක් පෙන්වා දෙමින් ව්‍යාජ ලෙස ලබාගෙන ඇති බවට.

අපි ඒ ගැන විමර්ශනය කර ඉදිරි නීති කටයුතු සඳහා ඔහුගේ වැඩ තහනම් කළා. එමෙන්ම මෙතැන බලවත් අපරාධයක් පෙනෙන්නට තිබෙන නිසා. අපි ඒ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙවත් රහස් පොලීසියට බාර දුන්නා. ඒක පලි ගැනීමක් නෙමෙයි. පැමිණිල්ලක් විභාග කිරීමක්. අපරාධකරුවන් ආරක්ෂා කිරීම කොමිෂන් සභාවේ කටයුත්තක් නෙමෙයි.

පොලීසිය සම්බන්ධව මාධ්‍ය මඟින් දෙන පණිවිඩ ගැන ඔබ කොමිෂන් සභාව අවධානය යොමු කරන්නේ නැතිද?

ඇයි නැත්තේ? අපි වෙනමම කාර්යයක් ඒ සඳහා කරනු ලබනවා. සියලු මාධ්‍ය වාර්තා අධ්‍යයනය කර ඒ සඳහා අවශ්‍ය පියවර නොපමාව ගනු ලබනවා. එමෙන්ම විශේෂ විමර්ශන ඒකකයක් (CIU) සියලු කටයුතු සඳහා අපි අලුතින් ස්ථාපිත කර තිබෙනවා.

ඔබ කොමිසම විසින් ලබා දෙන නිර්දේශ පොලිස්පතිවරයා විසින් ක්‍රියාත්මක නොකරනු ලබන බවට අපට වාර්තා වෙනවා. මේ වගේ කාර්යයන් නිසා කොමිසම හෑල්ලුවට ලක් වනවා නේද?

පොලිස්පතිවරයා හැරෙන්න අනෙක් සියලු පොලිස් නිලධාරීන් සම්බන්ධව විනය බලධරයා වන්නේ කොමිසම නිසා අපේ නිර්දේශ එසේ ක්‍රියාත්මක නොකර සිටීමට ඔහුට හැකියාවක් නැහැ.

ඔබ එසේ කිව්වත් මේ වන විට රටම දන්නා දෙයක් තමයි පොලිස්පතිවරයා කොමිසම නොසලකා හරින බව...

පොලිස්පතිවරයාට යම් ආකාරයක අසීමිත බලයක් තිබුණත් කොමිසම ඉක්මවා යන්න හැකියාවක් නැහැ. එහෙත් කොමිසම නිර්දේශ කරන සමහර තීන්දු තීරණ ගැනීමට කල් මරනවා වගේ අපටත් පෙනෙනවා.

ඒකම තමයි මා විමසන්නේ මේ ආකාරයට කටයුතු කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවන ලද කොමිසම හෑල්ලුවට ලක් වන තත්ත්වයක් තිබෙනවා නේද?

එවැන්නක් සිදු වන බව මාත් පිළිගන්නවා. අපට කළ හැක්කේ මේ සම්බන්ධව ව්‍යවස්ථාදායක සභාවට හෝ ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමයි. අප තවම එවැන්නක් සිදු කර නැහැ.

මෙවැනි නොසලකා හැරීම් සිදු වෙද්දීත් කොමිසම එසේ අවශ්‍ය කටයුතු නොකිරීම කොමිසමේ දුර්වලතාවක් ලෙස ඔබ පිළිගන්නවාද?

කොමිෂන් සභාව හැම විටම කටයුතු කිරීමට උත්සාහ ගන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස පොලිස්පතිවරයා සමඟ සුහදවයි. එසේ නොමැතිව අර්බුද ඇති කරගන්න කොමිසම කැමැති නැහැ. අප තවදුරටත් නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස දන්වා තිබෙනවා. මේ සම්බන්ධව කථානායකවරයාත් අවධානය යොමු කර තිබෙනවා.

පසුගිය සති අන්තයක පාර්ලිමේන්තුවට කොමිසමත් පොලිස්පතිවරයාත් ගෙන්වා කථානායකවරයා අගමැති ඇතුළු ව්‍යවස්ථාදායක සභාව විසින් දින 14ක් තුළදී ගැටලු විසඳාගන්නා ලෙස දැනුම් දුන්නා. දැන් සතියක් ගෙවී ගිහින්. මොකද? යහපත් තත්ත්වයක් තිබෙනවාද?

පොලිස්පතිවරයා අපට ලිපියක් එවා තිබෙනවා. ඒත් කොමිසම කියන්නේ කිසිම අමාත්‍යාංශයකට අයත් නොවන ස්වාධීන කොමිෂන් සභාවක්. අප වග කියන්නේ පාර්ලිමේන්තුවටයි. එම නිසා පොලිස්පතිවරයා කුමක් කිව්වත් අප විසින් දෙන නිර්දේශ ඔහු ක්‍රියාත්මක කළ යුතුමයි. ඔහුගේ ලිපියේ සඳහන් කරුණු ගැන කතා කරන්න දැන් ඉක්මන් වැඩියි.

ඔබ හිතන්නේ මෙසේ කොමිසමේ තින්දු-තීරණ ක්‍රියාත්මක කිරීම මඟහරින්නේ පමා කරන්නේ කාගේ හයියෙන් කියාද?

එවැනි හයියක් ගැන කතා කරන්න අප දන්නේ නැහැ. අප උත්සාහ කරන්නේ පොලිස්පතිවරයා සමඟ සුහදව කටයුතු කිරීමටයි. ඔහු කොමිසමට පැමිණ අප සමඟ එක්ව අසුන් ගෙන කටයුතු කරන අවස්ථා තිබෙනවා. පොලීසිය වෙනුවෙන් ඔහු කරුණු දක්වනවා.

ඔහුත් මේ සඳහා සහභාගි වනවා නම් කොමිසමට අපක්ෂපාතීව තීන්දු තීරණ ගන්න බැහැනෙ...

ඔහු පොලීසිය වෙනුවෙන් යම් කරුණු දැක්වීමක් කරනවා හැරෙන්න, ඔහුට තීන්දු තීරණ ගැනීම සඳහා මැදිහත්ව කටයුතු කරන්න හෝ බලපෑමක් කරන්න හෝ බැහැ. එමෙන්ම ඔහු සම්බන්ධව යම් කරුණක් සාකච්ඡා වනවා නම් ඔහුට සාමාජිත සභාවේ රැඳී සිටින්නත් බැහැ.

ඒත් මේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හමුවේ කොමිෂන් සභාව නිහඬ නම් පැමිණිල්ලකදී පැමිණිලිකරු තවත් අගතියට පත් වනවා නේද? පරිපාලන අභියාචන අධිකාරියට පවා පැමිණිලි කළ හැක්කේ කොමිෂන් සභාව වැරැදි හෝ අවශ්‍ය නිර්දේශ ලබා නොදීමේ කරුණ මතයි. ඒත් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව කුමක් කළ යුතුද?

අගතියට පත් පාර්ශ්වයට ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකියි. පනතේ ඒ බව පැහැදිලිවම තියෙනවා. අපගේ නිර්දේශ ක්‍රියාත්මක නොකළ හොත් පොලිස්පතිවරයාටත් ගැටලු ඇති වනවා. ඔබ කියූ පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමේ චෝදනාවට ඔහු ලක් වනවා.

නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන නාලක ද සිල්වා මහතා පාතාලය හා සම්බන්ධකම් පවත්වා ඇති බවටත්, ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනයට පවා යම් ආකාරයක සැලසුමක් හෝ තිබී ඇති බවටත් කොමිසමට පැමිණිලි කර තිබෙනවා. ඒ සම්බන්ධව කොමිසම ගෙන ඇත්තේ කුමන පියවරක්ද?

මෙය ඉතාම බරපතළ මෙන්ම භයානක තත්ත්වයක්. පොලීසිය සිටින්නේ මහජනතාවගේ මෙන්ම ප්‍රභූන්ගේ ආරක්ෂාවටයි. එවන් තත්ත්වයක ඇත්ත-නැත්ත කුමක් වුවත් පොලීසියේ ඉහළම නිලධරයකු සම්බන්ධව මෙවන් පැමිණිල්ලක් ලැබීම පවා බරපතළ තත්ත්වයක්. අප මේ සම්බන්ධව කොමිසමෙන් මේ දක්වා නොකළ විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර තිබෙන්නේ. රහස් පොලීසිය හරහා විශේෂ විමර්ශනයක් කරන ලෙසද පොලිස්පතිවරයාට මේ වන විටත් දන්වා යවා තිබෙනවා.

Comments