
උග්‍ර නවකවධයේ අසංස්කෘතික ම්ලේච්ඡත්වය පිළිබඳව සිළුමිණ පුවත්පතින් පසුගිය සති කිහිපයේ දී අප අනාවරණය කළේ දැඩි සංවේගයෙන් යුතුවය. මේ අනාවරණයත් සමග ඊට දැක්වුණ ප්‍රතිචාර එක් අතකින් ප්‍රකාශයට පත් කළේ මේ සමූහයේම අශිෂ්ට පරපීඩකත්වය ය. වෙබ් අඩවි හා දුරකථන ඇමතුම් ඔස්සේ අසභ්‍ය අතාර්කික හරුප වගුවරුවමින් කළ වියරු වැටුණු මුග්ධ හැසිරීමක් විනා ප්රස්තුතය පදනම් කරගත් සාධනීය කථිකාවක් ගොඩනැගුණේ නැත. මොනම පදනමකින් හෝ මේ ම්ලේච්ඡ පරපීඩකත්වය සාධාරණීකරණය කළ හැකි මනෝභාවයක් කිසිම මනුෂ්‍යයෙකු තුළ ඇතිවීම අපව තිගස්වන්නේය. ඊට අනුබල දිය හැකි වීම හෝ එහි සාධනීය අගයක් දැකීම අපව කම්පනයට පත්කරන්නේය. එය සරසවි සංස්කෘතියේ ප්‍රශ්නයක් නොව නඩත්තු කර පවත්වා ගන්නට උත්සාහ කරනු ලබනා මේ සමාජ විකෘතියේම ප්රකාශනයක් වන බැවිනි.
සරසවි නවකවදයේ අශික්ෂිත ස්වරූපය හෙළි කරන මේ ලිපියෙනුත් කියැවෙන්නේ මේ සමාජ ඛේදවාචකය ය. මෙහි ඇතුළත් සියලු තොරතුරු ප්‍රබන්ධ නොව මේ තුච්ච වදයට ලක් වූ සරසවි සිසු දරු දැරියන්ගේම අතින් ලියවුණු අඳෝනා ය. එසේම විශ්වවිද්‍යාල පරිපාලනයට කරන ලද ලිඛිත පැමිණිලිය. මේ ලියන සෑම වචනයක් පිළිබඳවම වගකීම අප සතුව තිබේ. යමෙකු මෙහි සඳහන් කුරිරු වධහිංසා විශ්වවිද්‍යාල පරිසරයන් තුළ සිදු නොවන්නේයැයි පවසන්නේ නම් එහි සත්‍ය අසත්‍යතාව ඔප්පු කිරීමට සාධක අප සතුව ඇත. අපට අවශ්‍ය වන්නේ සරස්වතියට උරුම භූමිය සරස්වතියම උරුම කර දීම මිස මෙවැනි මානසික ව්‍යාධීන්ට ලක්වූවන්ට තෝතැන්නත් සැපයීම නොවේ.
මේ ලිපිය ලියන මොහොත වන විටත් මේ ම්ලේච්ඡ වධය හේතුවෙන් කී දෙනෙක් කදුළු සලත්ද? කී දෙනෙකුට අකාලයේ දිවි අහිමි කර ඇත්තේද? කී දෙනෙකු ආබාධිත හෝ රෝගී වූවන් වී ඇත්ද? මේ ගැන කියන්නට කරුණු කාරණා බොහෝය. මේ වන විට සරසවි බිමේ ඇතැම් පිරිස් මෙහෙයවන මෙවැනි ම්ලේච්ඡත්වයන් කුරිරු අමානුෂික තත්ත්වයට පැමිණ ඇත්තේය.
කොළඹ ප්‍රධාන පාසලක උගත් අවසානයේ එක්තරා සරසවියකින් උපාධි ලැබීමේ අපේක්ෂාවෙන් පසුවූ අමාලි චතුරිකා නැමැති සිසුවිය 2015 පෙබරවාරි 15 වැනි දින සිය ජීවිතය පිළිබඳ අවසන් තීන්දුවකට පැමිණියේ ඇයි?
“මටත් ලස්සන ජිවිතයක් තිබුණා....... ඒ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තේ 1st year exam ඉවර වෙලා කැම්පස් එකට ආපු 2nd year batch එකේ මාෂා හා ඉසුරු නිසයි. මට නවක වදය තුළින් දුන්නේ අසීමිත මානසික පීඩනයක්. ඒක ගොඩාක් ළමයි දන්නවා. ඒත් දැන්නම් කවුරුවත් සාක්ෂි දෙන්න ඉදිරිපත් වෙන එකක් නැහැ...................මට science වලින් කැම්පස් select වෙන්න වාසනාව ලැබුණා. ඒත් අවාසනාවන්ත විදියට xxxxxට.( විශ්වවිද්‍යාලයේ නම සඳහන් කර ඇත). කැම්පස් සේරගෙන්ම නවකවදය ඉවත් කරන්න ඕන. ඒක ළමයින්ට මානසික වදයක්. මම දැන් ලෙඩෙක් වෙලා තියෙන්නේ නවකවදය නිසා...........ආයිත් බෙහෙත් ගන්න මේ බදාදා යන්න තියෙන්නේ. එතකන් මම ජීවත් වෙන එකක් නැහැ. මාෂා, ඉසුරු මම මැරෙන්නේ ඔය දෙන්නත් එක්ක හිතේ තරහෙන්. මගේ ආත්මය xxxxxට( විශ්වවිද්‍යාලයේ නම සඳහන් කර ඇත) ඇවිත් ඔය 2ගෙන් පළිගන්න එක පළිගන්නවාමයි...“ එම විශ්වවිද්‍යාලයේ නවකවදය හේතුවෙන් සියදිවි නසා ගත් අමාලි චතුරිකාගේ අන්තිම කැමැති පත්‍රය (2015/2/15 රාත්‍රී 10 ට ලියන ලිපිය) ලියා ඇත්තේ ඇය විඳි කුරිරු නවකවධයට සාප කරමිනි.
එවැනි කුරිරු වධ නැතැයි පවසමින්, නවකවධ කාලයේ ශිෂ්‍යාවන්ට තනපට ඇතුළු යට ඇඳුම් නොඇඳීමට කිසිවෙකුත් බලපෑම් නොකළේයැයි පිරිසක් මුසා බාන අවධියක එම සරසවියේ අමාලි අමු අමුවේම දරුණු හිරිහැර විඳ ඇති අයුරු ඇයගේ අවසන් ලිපියෙන් මනාව පැහැදිලි වේ. නමුත් එක් මරණයක් නොව 1978 වසරේ සිට මේ දක්වා මෙම කුරිරු නවකවධය හේතුවෙන් 14 දෙනෙකුගේ දිවි අහිමි වී ඇතත්, ප්‍රමාණය සඳහන් කළ නොහැකි ආකාරයෙන් බොහෝ දෙනෙකු රෝගීන් බවට පත්වි ඇතත් මේ ම්ලේච්ඡ වධය තවමත් අවසානයක් දැක නැත. කුරිරු ම්ලේච්ඡත්වයට අඩ නොතියා සරසවිය පලා යද්දි වධකාගාර බවට පත්වන විශ්වවිද්‍යාල තුළ මෙයත් තවත් එවැනි අමානුෂික හෙළිදරව්වකි.
‘xxxxx විශ්වවිද්‍යාලය වධකාගාරයකි‘( අදාළ විශ්වවිද්‍යාලයේ නම සඳහන් කර ඇත) යනුවෙන් ශිර්ෂ පාඨ යොදා සිසුන් පිරිසක් විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට 2018/5/16 වැනි දින බාර දුන් ලිපියේ මේ උග්‍ර වධයේ කායික වධ හිංසා මෙයාකාරයෙන් පැමිණිලි කර ඇත.
“වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම xxxxx විශ්වවිද්‍යාලය (අදාළ විශ්වවිද්‍යාලයේ නම සඳහන් කර ඇත) පළමු වසර සිසුන් හා දෙවැනි වසර සිසුන් සඳහා වධකාගාරයකි...ලිපිය අවසානයේ විස්තර සඳහන් කරන පිරිසක් විසින් විශ්වවිද්‍යාලය අනෙකුත් සිසුන් සඳහා වධකාගාරයක් කර හමාරය. විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුන් හා දෙවැනි වසර සිසුන් නොවිඳිනා දුකක් නැත....මුළු පාලන අධිකාරියම තුන්වන හා හතරවන වසර සිසුන්ගේ අතකොළු බවට පත්ව හමාරය. මේ වන විට දෙවැනි වසර සිසුන්ගෙන් විශාල පිරිසක් සරසවිය තුළ ලේ හලා ඇත....විශාල පිරිසක් සිටින තුන්වන වසර හා හතරවන වසර සිසුන්ගෙන් කිහිප දෙනෙක් මෙම ක්‍රියාවලිය සිදු කරති. මෙහි ප්‍රධාන මොළකරු xxxxx (සිසුවෙකුගේ නමක් සඳහන් කර ඇත) යන හතරවන වසර සිසුවාය.....ඔහු කිසි දිනක දෙවැනි වසර සිසුන්ට පහර දී නැත. අවසර ලබා දෙනුයේ ඔහුය. පහරදීමේ ක්‍රියාවලියේ මානසික රෝගියා xxxxx යන xxxxx ( සිසුන් දෙදෙනෙකුගේ නම් සඳහන් කර ඇත) විශ්වවිද්‍යාලයේ තුන්වන වසර ශිෂ්‍ය නියෝජිතයාය. ඔහුගෙන් ගුටි නොකෑ දෙවැනි වසර සිසුවෙකු නොමැති තරම්ය. මොහු සෑම දිනකම සිසුන් පස් හය දෙනෙකුටවත් පහර දේ. එය ඔහුට පුරුද්දක් වි ඇත. තවද මොහුගේ ගෝල බාලයන් පිරිස සෑම දිනකම දෙවැනි වසරේ සිසුවෙකුට හෝ දෙනෙකුට විශ්වවිද්‍යාලයේ ප්‍රධාන භෝජනාගාරය පිටිපස හෝ විශ්වවිද්‍යාලයේ “බීච් එක නැමැති ස්ථානයේදි බිමට වැටෙන්නට තිරිසන් සතෙකුට මෙන් පහර දෙන්නේය....” මේ අදාළ වධකාගාරය පවතින විශ්වවිද්‍යාලයේ නමම සඳහන් කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සිසුන් පිරිසක් විසින් යැවූ ලිපියකි. මෙම ලිපිය අවසානයේ නවකවද දෙන තුන හා හතරවන වසර සිසුන්ගේ සියලූම ඡායාරූපද අමුණා ඇත්තේ ඔවුන්ගේ නම්, ගම් මෙන්ම විශ්වවිද්‍යාලයේදි ඔවුන් හදුන්වන කෙටි නම්ද වන ඇන්ටි,ඔබාමා,ලැමා ආදි වශයෙන් ඔවුන් හැඳින්වූ අන්වර්ථ නාමද සමඟිණි.
එදා විශ්වවිද්‍යාල උපසංස්කෘතිය සුළු පිරිසක් හේතුවෙන් අද පාතාලයක් වී ඇත්තේ මෙයාකාරයෙනි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසන පරිදි මෙහි සිදුවන ඇතැම් හිරිකිත ක්‍රියා බොහෝ සෙයින් භයංකාරය. ලොමු ඩැහැ ගැන්වෙන සුලුය. සිදුවන ඇතැම් දේ කිසිවෙකුටවත් සිතා ගත නොහැකි තරම් ය. ම්ලේච්ඡත්වය උපරිම ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නන්ට ඉටු කර ගැනීමට යම් යම් පටු අරමුණු ඇත්තේය. මේ එක්තරා සරසවියක තවත් එවැනිම පැමිණිල්ලකි.
“xxxxx (අදාළ විශ්වවිද්‍යාලයේ නම සඳහන් කර ඇත) ඉතා අමානුෂික නවකවදයක් තියෙනවා. මුලින්ම අපි ඒකට තදින්ම අකමැති වුණා. ඒ නිසා ජ්‍යෙෂ්ඨ උත්තමයන් හා උත්තමාවියන් අපට නිදහසේ college එකේ ඇවිදින්නවත් කැම කන්නවත් දෙන්නේ නැහැ. කොටින්ම canteen එක ඇතුළට තියා canteen එක ඉස්සරහින්වත් යන්න තහනම්..........xxxxx (බලධාරියෙකුගේ නමක් සඳහන් කර ඇත) ට කොච්චර complaint කළත් සත පහකට අපි ගැන හොයලා බලන්නේ නැහැ. හැමදාම අපිට ගැහුවා කිව්වහම evidences ගේන්න කියනවා. ඒ නිසා අපි ඔක්කෝම පුළුවන් විදියට video කර ගත්තා... මේ video හා photos වල ඉන්න සමහර අයට විරුද්ධව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අමානුෂික ලෙස පහර දීම හා නවකවධය ලබාදීම යටතේ ගරු අධිකරණයේ නඩු 5 ක් විභාග වෙනවා. එමෙන්ම ඔවුන්ට විරුද්ධව xxxxx (අදාළ විශ්වවිද්‍යාලයක නම සඳහන් කර ඇත) විශ්වවිද්‍යාලය විසින් පවත්වපු විනය පරීක්ෂණයට අදවන තුරු සිදුවූ දෙයක් නැහැ. ඒත් ඔවුන්ගේ හැසිරීම එහෙමම තමයි..“උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැතිවරයාට 201801.08 දින අදාල විශ්වවිද්‍යාලයේම සිසුන් පිරිසක් විසින් අදාළ සියලු ඡායාරූපද සමඟින් යොමු කළ ලිපියකි.
සරසවි ගතවූ මෙවන් විකෘති මානසිකත්වයෙන් යුතු වූවන් මෙවැනි වධයන් කිරීමට පෙලඹෙන්නන් ඔවුන්ගේ යටි සිත තුළ මනුෂ්‍ය ඝාතනයට යම් කැමැත්තක් දක්වන නිසා බව මේ සම්බන්ධයෙන් පර්යේෂණය කරන්නන්ගේ අදහසයි. නවකයින් නග්න කිරීමෙන් හා ඔවුන් අස්වාභාවික ලිංගික ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් හා ඒ පිරිස් බියෙන් තැති ගැන්මකට ලක්වීමෙන් උගත්යැයි කියා ගන්නා මේ නවකවධ උත්තම උත්තමාවියන් ලබන්නේ අස්වාභාවික තෘප්තියකි.
“රාත්‍රි කාලයේදි නේවාසිකාගාරයන්ට අවුත් නවකයින්ට පහර දෙනවා මෙන්ම දිවා කාලයේ දේශන තුළදීද (දේශන නොමැති කාලය තුළදීද) පහර දෙනු ලබයි. එමෙන්ම මානසික වශයෙන් විශාල පීඩනයක් ලබා දෙනු ලබයි. තවද දේශන අවසන් වි නේවාසිකාගාරයට යන අතර තුරදීද නවකයින් වධකාගාරය යැයි හඳුන්වන එක්තරා ස්ථානයකට රැගෙන ගොස් ඒ තුළදීද පහර දෙනු ලබයි. තවද රාත්‍රියේදි නේවාසිකාගාරයන්ට පැමිණ නේවාසිකාගාර නිළධාරීන් හට මුසා පවසමින් (විවිධ අංගයන්/ උත්සවයන් සැලසුම් කිරීමට නවකයින් රැගෙන යන බව පවසයි) නේවාසිකාගාරයේ පිටතට රැගෙන ජ්‍යෙෂ්ඨ නේවාසික කරා ගෙන ගොස් මැදියම් රෑ වන තුරු පහර දෙමින් ජුගුප්සා ජනක ලිංගික හිරිහැර ලබා දෙයි.(රාත්‍රි නවයට පමණ රැගෙන ගොස් නවයේ සිට මධ්‍යම රාත්‍රිය පසුවන තුරු මෙය සිදුකරනු ලබයි.) ලබා දෙන ලිංගික හිරිහැරයන් මේ ලිපියේ දැක්වීමට තරම් මා හට ධෙර්යයක් නොමැත.....තවද ඔබ හට පැවැසීමට සුවිශේෂි කරුණත් පවතියි. මෙහිදි කිසිදු ද්‍රවිඩ හෝ මුස්ලිම් ජ්‍යෙෂඨ ශිෂ්‍යයන් කිසිදු නවකවද ක්‍රියාවලියකට සහභාගි වන්නේ නැත. මෙම අමානුෂික ක්‍රියාවලිය සිදුවනුයේ සිංහල ප්‍රජාව අතරේ පමණි..... තවද මෙවන් ලෙසකින් ලිපි ලියා නවකවදයට එරෙහිව ක්‍රියා මාර්ගයක් ගෙන විශ්වවිද්‍යාලයේ නිදහසේ ඉගෙනිමට සිතීමද දවල් සිහිනයකි.“ මෙය 2018/8/27 දින විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට එක්තරා විශ්ව විද්‍යාලයක වධකාගාරයේ වේදනා විදිමින් අවසානයේ පළමු වසර විභාගයද අහිමි වු සිසුවෙකු ලබා දුන් දුක් ගැනවිල්ලකින් උපුටා ගත්තකි.
මේ වනවිට මෙම අමානුෂික නවකවධයේ බිහිසුණු බව හේතුවෙන්ම 1989 දෙනෙක් සරසවි භූමිය අත්හැර ගොසිනි. ඒ පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා උසස් අධ්‍යාපන කොමිසම ඉදිරියේදි ගතයුතු ක්‍රියා මාර්ග ගැන මේ වන විට සාකච්ඡා කරමින් පසුවෙයි. එසේම 1978 සිට මේ දක්වා මෙම කුරිරු වධ ඉවසාගත නොහැකි වීමෙන් සිසුන් 14 දෙනෙකු මිය ගොස් ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමම සාක්ෂි දරයි. එම කොමිසම පවසන පරිදි නවකවධය දෙන්නවුන්ගේ තවත් ක්‍රියාමාර්ගයක් වි ඇත්තේ සෑම වසරකම පළමු වසර සිසුන් අදාළ සරසවි ප්‍රවේශයට යාමට පෙර ඔවුන්ගේ නම් ලිපිනයන් මේ උත්තම උත්තමාවියන් කෙසේ හෝ සොයා ගනිමින් යම් යම් උපක්රමශීලීව තමන්ගේ ග්‍රහණයට නතුකරමින් මනස් ශෝධනයන් කිරීමය. මේ කටයුත්තේදි කොළඹ හා නාගරික ප්‍රදේශවල සිසුන් අත්හරිමින් පහසුවෙනු ග්‍රහණය කර ගත හැකි පිරිස් පමණක් යොදා ගනිමින් මෙම මනස් ශෝධනය කරන්නේ විවිධාකාර පංති වලට සහභාගි කරවමිනි. දැන් විශ්වවිද්‍යාලයට පැමිණෙන්නට පෙරාතුවම මේ කටයුත්ත ඔවුහු විසින් කරති.
කෙසේ වෙතත් සරසවි භූමිවල මේ උත්ත මයන්ගේ අති අමානුෂික අවකල් ක්‍රියාවන් බොහෝමයක් මේ වන විට අනාවරණය වෙමින් පවතින්නේ අදාළ සිසුන් විසින්ම ඒ පිළිබඳ අනාවරණයන් කිරීම හේතුවෙනි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පැවසූයේ මේ වන විට මෙවැනි පැමිණිලි 434 ක් ලිඛිතව, ඡායාරූප, විඩියෝ පට හා හඬපට ආශ්රයෙන් ලැබී ඇති බවත් මේ වන විට එ් හරහා අදාළ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත්ය.
මේ ම්ලේච්ඡ සංස්කෘතිය විශ්වවිද්‍යාල සංස්කෘතිය තුළ පවත්වා ගෙන යන්නේ එක්තරා සුළු පිරිසක් බව කොයි කවුරුත් දන්නා දෙයකි. සමස්තයක් ලෙස විශ්වවිද්‍යාලයන්හි ඉගෙනුම ලබන සිසුවියන්ගේ අපේක්ෂාව තමන් පැතූ උපාධි සිහිනය සැබෑ කර ගැනීමය. මේ නිසා එවන් දරුවන්ටත්, දරුවන් වෙනුවෙන් කැපවන ආචාර්ය මණ්ඩලයට හා පරිපාලනයට ගෞරව කිරීමක් වශයෙන් විශ්වවිද්‍යාලයන්හි නම් සඳහන් නොකිරීමට මෙම ලිපියේදි වග බලා ගතිමි. තමන්ට ජීවය ලබා දුන් සිය දෙමවුපියන් දෙදෙනාට පමණක් නොව අකුරු කළ ගුරුවරුන්ටත් ද්‍රෝහි වෙමින් මෙවැනි කටයුතු කරන්නන්ගේ ජීවිතයේ කිසිදු අරමුණක් හෝ ඉලක්කයක් නොමැත්තන්ය. මොවුන්ගේ ඉතිහාසය සොයා බලද්දි පර්යේෂකයින්ට පවා පැහැදිලි වි ඇත්තේ ඉන් බොහෝමයක් ළමා කල විවිධ අපචාරයන්ට මෙන්ම ගෘහස්ථ හිංසනයන්ට ගොදුරු වූවන් වන අතර ඔවුන්ගේ මූලික අභිප්‍රාය වි ඇත්තේ සමාජයෙන් පළිගැනීම බවයි. එදා අහිංසක වින්දනයක් වු මෙය අද කුරිරු , රුදු වින්දනයක් වි හමාරය. එහෙත් මේ රුදු වධයට තිත තබන්නට තවත් පමා නැත. එසේ කරන්නට සැවොටම වගකීමක් ඇත්තේය. ඒ අනාගතයේ ඔබේ දරුවන්ගේ නිදහස් අධ්‍යාපනය සුරැකීමටය. නැතිනම් මෙවැනි වධයන් ලබා දෙන ඔබේම දරුවාගේ හෝ සහෝදර සහෝදරියගේ ආරක්ෂාවටය. එසේම අපට රටක් ලෙස ඉටු කර දීමට වගකීමක් ඇත්තේය. ඒ ජාත්‍යන්තරය තුළ අපේ විශ්වවිද්‍යාලයන්ට හිමි නිසි තැන සුරැකීමටය.